ලොක්ඩවුන් නීති කඩමින් මත්පැන් සාදයකට ගිය එංගලන්ත අගමැතිවරයාට ඉවත් වන්නැයි ඉල්ලීම්

157

ඉකුත් 2020 වසරේදී කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා එංගලන්තය අගුලු දමා තිබූ (ලොක්ඩවුන්) අවස්ථාවේදී අගුලු දැමීමේ නීති කඩ කරමින් මත්පැන් සාදයකට සහභාගි වූ බව පිළිගත් එංගලන්ත අගමැති බොරිස් ජොන්සන්ට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පාලක කොන්සර්වේටිව් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගෙන් බලපෑම් එල්ල වෙමින් පවතී.

ඉකුත් 2020 වසරේ එංගලන්තය අගුලු දමා තිබූ අවස්ථාවේදී ලන්ඩනයේ ඩවුනින් වීථියේ පිහිටි අගමැති නිල නිවසට අයත් උද්‍යානයේ පැවති මත්පැන් සාදයකට තමා සහභාගි වූ බව පවසා ඇති අගමැති ජොන්සන් ඒ සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබිණි. තමා සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇතත් ජනතාව ඒ පිළිබඳව පාලනය කළ නොහැකි කෝපයකින් පසුවන බව තමා දන්නා බවද අගමැතිවරයා පවසා තිබේ. අගමැති ජොන්සන් නියෝජනය කරන කොන්සර්වේටිව් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වන ස්කොට්ලන්තය නියෝජනය කරන කොන්සර්වේටිව් පක්ෂ නායකයා වන ඩග්ලස් රෝස් හා මන්ත‍්‍රීවරුන් වන විලියම් රැග්, කැරොලයින් නොක්ස් හා රොජර් ගේල් යන මන්ත‍්‍රීවරු අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළ යුතු බව තරයේ කියා සිටින අතර නියෝජ්‍ය අගමැති ඩොමිනික් රාබ් ඇතුළු කැබිනට් ඇමැතිවරුන් ජොන්සන් අගමැතිවරයාට සහය දක්වන බව ප‍්‍රකාශ කර තිබේ. මේ වන විටත් අගමැතිවරයා පිළිබඳව තමන්ට විශ්වාසයක් නොමැති බව පවසමින් කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සම්බන්ධ තරග සංවිධානය කරන ‘1922’ කමිටුවට පක්ෂයේ පසු පෙළ මන්ත‍්‍රීවරුන් 54 දෙනකු විසින් පැමිණිලි කර තිබේ. අගමැති ජොන්සන් විසින් තමා රට අගුලු දමා තිබියදී මත්පැන් සාදයකට සහභාගි වීම් සම්බන්ධයෙන් මහජන නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයෙන් (හවුස් ඔෆ් කොමන්ස්) සමාව ඉල්ලා සිටියේ පෙරේදා (12 දා) දිනයේදීය. ස්කොට්ලන්තයේ කොන්සර්වේටිව් නායකයා වන ඩග්ලස් රොස් පවසා ඇත්තේ අගමැති ජොන්සන් රටේ නායකයා වශයෙන් ඔහුගේ රජයෙන් රට තුළ පැනවූ අගුලු දැම්මේ නීති රීතිවලට අනුකූලව කටයුතු කළ යුතුව තිබූ බවයි.

එංගලන්ත පාර්ලිමේන්තුවේ සිටින ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායකයා වන ශ‍්‍රීමත් එඩ් ඬේවි අගමැතිවරයා අගුලු දැමීමේ නීති කඩකරමින් සාදයට සහභාගි වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස පොලිසියෙන් ඉල්ලා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment