ලොක්ඩවුන් මත්පැන් සාදය නීති විරෝධී බව කිසිවකු කීවේ නැහැ – එංගලන්ත අගමැති

275

කොරෝනා වසංගත සමයේ මුළු රටම අගුලූ දමා (ලොක්ඩවුන්) තිබූ මොහොතක අගුලූ දැමීමේ නීති රීති කඩකරමින් මත්පැන් සාදයකට සහභාගි වූ බවට චෝදනා එල්ල වී ඇති එංගලන්ත අගමැති බොරිස් ජොන්සන්, එම මත්පැන් සාදයට සහභාගි වීම අගුලූ දැමීමේ නීති රීති කඩකිරීමක් බවට කිසිවකු තමාව දැනුවත් කර නොතිබූ බව පවසා ඇත , එසේම තමා සහභාගි වූ මත්පැන් සාදය රාජකාරි කටයුත්තක් බවද ඔහු කියා තිබේ.

 ඉකුත් 2020 වසරේ මැයි 20 වැනිදා ලන්ඩනයේ ඩවුනින් වීථියේ අංක 10 ස්ථානයේ පිහිටි අගමැති නිල නිවසෙහි උද්‍යානයේ පැවැති මත්පැන් සාදයකට අගුලූ දැමීමේ නීති කඩකරමින් සහභාගි වූ බවට අගමැති ජොන්සන්ට චෝදනා එල්ල වී තිබේ. අගමැති නිල නිවසෙහි සේවය කරමින් සිටි ඩොමිනික් කමින්ස් නැමැත්තා තමා විසින් මෙම සාදයට සහභාහි වීම අගුලූ දැමීමේ නීති රීති උල්ලංඝනය කිරීමක් බවට අගමැතිවරයාට අනතුරු ඇඟවූ බව ප‍්‍රකාශ කර තිබිණි. කෙසේ වුව ද අගමැති ජොන්සන් පවසනුයේ තමාට කිසිවකු එවැනි අනතුරු ඇඟවීමක් සිදු නොකළ බවත් එසේ කළේ නම් තමාගේ මතකයේ එය පවතින බවත්ය. රට අගුලූ දමා තිබූ අවස්ථාවේ අගමැතිවරයා විසින් මත්පැන් සාදයකට සහභාගි වීමේ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරිනියක් වන සු ගේ‍්‍ර පත්කර ඇති අතර ඇය විසින් එම විමර්ශනයේ වාර්තාව ළඟදීම එළිදැක්වීමට නියමිතය. මත්පැන් සාදයට සහභාගි වී ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නොමග යැවීමේ චෝදනා එල්ල වී ඇති අගමැති ජොන්සන් එම චෝදනා මත සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නේදැයි මාධ්‍ය ඔහුගෙන් විමසූ විට ඔහු කියා ඇත්තේ ‘විමර්ශන වාර්තාවෙන් කියන්නේ කුමක්දැයි බලා සිටිමු’ යනුවෙනි.

 සංස්කරණය  – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment