ලොක්කන්ගේ සීල් හොරට ගහලා  රේගුවෙන් වාහන පන්නලා – හල්කඳවිල සැකකරු අත්අඩංගුවට

128

ශ්‍රී ලංකා රේගුවේ සහ වරාය අධිකාරියේ ඉහළ නිලධාරීන්ගේ නිල මුද්‍රා උපයෝගී කර ගනිමින් කූට ලේඛන සකසා රේගුවේ නිශ්කාෂණය නොවූ වාහන දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලට අලෙවි කළ පුද්ගලයකු පසුගිය 10 වැනිදා පස්වරුවේ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

පයාගල, හල්කඳවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

කුලී ගෙවීමේ පදනම මත වාහන ලබා දෙන ස්ථාන වෙතින් වාහන සොරකම් කර එම වාහන අංකයන්වලට අදාළව රේගුවේ නිශ්කාෂණ නොවූ වාහනවලට ලේඛන සකස් කර දිවයිනේ විවිධ ප්‍රදේශවලට අලෙවි කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු පයාගල නිවසේ දී අත්අඩංගුවට ගෙන ව්‍යාජ ලේඛන සකස් කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ 3 ක්, ව්‍යාජ ලේඛන සීයකට ආසන්න ප්‍රමාණයක්, රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා ප්‍රේෂණපත්, රුපියල් ලක්ෂ 10 ක් පමණ මුදලක්, රේගුවේ උසස් නිලධාරීන්ගේ ව්‍යාජ මුද්‍රා 10ක් පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිසිය කියයි.

සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කළුතර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කොට්ඨාස දූෂණ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් කෝරලගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, උප පොලිස් පරීක්ෂක අමරසූරිය, සැරයන්වරුන් වන ධර්මසේන (12980), අනුප්‍රිය (51907), සුසිල් (45787), ඉන්දික (60015), කොස්තාපල්වරුන් වන දේශප්‍රිය (67757), අසංක (40982), ප්‍රියසාද් (91332), චතුරංග (100191), පො.කො.රි. අමල්ක (89882) යන මහත්වරු වැටලීමට එක්වූහ.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම
 

advertistmentadvertistment
advertistmentadvertistment