ලෙනාඩ් වුල්ෆ් නමැති ඉංග්‍රීසි ජාතික සිවිල් සේවකයා මේ මස මැද භාගයේ පමණ ඔහුගේ සසෙක්ස් නිවසේදී මියගියේය. ඔහු මියයන විට ඔහුට වයස අවු. 88කි. වුල්ෆ් 1908 අගෝස්තු මස සිට 1911 අග දක්වා පමණ හම්බන්තොට දිස්ත්‍රික්කය භාර උප දිසාපතිවරයා වශයෙන් සේවය කෙළේය. එහි සේවය කරන යුගයේ ඔහුගේ අත්දැකීම් අනුව මීගහජඳුර පසුබිම් කර ‘බැද්දේගම’ (Village in the Jungle) නමැති නවකතාව ලියා ගත්කතුවරයකු වශයෙන් හේ ප්‍රසිද්ධියට පැමිණියේය.

ඔහුගේ යුගය සාමාන්‍ය හම්බන්තොට ගැමියා හැඳින්වූයේ ‘යකඩ යුගය’ ලෙසිනි. මේ බව ඔහු සටහන් කර තබා ඇති ඔහුගේ දින පොත්වල සඳහන් වේ. මේ දින පොත්වල ඔහුට එදිනෙදා මුහුණපෑමට වූ ප්‍රශ්නත් ඒවා විසඳූ සැටිත්, හාස්‍ය රසයෙන් යුක්තව ඔහු විසින් සටහන් කර තිබේ. මින් දැක්වෙන්නේ ඉන් සමහරෙකි.

යකඩ යුගය

ලෙනාඩ් වුල්ෆ් එදා දුටු යකඩ යුගය
හම්බන්තොට දිසාපතිව සිටි ලෙනාඩ් වුල්ෆ් මහතා

1910 අප්‍රේල් 29 වන දින සවස සැ. 14ක් ඈතින් පිහිටි හාතගල නැමැති ගමට අශ්වයා පිටින් ගොස් කඳවුරු ලා රාත්‍රිය එහි ගතකළ බැවින් මා එතැනට පැමිණ සිටින බව දැනගත් බොහෝ ගම්මු පැමිණ ඔවුන්ගේ දුක්ගැනවිලි පෙත්සම් මාර්ගයෙන් මා වෙත රාත්‍රි 7 1/2 වන තෙක් ඉදිරිපත් කළහ. මේ පිරිස මට දැන්වූයේ දැන් ලබා ඇති කාලය මිනිසුන්ට මහා කරදර යුගයක් බවත් ඒ කාලයේ පායා තිබූ වල්ගා තරුව ඔවුන්ට ගුණ නොදෙන බවත්ය. මේ හේතූන් නිසා ඔවුන්ට මුහුණ පාන්නට වී ඇති විපත්තින්ද නෙටොල්පිටියේ වෙල්විදානේ පෙන්වා දුන් අන්දමට ඒවා මෙසේය. (1) ඇඟ බදු (2) ගම්සභා බදු (3) ජලබදු (4) කරත්තවලට සහ තුවක්කුවලට බදු (5) හේන් ගොවිතැන් සීමා කිරීම සහ (6) දරදඬු දිසාපතිවරයකු සිටීම නෙටොල්පිටියේ වෙල් විදානේ මගෙන් ඉල්වා සිටියේ මා මරේ මහතා ආදර්ශයට ගෙන පාලන කටයුතු කළයුතු බවත් හේන් ගොවිතැන් කිරීමට නිදහසේ ඉඩ දිය යුතු බවත්ය. මරේ මහතා කොපමණ මහජනයාගේ සිත් දිනාගෙන ක්‍රියා කළේද යත් ඔහු මාරු වී යන අවස්ථාවේ සියලු ගම් මුලාදෑනින් වැලපී හඬන්න වූ බවත් එසේ හඬා වැලපෙන ගම්මුලාදෑනින් සමඟ මරේ මහතාද හැඬූ බවත් වෙල්විදානේ පැවසීය.

එදා හම්බන්තොට අද මෙන් නොව ගණ කැලෑවෙන් වට වූ මැලේරියාවෙන් පීඩිත වූ ඉතා නොදියුණු ප්‍රදේශයකි. එදා වුල්ෆ් හම්බන්තොටින් දුටු අත්දැකීම් අනුව මීගහජඳුර පසුබිම් කර ඔහුගේ ‘බැද්දේගම’ ලියන්නට විණි. ඔහු හම්බන්තොට එදා පැවති තත්ත්වය විස්තර කරන්නේ මෙසේය.

1910 මාර්තු 8 වන දින මහනුවරදී මට හමුවූ ලුවිස් මහතා අයි.ඩබ්ලිව්. බෙනට් විසින් ලියන ලද ඉතා රසවත් පොතක් මට දෙන්න යෙදිණි. 1826 සහ 27 වර්ෂවල බෙනට් හම්බන්තොට උප දිසාපතිවරයා වශයෙන් සේවය කර ඇති බව කියැවේ.

ඒ කාලයේ හම්බන්තොට සෞඛ්‍ය අතින් කෙතරම් පහත් තත්ත්වයක් උසුලා ඇත්දැයි පුදුමාකාර ලෙස මෙහි දැක්වේ. හමුදාපති සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාම උණෙන් මියගිය අතර බෙනට් මහතාද එම කලදසාවෙන් බේරී ඇත්තේ නූලෙනි.

බෙනට් තවදුරටත් ඔහුගේ පොතේ හම්බන්තොට විස්තර කරනුයේ ‘කිසිදිනක එහි ගෙවල්වල පදිංචිකරුවෙක් නොමැරී හෝ මැරෙන්න ඔන්න මෙන්න කියා හෝ නැති දිනයක් නැත. එම ප්‍රදේශයත් එහි රජයේ ආයතනත් කෙතරම් දරිද්‍රභාවයක් ඉසිලුවේද යත් එහි මිනී පෙට්ටියක් සෑදීමට ලෑලි කෑල්ලක් සොයාගැනීමට හෝ මිනී පෙට්ටියක් සෑදීමට ගසක් ඉරා ගැනීමට කියතක් හෝ සොයා ගැනීමට අපහසුය. මෙලොවින් තුරන් වූ මගේ ආදරවන්ත මිත්‍රයන් දෙදෙනා වැළලීමට මුළු දිස්ත්‍රික්කයේම මෙසේ මිනී පෙට්ටියක් හෝ මිනී පෙට්ටියක් සෑදීමට භාගයට පිළියෙල කරගත් බුරුත ලෑලි තොගයක් තිබිණි. මෙම මේසය සෑදීමට මා සැතැපුම් 152ක් ඈත මොරටුවේ සිට ගෙන්වා ගත් වඩුවන් හතර දෙනාගෙන් තුන් දෙනෙක් හම්බන්තොටට පැමිණි විගස මියගියෙන් ඒ ලෑලි මේසවලට යෙදවීමට නොහැකි විය. එම නිසා මාගේ මිත්‍රයන් දෙදෙනාට මිනිස් භවයේ අවසාන කෘතියට මෙම ලෑලි අහම්බෙන් මෙන් උදවු විණි.

ලෙනාඩ් වුල්ෆ් එදා දුටු යකඩ යුගය
එදා ජාතික මුදල් ඉතුරු කිරීමේ නියෝජ්‍ය කොමසාරිස්ව සිටි ඩබ්ලිව්. එල්. ප්‍රනාන්දු විසිනි.

හම්බන්තොට දෙස බලන කල එදාත් (1826) අදත් (1910) කිසි වෙනසක් නැත. එහෙත් අපේ මුතුන් මිත්තන්ගේ කාලයට වඩා සෞඛ්‍යය අතින් පිරිසිදු තත්ත්වයක අපේ හම්බන්තොට වැනි ගම් පිරිසිදුව තබා ගැනීමට වෑයම් කරන බව වුල්ෆ් සටහන් කර තිබේ.

1910 පෙබරවාරි 17 වන දින වුල්ෆ්ට මුහුණ දෙන්න වූ හාස්‍යජනක සිද්ධියක් මෙසේ විස්තර කර තිබේ. “අද සවස වලස්මුල්ලේ වරාපිටිය නැමැති ගමේ ඉඩම් කොටස් 80ක් වෙන්දේසියේ විකිණීම ආරම්භ කරන ලදී. විශාල පිරිසක් මෙම වෙන්දේසියට පැමිණ සිටියහ. වෙන්දේසිය පවත්නා අවස්ථාවේ හදිසියේ මෙන් පිරිස දෙපසට වී ඒ මැදින් වයසක මනුෂ්‍යයෙක් දුවගෙන විත් මගේ දෙපා මුල වැඳ වැටුණි. ඔහුගේ රැවුල එක පැත්තක කපා තිබූ අතර අනික් පැත්ත කපා නොතිබිණි. ඔහුගේ රැවුල බෑ කරණවෑමියා එක පැත්තක රැවුල කපා අනිත් පැත්ත කැපීමට ශත 50ක් ඉල්වන බව මහලු මනුෂ්‍යයා මට දැන්වීය. වලස්මුල්ලේ රැවුල් කැපීමට ඉන්නේ එකම කරණවෑමියෙකි. ඔහු රැවුල් කැපීමට අය කරන්නේ ශත 05කි. කරණවෑමියා වහාම මා ඉදිරිපිටට ගෙන්වන ලෙස නියෝග කළෙමි. ඔහු සමඟ සියයකට අධික පරිසක්ද පැමිණියහ. මේ මහලු මනුෂ්‍යයාගේ රැවුල නොමිලේ කපන ලෙසත් යම් හෙයකින් මුහුණ කැපුණොත් ඔහු ශත 50ක් ඒ මහලු මිනිසාට ගෙවන ලෙසත් මා තීන්දු කළෙමි. කරණවෑමියාගේ මුහුණ දෙස බැලූ මට සිතුණේ ඔහු සොරකු සහ විහිළුකාරයකු ලෙසය. මහලු මනුෂ්‍යයා ඉතා අවංක බැල්මක් හෙලීය. කරණවෑමියා කිසිවක් නොදොඩා එහි වූ පොල් ගසක් යට විශාල සෙනඟක් සිනාමුසු මුහුණින් බලා සිටියදී මගේ නියෝගය ක්‍රියාවේ යෙදවීය. මෙය කරණවෑමියාටද ඉතා හාස්‍යජනක සිද්ධියක් විය. මෙවැනි සිද්ධීන්වලට රාජකාරි ගමන්වලදී බොහෝවිට මට මුහුණපාන්නට සිදුවිය.

1914 ජනවාරි 13 – අන්දර වැවට පයින් ගියෙමි. මෙය මීට පෙර මා පැමිණ නැති ජනශුන්‍ය පෙදෙසකි. අන්දරවැවෙහි දැනට ගම්මානයක් නැත. එහි විසූ මිනිස්සු මියගොස් හෝ මීට අවුරුදු පහකට පමණ පෙර එම ගම අත්හැර හෝ ගොස්ය. මා සමඟ පැමිණි වයසක මනුෂ්‍යයෙක් එහි තවම ජීවත් වෙයි. එම වැව අසල ඔහුට ඉඩම් කීපයක් තිබේ. එම ඉඩම්වලින් ඔහුට ලැබී ඇති එකම ප්‍රයෝජනය නම් ඒවා වගා නොකිරීම නිසා දැනට අවුරුද්දකට හෝ දෙකකට පෙර ඔහුට හිරේට යන්ට වීමය. මෙම වැව ලේඛනවලින් කපා හැරිය යුතුය. එසේත් නැත්නම් මේ වැව යටතේ ඇති ඉඩම් මිනිසුන්ට විකුණා යළිත් වැව ප්‍රතිසංස්කරණය කළ යුතුය.”

මාගම් පත්තුවේ උණ වසංගතය

‘මෙහි ගැමියෝ මැලේරියා උණෙන් විනාශ වීගෙන යති. එහි කුඩා ළමයින් දෙස බැලීම පවා බිය ගන්වන සුළුය. බැද්දේවැව අසල අවුරුදු පහක පමණ වයසැති කුඩා ළමයෙක් ඔහුගේ ඇඟට වතුර වත්කර ගන්නවා මම දුටුවෙමි. ඔහුගේ ඇඟ සම්පූර්ණයෙන්ම කහපාට වී ඇටවලටත් සමටත් සීමා වී තිබිණි. එහෙත් ඔහුගේ බඩ ශරීරයට වඩා තුන් ගුණයක් පමණ ඉදිරියට නෙරා තිබිණි. ඔහුගේ බාප්පා සමඟ ජීවත්වන ඔහුට මේ මහා කන්නයට පෙර මහා කන්නයේදී ඒ කියන්නේ වර්ෂ 1909දී කුවිනින් දී තිබේ. පොලිස් නිලධාරියා ළඟ කුවිණින් නැත. හම්බන්තොට ගොස් කුවිනින් ලබා ගැනීමටද දවස් දෙකක් ගත වේ. මේ ආකාරයට කටයුතු කළොත් මේ ළමයා වැඩි කල් නොගොස් මැරෙන්න පුළුවන් බව ඔහුගේ බාප්පාට දැන්වූ විට ඔහු මෙසේ උත්තර දිනි. “සමහර විට ඔහු මැරෙන්න පුළුවනි. මෙහි වසන අපේ පවුල් බොහොමයක් මෙසේ නැතිවී යයි. මම මේ දරුවා හම්බන්තොටට ගෙන ගියෙමි. එහි මෙවැනි ලෙඩ්ඩු විශාල සංඛ්‍යාවක් සිටිති.”

1908 ජනවාරි 30 වන දින ඔහුට මුහුණ පාන්නට වූ අකරතැබ්බයක් ගැන මෙසේ සඳහන් කර තිබේ.

යාල වනයේ මා දුටු අලි සටන – “අද සවස් වරුවේ කැලෑව මැදින් උතුරු දෙසට යනවිට මා ඉදිරියෙහි වූයේ අලි දෙදෙනකුගේ රණ්ඩුවකි. මොවුන් දෙදෙනා එකිනෙකාට ප්‍රතිවිරුද්ධව සැරෙන් ඉදිරියට විත් ඔවුන්ගේ ඔළු පැලී යන අන්දමට හප්පා ගනී. මෙසේ ඔළු හප්පා ගන්නා විට එයින් නිකුත් වන ශබ්දයෙන් මගේ ලොමුදහ ගැන්විණි. ස්වල්ප වේලාවක් ඔළු දෙක එකට තබාගෙන ‘ජුජුට්සු’ සටනක යෙදෙන ආකාරයට ඔවුන්ගේ හොඬවැල් එකට වෙලාගෙන ඉතා භයංකර ලෙස සටන් කළහ. මද වේලාවක් මෙසේ සටන් කර එකෙක් අනිකාගේ ඇලපතට තද පහරක් දුන්නේය. ඊට පසු දෙදෙනාම පසු බැස යළිත් පෙර මෙන් ශීඝ්‍රයෙන් ඉදිරියට දුවවිත් ඔළු දෙක යළිත් හප්පා ගනිති. මෙසේ සටන් වැදී ඉන්නා විට එකෙක් අප දෙස හැරී ඉතා රෞද්‍ර අන්දමින් අප පසුපස එළවන්නට විය. අපි පණ බියෙන් කැලෑව මැදින් පැන ගත්තෙමු. ඔවුන් දෙදෙනා යළිත් සටන ඇරඹූහ.”

බූන්දල වනය – 1909 අගෝස්තු 20 – අද ඉතාමත් අවාසනාවන්ත සිද්ධියකට මට මුහුණපාන්නට සිදුවිය. අද සවස 5ට පමණ මොනර දඩයමේ ගිය මට කිසි මොනරකු මුණු නොගැසුණෙන් මම කැලය මැදින් ඇතුල් බොක්ක පැත්තට සෙමින් සෙමින් ගියෙමි. මෙසේ යනවිට මට වනය හරහා බූන්දල පාරට වැටෙන්න සිත් විය. එහෙත් වනයේ ඇති ඉතා ඝන ස්වභාවය නිසා මට පාර වැරදුණි. මට යා යුතුව තිබුණේ බස්නාහිර පැත්තටය. මෙය මා දැන සිටි හෙයින් පැය භාගයක් පමණ අහස පැහැදිලිව තිබෙන පෙදෙස බලා මා ගියෙමි. මේ අවස්ථාව වනවිට කැලෑවේ ඇති ඝන ස්වභාවය නිසාත් මේ වනවිට මා පාරට වැටිය යුතුව තිබූ නිසාත් මා කැලෑවේ වල්මත් වී ඇති බව මට වැටහුණි. එවිට මා ගසකට නැඟ බැලූවිට මා බස්නාහිර පැත්තට යනු වෙනුවට ඇවිත් ඇත්තේ නැඟෙනහිර පැත්තටය. එය එසේ වීමට හේතුව බැස යන හිරු වළාකුළින් වැසී එහි එළිය නැඟෙනහිරට වැටී තිබූ නිසාය. එදා හඳ නැති වූ රාත්‍රියක් වූයෙන් මුළු පෙදෙසම සැණෙකින් අන්ධකාරයෙන් වැසී ගියේය. මේ හේතුවෙන් කටු කැලය මැදින් මට කිසිසේත් යා ගත නොහැකි විය. වාසනාවකට මෙන් මා ළඟ ගිනිපෙට්ටියක් සහ කුර ලෙඩ සම්බන්ධ පිටපතක්ද තිබිණි. මෙයින් ගිනි මැලයක් ගසා ගතිමි. එදා සවස පැවැති වර්ෂාව නිසා කැලෑවද තෙමී තිබිණි. එම නිසා මට මුළු රාත්‍රියම ඉතා සිත් වේදනාවෙන් ගත කරන්න විණි. මා ගිනි ගොඩ ළඟ පැය භාගයෙන් භාගයට නිදා සිට අවටින් කෝටු කෑලි එකතු කොට ගිනිගොඩ පත්තු වෙමින් පවත්වා ගැනීමට මට හැකි විය. එළිය වැටෙනවාත් සමඟම මා බස්නාහිර බලා පිටත් වී පැයකුත් කාලක් පමණ ඇවිද වැලිගත්ත බංගලාව ළඟට පැමිණියෙමි.”

ලෙනාඩ් වුල්ෆ් එදා දුටු යකඩ යුගය
ලෙනාඩ් වුල්ෆ් 1961දී බුන්දලට ගිය අවස්ථාවේ බුන්දල ගැමියන් කීපදෙනකු හා ඔවුන්ගේ ළමා ළපටින් සමූහයක් සමඟ.

එක් අවදියක වුල්ෆ් හම්බන්තොට කැස්බෑවන් ඇති කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද අදහස් කළ බව ඔහුගේ දින පොත්වල සඳහන් වේ. ඔහුට මේ අදහස දී ඇත්තේ ආචාර්ය ඩන්ස්ටන් නමැති ඉංග්‍රීසි ජාතිකයෙක්ය. ලංකාවට පැමිණ සිට ඔහු හම්බන්තොට වෙරළේ කැස්බෑවුන් විශාල සංඛ්‍යාවක්ද දැක එවැනි කැස්බෑවුන් ඇති කිරීමේ කොටු හම්බන්තොට මුහුදු වෙරළේ ඇති කළහොත් එයින් එංගලන්ත වාසීන්ට විශාල ලෙස ප්‍රයෝජනවත් විය හැකි බැව් වුල්ෆ්ට පෙන්වා දී ඇත. වේලාපු කැස්බෑ මස්වලට එංගලන්ත වාසීන් ඉතා ප්‍රිය කරන බවත් ඒවාට විශාල මුදලක් ලබාගත හැකි බවත් ආචාර්ය ඩන්ස්ටන් වුල්ෆ්ට දන්වා තිබේ. මෙය ක්‍රියාවේ යෙදුණු බවක් ඔහුගේ සටහන්වල පෙනෙන්නට නැත.

කපු වැවීම සම්බන්ධයෙන්ද වුල්ෆ් පුරෝගාමියෙක් විය. කපු වැවීම සම්බන්ධවද ඔහු උනන්දු කරන ලද්දේ ආචාර්ය ඩන්ස්ටන්ය. ඔහු හම්බන්තොට එවකට තිබුණු සමිතියක සාමාජිකයන්ගෙන් මේ ව්‍යාපාරය සඳහා රු. 250ක් එකතු කර ගැනීමට අදහස් කර සිටියේය. මිසරයෙන් ලබාගත් කපු දෙවර්ගයක් ඔහු මෙම ඉඩමේ වැවීමට අදහස් කළ බව ඔහුගේ වාර්තාවලින් පෙනේ. අක්කර 6ක් වගා කිරීමට යන මුළු වියදම වශයෙන් ඔහු ඇස්තමේන්තු කොට තිබුණේ රු. 140ක් පමණි. කපු වගාව සාර්ථක වුවහොත් එය හම්බන්තොට දිස්ත්‍රික්කයට පමණක් නොව මුළු ලංකාවටම මහත් සේ ආර්ථික අතින් දියුණු වීමට මාර්ගයක් විශ්මය ජනක ලෙස පෑදෙන බව ඔහු සටහන් කර තිබේ. එපමණක් නොව එය හේන් ගොවිතැන්වල යෙදෙන ගොවීන්ටද විශාල ලෙස ප්‍රයෝජනවත් වන බවද ඔහුගේ අදහස විය.

තිස්ස මහා වන්දනාව

මේ වකවානුවේ තිස්ස වන්දනා කටයුතු ද බෙහෙවින් පිළියෙළ කළේ රජයේ දිසාපතිය. 1910 ජුනි මස 21 දින තිස්ස මහ වන්දනාව සම්බන්ධයෙන් වුල්ෆ් මෙසේ ලියයි. “වන්දනාවට පැමිණි වන්දනාකරුවන් විශාල සංඛ්‍යාවක් මට අද හමුවිය. මේ වර්ෂයේ ඔවුන් විශාල පිරිසක් වන්දනාවට පැමිණියහ. මම චෛත්‍ය ප්‍රදේශයද පරීක්ෂා කර බලා සවස් වරුවේ පෙරහැර නැරඹීමටද ගියෙමි. මේ වර්ෂයේ වන්දනාකරුවන් එක් ලක්ෂ විසි දාහක් පමණ පැමිණ සිටිති. ඔවුන්ගේ සැප පහසුකම් සම්බන්ධවද කටයුතු සලසා තිබේ. එහෙත් ඔවුන්ට මේ වන්දනාවට පැමිණෙන විට විශාල දුෂ්කරතාවන්ට මුහුණපාන්නට සිදුවේ. බොහෝ ඈත ප්‍රදේශවල සිට වන්දනාවේ පයින්ම පැමිණෙන්නේ බීමට ජලය පවා නැති මෙවැනි අවදියකය. නියඟය ඉතා දරුණුය. කැලෑව ගිනි කර මෙන් වේලී ගොස්ය. බොහෝ ප්‍රදේශවල කැලෑව ගිනිගෙන තිබේ.”

ජුනි 22 වෙනිදාත් ඔහු තිස්සමහාරාමයට ගොස් වන්දනාකරුවන්ට බීමට ජලය ලබාගැනීමේ පහසුකම් සලසාදී සවස් වරුවේ තිස්ස නායක හිමියන් සහ ජයවික්‍රම මහතා හමුවී කතා කළ බව දින පොතේ සටහන් වී තිබේ. මේ වර්ෂයේ වන්දනාකරුවන් සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කර ඇති අන්දම ඉතාමත් අසතුටුදායක බව ඔහුගේ දිනපොතේ ලියවී තිබේ.

ලෙනාඩ් වුල්ෆ් එදා දුටු යකඩ යුගය
වුල්ෆ් මහතා අවසන් වරට දිවයිනට පැමිණි අවස්ථාවේ පැරණි නටබුන් නැරඹීමට යෑමට අමතක නොකළේය. පෞද්ගලික ලේකම්වරිය හා රජයේ නිලධාරීන් කීපදෙනෙක්ද මෙහි වෙති.

ජූලි 23 දින ඔහුගේ දින පොතේ මෙසේ සඳහන් වේ. සූරියවැව ප්‍රදේශයේ ගව වසංගත රෝගය දුරුවේගෙන යමින් පවතී. එහෙත් ඌව පළාතේ යෑමට ඉතා දුෂ්කර ගම්වල එනම් මහගම සහ බහිරව යන ගම්වල මෙය පැතිරී ගොස් ඇති බව දැනගන්නට ලැබුණු නිසා එහි යාමට තීරණය කළෙමි. පළමුව හප්පොච්ච (සැතපුම් 2යි) එහි දර්ශනීය වැවක් තිබේ. මාගම් පත්තුවට ඇති එකම වැව එය විය. එහි ජලයෙන් මෙම යල් කන්නයේ ගොවිතැන් කරනු ලැබේ. කැලෑ අඩි පාරක් දිගේ සැතපුම් 4ක් දුරගොස් මහගමට ආ විට එහිදී වෙල් විදානේ කෙනෙකු හමුවිය. මීහරකුන් 180 දෙනකු මළ බව ඔහු කීය. බහිරව ගමේ හරකුන් තවමත් මැරෙන බවද කී නමුත් මට එහි යෑමට නොහැකි විය. මහගම ගමේ වැව් බැම්ම කැඩී බිඳී ගිය විශාල වැවක් තිබේ. එහි ඉතා පැරණි සොරොව්වක්ද ඇත. මෙය ශක්තිමත් කල් පවතින වැඩවල පුදුම එළවන ස්වභාවයට කදිම උදාහරණයකි. අඩි 100කට වඩා දිග ඇළවල් දෙකක් තිබේ. ඒවා තනා ඇත්තේ අඩි 10×5 පැතලි ගල් වලිනි. ඒවා තවමත් නොකැඩී පවතී. මෙම වාරිමාර්ග ක්‍රමය කිසිදාක පරීක්ෂා කර බලා රපෝර්තු කරන ලද්දැක් දැයි මට සැක සහිතය. එහෙත් ගම්මුන් කියන පරිදි මෙහි ජලයෙන් දැනට කැලෑ වැදී ඇති විශාල ප්‍රදේශයක් වගා කළ බව පෙනේ. දැනට වැව් කණ්ඩියට ඇතුළතින් බැඳ ඇති තවත් බැම්මක ආධාරයෙන් ඔවුහු දැන් සුළු බිම් ප්‍රදේශයක් වගා කරති. මෙම පළාතේ විනාශ වී කැඩී බිඳී ගිය වැව් විශාල සංඛ්‍යාවක් තිබේ. බඳගිරියද විශාල කැඩී බිඳී ගිය වැවකි. ඊට උතුරෙන් ගල් වැව නමැති තවත් විශාල වැවකි. මෙය ප්‍රතිසංක්කරණය කරනු ලැබුවහොත් විශාල බිම් ප්‍රමාණයක් වගා කළ හැකිය. තවද මේ හැර මහගම වැවද තිබේ. මහගම වැවට ජලය සැපයෙන ක්‍රමය මම නොදනිමි. එහෙත් දැනට මලලආර දිගේ එන ජලයෙන් ගල්වැව සහ බඳගිරිය වැව පිරීමට අවුරුදු 4ක් හෝ 5කට වැඩි කාලයක් ගත වේ යයි සිතමි. කෙනකුට සිතෙන්නේ ගැමියන් පවසන පරිදි වර්ෂාව ඇත්ත වශයෙන්ම පෙරට වඩා අඩුවී තිබේද නැති නම් මෙම විශාල වැව් කර්මාන්ත අසාර්ථක වීද යන්නය. රජවරුන් විසින් මෙම වැව් තනා ඇති කැලෑවල වර්ෂාපතනය හා ජල මාර්ග නිතිපතා වගාව සඳහා ප්‍රමාණවත් නොවේ. මෙයට එක් නිදසුනක් නම් ඉතා ජනප්‍රිය පළාතක්ව පැවැති මෙම ප්‍රදේශයේ එවැනි සෑම ලක්ෂණයක්ම මැකී ගොස් තිබීමය.

ජූලි 28 වෙනි දින – මෙම දින පොතේ කොටසක් ලියූ මට හිනා ගියේ එදින සවස හම්බන්තොට සහකාර දිසාපතිගේ 1848 දින පොතේ තිබුණු පහත සඳහන් ඡේදය සිහි වීමෙනි.

“මෙම ජලාශය යටතේ දැනට වියළිව පවත්නා විශාල බිම් ප්‍රදේශයක් වගා කරන්නට ඇත. වර්ෂය තුළ දැන් මෙන් එකලද මාගම් පත්තුවට ඇතිවූ වර්ෂාපතනය සුළු වූයේද යන්න සොයා බැලීම වටී. එකලත් දැන් මෙන් වර්ෂාපතනය අඩු වූයේ නම් මෙම වැව් කවදාවත් නොපිරෙනු ඇත. විශාල ජනකායන් වාසය කළ ලක්ෂණ දක්නට තිබෙන ප්‍රමාණයට වඩා උසස් ශක්තියක් හා දැනීමක් ඇති මනුෂ්‍ය කොට්ඨාසයක් විසූ දැනට පාළුව ඇති මෙම පළාත හරහා ගමන් කිරීම ඉතාමත් ප්‍රීතිදායක කටයුත්තකි. මෙහි විසූ ජනගහණය මුහුණ දුන් ප්‍රශ්න ගැන සිතීම පවා අභිරහසකි. විදේශ ආක්‍රමණයන් හෝ දේශීය අසමඟිකම් මීට හේතු වීද නැතහොත් රජවරුන්ගේ කෲර පාලනය හෝ පාලක පක්ෂයේ දරදඬුකම නිසා මෙසේ පාළු වීද? ඉකුත් වර්ෂ 60 තුළ මාගම්පත්තුවේ වෙනස් වූ එකම දෙය නම් සහකාර දිසාපතිගේ දින පොත ලියූ අන්දමය. මෙයින් වූයේ හොඳට වඩා නරකකි.”

ලෙනාඩ් වුල්ෆ් එදා දුටු යකඩ යුගය
1960දී වුල්ෆ් දිවයිනට පැමිණි අවස්ථාවේ ඔහුගේ ‘විලේජ් ඉන් ද ජංගල්’ නම් නවකතාව ‘බැද්දේගම’ නමින් සිංහලෙන් ප්‍රකාශයට පත් කළ ඒ. පී. ගුණරත්න මහතා සමඟ සාකච්ඡාවක යෙදුණු අවස්ථාවක්.

වුල්ෆ්ට කටුවන නමැති ගමේදී මුහුණපාන්නට සිදුවූ සිද්ධියක් ඔහු විස්තර කරන්නේ මෙසේය. “කටුවන ප්‍රදේශයේ මිද්දෙනිය නව විදුහල පරීක්ෂා කිරීමට යන අවස්ථාවේ මෙහි වාසය කරන බෙරව කුලයට අයත් ස්ත්‍රී සමූහයක් මා ඉදිරිපිටට විත් ඉතා පුදුමාකාර ඉල්ලීමක් කළහ. පැරණි පිළිගත් සිරිතකට අනුව මේ ස්ත්‍රීන්ට හැට්ටය ඇඳීම තහනම් විය. ඔවුන්ට සමාජයෙන් හැට්ට ඇඳීමට අවකාශ දී නොතිබිණි. සිරිතක් වශයෙන් ඔවුන්ගේ පියවුරු වැසී යන අන්දමට රෙදි පටියක් බැඳ එය කිහිල්ල වටේ ගැට ගසා තිබේ. ඔවුන් මගෙන් කළ බැගෑපත් ඉල්ලීම නම් ඔවුන් වී කොටන අවස්ථාවේදී ඔවුන්ගේ පියවුරු වටේ බැඳ තිබෙන රෙදි පටිය ඉවත් වන බවත් එම නිසා වී කෙටීමට අපහසු බැවින් ඔවුන්ට හැට්ට ඇඳීමට අවසර ලබාදෙන ලෙසය. මේ අවස්ථාවේ පැරණි විදානෙ ආරච්චි මා සමඟ විය. ඔහු ඉතා පැරණි අදහස් දරන මනුෂ්‍යයෙකි. ඔහුගේ අදහස විමසූ විට ඔහු මට දැන්වූයේ මේ කුලයට අයත් ස්ත්‍රීන්ට හැට්ටය ඇඳීමට පෙර දින සිට කිසිසේත් ඉඩ දී නැති බවය. දීර්ඝ සාකච්ඡාවකින් පසු ඔහු එකඟ වූයේ හැට්ටයෙන් ඇඟ වසා ගැනීමට ඔවුන්ට ඉඩ දිය හැක්කේ හැට්ටයේ අත්දෙක බෙල්ලෙන් සාමාන්‍යයෙන් එල්ලෙන පරිදි ඇඳීමෙන් පමණක් බවය. මා ඒ ස්ත්‍රීන්ට එසේ කරන මෙන් අවවාද කළෙමි. ඔවුහු එය ඉතා සතුටින් පිළිගෙන යන්නට ගියහ.

බු.ව 2513 (1969) ‘රසවාහිනී’ අනුග්‍රහයෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment