ලොක්කා මාට්ටු… ඉතාලි මාෆියාවේ ගෝඩ් ෆාදර් වසර තිහකට පසු පිළිකා සායනයේදී අත්අඩංගුවට

758

ඔහු වෙනුවෙන් නවකතා පමණක් නොව චිත්‍රපටින් නිපදවලා…..

කාලයක් තිස්සේ ලොව නීතිය ක්‍රියාත්මක කරන ආයතනයන්ට වඩාත්ම අවශ්‍ය අපරාධකරුවා (Most Wanted Criminal) ලෙස වැජඹුණ පුද්ගලයෙක් සිටියි. දිනක් හෝ දෙකක් නොව වසර තිහක් තිස්සේ ඉතාලි පොලිසියට ඔහුව සොයාගැනීමට අවශ්‍යව තිබුණි. කුප්‍රකට ඉතාලි මාෆියාවේ ගෝඩ් ෆාදර් ලෙස සැලකෙන්නේද ඔහුය.

“මත්තියෝ මෙසීනා ඩෙනාරෝ”. අනූව දශකයේ මැද භාගයේදී ඔහු හිටිවනම අතුරුදන් විය. ඉතාලි පොලිසිය ඔහුව සොයා ගැනීම සඳහා නොකරපු හෙයියම්මාරුවක් නැති තරම්ය.

අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ට පවා වසර දහයකට වඩා අතුරුදන් වී සිටීමට නොහැකි විය. ඇඩොල්ෆ් අයික්මාන් යනු හිට්ලර්ගේ සමූල ඝාතන යාන්ත්‍රණයේ සැලසුම්කරුය. ඔහු ද පසුව ආජන්ටිනාවේ සැඟවී සිටියදී කුදලාගෙන ඊශ්‍රායලයට රැගෙන ඒමට මොසාඩ්වරුන්ට හැකිවිය.

කවුරුන් කෙසේ කීව ද අතුරුදන් වීම කලාවක්නම් එහි පිකාසෝ වන්නේ ඩෙනාරෝ බවට විවාදයක් නැත. ඩෙනාරෝගේ ජීවිතය ආශ්‍රයෙන් නවකතා හා චිත්‍රපට පවා නිර්මාණය වී ඇත. සිසිලියේ ජාකෝමෝ දි ජිරොලාමෝගේ L’Invissible නම් ප්‍රබන්ධය ලියැවී ඇත්තේ මොහු පිළිබඳවය. කෙසේ නමුත් ඩෙනාරෝගේ කුප්‍රසිද්ධ හැංගි මුත්තං සෙල්ලම දැන් නිමා වී ඇත. ඔහුව බෙල්ල මුලින්ම අල්ලා ගැනීමට පසුගිය දා ඉතාලි පොලිසියට හැකි විය.

God Father චිත්‍රපට නරඹන්නන් Cosa-Nostra මාෆියාව යනු කුමක්දැයි හොඳින් දනී. අද ලෝකය පුරාම පාතාල කල්ලි රඟදක්වන්නේ Cosa-Nostra කල්ලිය විසින් සකසන ලද වේදිකාව මතයි.

ලොක්කා මාට්ටු… ඉතාලි මාෆියාවේ ගෝඩ් ෆාදර් වසර තිහකට පසු පිළිකා සායනයේදී අත්අඩංගුවට

මාෆියා ව්‍යාපාරය ආරම්භ වූයේ ද ඉතාලියේ සිසිලි දූපතෙනි. දහනම වැනි සියවසේදී සිසිලි දූපතේ නගරවල විවිධ අපරාධ කල්ලි සිටියහ. එකී නගරයන් පාලනය කළේ මොවුන් විසිනි. පසුව මෙම කණ්ඩායම් එකතු වී ඔවුන්ටම සරිලන සැහැල්ලු ආචාර ධර්ම පද්ධතියක් (Code of Conduct) සාදා ගන්නා ලදි. බාහිර සමාජය ඉදිරියේ ඔවුන් පෙනී හිටියේ Cosa -Nostra (අපේ දේවල්) යන පොදු නමකිනි. නගර පාලනය කළේ ප්‍රාදේශීය පාතාල නායකයා විසිනි. බොහෝ විට පාතාල නායකයාගේ පවුලේ සාමාජිකයන් වටා මෙම නගරවල බලය කේන්ද්‍රගත විය. කිසිවෙකුට පිටින් පැමිණ සෙල්ලම් දැමීමට නොහැකි වන සේ සියල්ල සැකසී තිබුණි.

Cosa-Nostra සාමාජිකයන් තමන්ව හඳුන්වා ගත්තේ ගරු කටයුතු නම්බුකාරයන් ලෙසය. එහෙත් සාමාන්‍ය මිනිසුන් ඔවුන් හැඳින්වූයේ Mafiosi නොහොත් මාෆියාකාරයන් ලෙසය. මධ්‍යධරණි මුහුදේ ගමන් කරන නැව්වලින් කප්පම් ගැනීම, මංකොල්ල කෑම, හොර බඩු ජාවාරම, ව්‍යාජ ගිවිසුම් වැනි ක්‍රියාන්විත මේ ඊනියා ප්‍රභූ පවුල්වල ඇත්තන්ගේ ප්‍රධාන ආදායම් මාර්ග වී තිබුණි. ඊට අමතරව අපරාධකරුවන් හෝ මංකොල්ලකාරයන් අතර ඇති වන ගැටුම් බේරුම් කිරීමත් මෙකී මාෆියා සංවිධානයේ රාජකාරියක් විය. පසුව බොහෝ මාෆියා පවුල් උතුරු ඇමෙරිකාවට සංක්‍රමණය විය. දැනට නිව්යෝක්, චිකාගෝ වැනි නගරවලත් මාෆියා සංවිධාන ව්‍යාප්ත වී ඇති බව නොරහසකි. කෙසේ නමුත් තවමත් ඉතාලියේ සිසිලි දූපතේ මාෆියා කණ්ඩායම් බලවත් තැනක පසු වෙයි.

අපගේ කතානායකයා වන මත්තියෝ මෙසීනා ඩෙනාරෝ සිසිලියේ මාෆියා පවුලක දරුවකු ලෙස 1962 වසරේ දී උපත ලැබීය. ඔහුගේ පියා ද ප්‍රබල මාෆියා නායකයෙකි. ඩෙනාරෝ මුලින්ම තුවක්කුව අතට ගත් බව වාර්තා වන්නේ වයස අවුරුදු දහහතරේදීය. විසි හැවිරිදි වියේදී ඩොලර් බිලියන ගණනින් උපයන සිසිලියේ අපරාධ වළල්ලේ නායකයා බවට පත්වීමට ඔහුට හැකි විය.

ඩෙනාරෝගේ පළමු බිල්ල වූයේ නිකොලෝ නම් වූ හෝටල් හිමියෙකි. තමා යටතේ සේවය කළ යුවතියකට ඇනුම් පදයක් කීමේ වරදට ඔහුට සමාවක් නොලැබිණි. “මගේ වහලෙ යටත් මාෆියා කාරයො ඉන්නවානේ” නිකොලෝ ඇයට පැවසුවේ විහිළුවට මෙනි. ඒත් අවාසනාවක මහත..! ඇය මාෆියා ව්‍යාපාරයේ ඔටුන්න හිමි කුමරු වූ ඩෙනාරෝගේ පෙම්වතිය විය. පසුවදාම හෝටල් හිමියා පරලොව ගියේය.

චොප්පේ, වම්බොට්ටා වැනි අන්වර්ථ නමක් ඩෙනාරෝටත් තිබුණි. ඔහුට “ඩයබොලික්” යන නාමය පටබැඳී තිබුණි. ඩයබොලික් යනු එකල Comic සඟරා ඔස්සේ නිර්මාණය වූ කාටූන් චරිතයකි. අහස පොළව නුහුලන අපරාධ කළ ද ඩෙනාරෝ Comic සඟරා කියවීමට ඇබ්බැහි වී සිටි බව කියවේ. එසේම නිතරම වටිනා ඇඳුමකින් සැරසී, අවු කණ්ණාඩියක් පැළඳ ජැන්ඩි පහට සිටීමට ඔහු කැමැත්තක් දැක්වීය. ඩෙනාරෝ දැඩි රොලැක්ස් ඔරලෝසු ලෝලියෙකු විය. ඔහු සතුව ඩොලර් මිලියන ගණනක අත් ඔරලෝසු එකතුවක් ඇති බවද වාර්තා විය.

ලොක්කා මාට්ටු… ඉතාලි මාෆියාවේ ගෝඩ් ෆාදර් වසර තිහකට පසු පිළිකා සායනයේදී අත්අඩංගුවට

ඩයබොලික් කාටුන් චරිතයෙන් කියවෙන්නේ අතිශයින් නිරනුකම්පිත හොරෙකු පිළිබඳවයි. ඩෙනාරෝට වුවමනා වූයේ සැබෑ ලෝකයේ ඩයබොලික් වීමටයි. එක් වරක් තුන්මසක ගැබිනියකගේ ගෙල මිරිකා මරාදැමීම පිළිබඳව ද ඔහුට චෝදනා එල්ල විය.

සිසිලියානු මාෆියාවේ දරුණුතම අපරාධවල මහ මොළකරුවා වන්නේ ඩෙනාරෝය. තමන්ට එරෙහි වන ඕනෑම තරාතිරමක පුද්ගලයෙකු විනාශ කිරීමට ඔහු පසුබට නොවීය. ජුවන්නි ෆැල්කෝනි හා පාවොලෝ බොර්චෙලිනෝ යනු මාෆියා තර්ජන පයිසෙකටවත් මායිම් නොකළ ඉතාලියේ සිටි කීර්තිමත් විනිසුරුවරුන් දෙදෙනෙකි. ඩෙනාරෝ විසින් මේ දෙදෙනාම මරා දමන ලදි. ඊට අමතරව 1993දි මිලානෝ, ෆිරෙන්සි හා රෝම නගරවල බෝම්බ පිපිරවීමේ සිද්ධීන් ද ඩෙනාරෝගේ ගිණුමට බැර වී ඇත. එකී පිපිරවීම්වලින් මිනිස් ජීවිත 10ක් විනාශ වී තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.

කෙසේ නමුත් ඩෙනාරෝ විසින් කරන ලද කුජීතම අපරාධය මේ එකක්වත් නොවේ. ජුවන්නි ෆැල්කෝනි විනිසුරුතුමා ඝාතනය වූයේ සිසිලියේ අධිවේගී මාර්ගයක ඇටවූ බෝම්බයකිනි. බෝම්බ පිපිරීමෙන් ෆැල්කෝනි හා ඔහුගේ බිරිඳ මිය ගියහ. ඒ අපරාධය ඩෙනාරෝගෙ කල්ලිය විසින් සිදුකළ බවට වූ ඔත්තුව පොලිසියට ලබා දුන්නේ මත්තියෝ නම් තවත් මාෆියා කල්ලි නායකයෙකි.

ඊට වාඩුව ගැනීම සඳහා ඩෙනාරෝගේ කල්ලිය මත්තියෝගේ පුත්‍රයාව පැහැර ගත්හ. ජුසෙප්පෙ දි මත්තියෝ නම් වූ එකොළොස් හැවිරිදි තම දරුවා බේරා ගැනීමට ඔහුගේ පියා සිසිලිය පුරාම ඇවිද්ද බව එකල වාර්තා විය. ඕනෑම කොන්දේසියකට යටත්ව ඩෙනාරෝලා සමඟ සාකච්ඡා කිරීමට ඔහු උත්සාහ කළේය. දරුවා නිදහස් කර තමාව මරා දමන ලෙස ඉල්ලීම් කළේය. එහෙත් වසර දෙකක් තිස්සේ වධකාගාරයක දරුණු වධහිංසාවන්ට ලක් කිරීමෙන් අනතුරුව දරුවා ගෙල කපා මරා දැමූ බව පසුව වාර්තා විය. ඔහුගේ සිරුර ඇසිඩ් බැරලයක ඔබා දියකර දමා තිබුණි. මේ ඝාතනය මෙතෙක් ඉතිහාසයේ සිදුවූ දරුණුතම මාෆියා පළිගැනීම ලෙස සැලකේ.

ඩෙනාරෝගේ අපරාධ ලැයිස්තුව සමඟම ඔහු විසින් කරන ලද එක්තරා පුරසාරමක් ගැනද කියැවේ.

“මගේ අතින් පරලොව ගිය ගණන කොච්චරක්ද කියනවානම් උන්ව වළදාන්න මට මහා සුසන භූමියකුත් මදි තරම්” ඩෙනාරෝ වරක් උජාරුවෙන් පවසා ඇත.

ජීවිතාන්තය දක්වා තමන්ගේ සුපුරුදු හොරා පොලිස් සෙල්ලම කරගෙන වහන් වී සිටීම ඩෙනාරෝගේ අභිලාෂය විය. කාලයත් සමඟ ඔහු සෙවීමේ මෙහෙයුම ද තවදුරටත් අසීරු විය. වසර තිහකට පසු මිනිසෙකුගේ පෙනුම කොයි තරම් නම් වෙනස් වෙයි ද? එසේත් නැත්නම් කොයි තරම්නම් වෙනස් කර ගත හැකිද? පොලිසියට ඉතිරි වී තිබුණේ අසූව දශකයේ ලබා ගත් ඩෙනාරෝගේ හද්දා පරණ ෆොටෝ කැබලි කිහිපයක් පමණි.

නමුත් ඉතාලි පොලිසිය ලෙහෙසියෙන් සටන අතහැරියේ නැත. ඔවුහු ඩෙනාරෝගේ ඩිජිටල් පිංතූරයක් නිර්මාණය කළහ. ඔත්තුකරුවන්ගේ තොරතුරු මත පදනම්ව ඔහුගේ වර්තමාන පෙනුම ගොඩ නැඟීමට පරිගණක මෘදුකාංගයක් භාවිත කර තිබුණි.

එහෙත් ඉන් පසුවද ඩෙනාරෝ සෙවීමේ මෙහෙයුම ලෙහෙසි පහසු එකක් නොවුණි. ඔහු පිළිබඳව ඔත්තුකරුවන්ගෙන් ලැබුණේ ද එකිනෙකට පරස්පර තොරතුරුය. ඔහු මුහුණට ප්ලාස්ටික් සැත්කමක් කරගෙන ඇති බව සමහරු පැවසූ අතර තවත් අය පැවසූයේ තමන් ඔහුව ස්පාඤ්ඤයේදී, එංගලන්තයේදී, ජර්මනියේදී හෝ දකුණු ඇමෙරිකාවේදී දුටු බවය. ඒ අතර මාෆියා නායකයා කිසිදිනක තම බලකොටුව වූ පැලැර්මෝ නගරය හැරදා නොයන බව ඔහුගේ පැරණි සගයන් පැවසීය.

පසුකාලීනව ඩෙනාරෝගේ නම නිතර අසන්නට නොලැබුණ ද ඉතාලි මාෆියාවේ නිරන්තර අණදෙන්නා නොහොත් God Farther ලෙස තවමත් වැජඹෙන්නේ ඔහුම බවට මතයක් සමාජයේ තිබුණි. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් හා සූදුවෙන් උපයන කළු සල්ලි ආකරයෙන් සොච්චමක් දේශපාලඥයන් හා නිලධාරීන්ට ලබාදී ඔහු සුරක්ෂිත හා සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන බවට ද කටකතා පැවතුණි. එහෙත් ඒවා තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොතිබුණි.

අවසානයේ දශක තුනක හොරා පොලිස් සෙල්ලමේ කූඨප්‍රාප්තිය ළඟා කර ගැනීමට පොලීසියට හැකිවිය. ඒ පැලැර්මෝ නගරයේදීය. පැලැර්මෝ යනු ලෝක මාෆියා ව්‍යාපාරයේ නිජබිමය. එසේම ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අත්සන් කළ ස්ථානය වන්නේද මෙකී පැලැර්මෝ නගරයයි. පැලැර්මෝ ප්‍රොටෝකෝලය (Palarmo Protocol) යනුවෙන් හැඳින්වෙන්නේ එම ප්‍රඥප්තියයි.

මහජන ආරක්ෂාව සඳහා හමුදාමය ස්වභාවයකින් ක්‍රියාත්මක වන කැරබිනියේරි නම් වූ පොලිස් ඒකකයක් ඉතාලියේ ඇත. එකී කැරබිනියේරි කණ්ඩායමක් කෙමෙන් කෙමෙන් තම ඉලක්කය වෙත සූක්ෂමව ළඟා වෙමින් සිටියහ. ඩෙනාරෝ පිළිකා රෝගයකින් පීඩා විඳින බවට වූ ආරංචි නිසා ඉතාලි පොලිසිය පැලැර්මෝ නගරයේ පිළිකා සායනවලට පැමිණෙන රෝගීන් පිළිබඳව කාලාන්තරයක් තිස්සේ අවධානයෙන් සිටියහ. එසේ පැමිණෙන රෝගීන්ගේ මුහුණු තමා සතුව ඇති ඩිජිටල් ඡායාරූපය සමඟ සන්සන්දනය කළහ.

කැරබිනියේරියේ උකුසු ඇස ගැන හාංකවිසියක්වත් නොදත් රෝගීන් ඊයේ උදෑසන පැලැර්මෝ නගරයේ එක්තරා පිළිකා සායනයකින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ තිබුණි. එක් වරම අදාළ සායනය පැවති රෝහල වටා විශාල පොලිස් දැලක් එතෙන බව අවට සිටියවුන්ට නිරීක්ෂණය විය.

යම් අසාමාන්‍ය දෙයක් සිදුවීමට නියමිත බව තේරුම් ගත් නගර වාසීහු තුෂ්ණිම්භූතව බලා සිටියහ. අවසානයේ සායනයට පැමිණ සිටි ඉතාමත් අහිංසක පෙනුමක් සහිත අසරණ රෝගියෙකු පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය. නමුත් සායනික වාර්තා පිරික්සා බැලූවද ඔහුගේ නම මත්තියෝ මෙසීනා ඩෙනාරෝ නොවීය.

පුදුමයකට මෙන් රෝගියා ඩොලර් 33000ක් වටිනා රොලැක්ස් අත් ඔරලෝසුවක් පැළඳ සිටියේය. කැරබිනියේරි කර්නල්වරයා විසින් “තමුන්ගේ නම මත්තියෝ මෙසිනා ඩෙනාරෝ නේද? යි කිහිප වරක් ඇසුවද ඊට රෝගියාගෙන් පිළිතුරක් නොලැබුණි.

“ඔව් මං තමයි මත්තියෝ මෙසීනා ඩෙනාරෝ” අවසානයේ රෝගියා පැහැදිලි හඬින් කියා සිටියේය. ඔහුට වෙනත් විකල්පයක් නොතිබුණි.

ලෝක පාතාලයේ ගෝඩ් ෆාදර් කොටු කරගත් මෙහෙයුම සැලසුම් කළ නිලධාරීන් දැන් විශ්‍රාම ගොස් ඇත. තවත් සමහරු මිය ගොසිනි. එහෙත් මෙහෙයුම නතර වූයේ නැත. රාජකාරී යෂ්ටිය එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට හුවමාරු වී ඇත. මෙහෙයුම අඛණ්ඩව සිදුවිය. ඒ නිසා අද ඉතාලියේ සාමකාමී මිනිස්සු සැහැල්ලු හුස්මක් ගත්හ. පැලැර්මෝ නගරයේ ජනතාව ප්‍රීතිඝෝෂා කරමින් වීදි දිගේ සැරිසරන්නට විය. ඩෙනාරෝ යනු සාතන්ගේ සම්බන්ධීකරණ ලේකම් වුවද ඉතාලියේදී ඔහුව එල්ලුම්ගස් යැවෙන්නේ නැත. නමුත් ජීවිතාන්තය දක්වා සිරබත් කෑමට නම් ඔහුට සිදුවනු ඇත. එසේම ඩෙනාරෝගේ පිළිකා රෝගය සුවකිරීමට අවශ්‍ය සායනික ප්‍රතිකාර දිගටම ලබාදෙන බව ඔහුව කොටුකර ගත් කැරබිනියේරි ප්‍රධානියා මාධ්‍යයට පවසා තිබුණි.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment