ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම අක‍්‍රිය කරන සූදානමක්

535

ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අක‍්‍රිය කර දැමීම සඳහා එහි කාර්යයන් ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවට පැවරීමට රජය පිඹුරුපත් සකස් කර ඇතැයි ඉඩම් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් දිවයින ඉරිදා සංග‍්‍රහයට පැවසීය.

මේ පිළිබඳව ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නිලන්ත විජේතිලක මහතාගෙන් විමසූවිට ඒ මහතා පැවසුවේ මේ පිළිබඳව අවස්ථා කීපයකදීම සාකච්ඡාවට භාජනය වී ඇති බවය. ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ ඇති ඉඩම්වලට බදු ඔප්පු ලබා දීමෙන් පසු සහ ඉඩම්වලට අදාළ ගැටලූ විසිඳීමෙන් පසුව ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ප‍්‍රමුඛතා කාර්යයක් අවසන්වීමෙන් පසුව තව දුරටත් මෙම ආයතනය පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය බව මෙම යෝජනාව ඉදිරිපත් කරන කණ්ඩායම්වල මතය බවද සභාපතිවරයා පැවසීය.

ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ සේවකයන් 528 දෙනෙකු සේවය කරන බවත් කොමිෂන් සභාවට අයත් ඉඩම්වලට අදාළ නඩු 11ක් පමණ අධිකරණයේ විභාග වෙමින් පවතින බවත් පැවූ සභාපතිවරයා ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වර්තමානයට ගැළපෙන පරිදි පූර්ණ ප‍්‍රති සංවිධානයකට ලක්කර පවත්වාගෙන යා යුතු බව තමන්ගේ අදහස බවද සඳහන් කළේය.

මේ පිළිබඳ ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආර්. ඒ. කේ. රණවක මහතාගෙන් විමසූ විට ඒ මහතා පැවසුවේ රජය මේ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නැති බවයි. කෝප් කමිටුව ඇතුළු සාකච්ඡාවලදී මේ පිළිබඳව යෝජනා ඉදිරිපත් වී ඇති බවත් පාර්ලිමේන්තු පනතකින් මෙම කොමිෂන් සභාව ස්ථාපිත කර ඇති නිසා අහෝසි කිරීම පහසු නැති බවත් ලේකම්වරයා සඳහන් කළේය.

ප‍්‍රියදර්ශන ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment