ලොතරැයි ගහන වාලච්චේනෙන් ඉතිරි වැඩ බැරි ඇයි – විමල් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

280

වාලච්චේන කඩදාසි කම්හලේ කටයුතු නැවත ආරම්භ කිරීමෙන් පසුව ලොතරැයි මුද්‍රණය කිරීමට කටයුතු කළා නම් මෙරටට අවශ්‍ය අනෙකුත් කඩදාසි නිපදවා ගැනීම සඳහා යොමු නොවන්නේ මන්දැයි මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (31) ප්‍රශ්න කළේය.

අතුරු අයවැය පිළිබඳ විවාදයට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ තමන් කර්මාන්ත ඇමැති ලෙස සිටියදී එම ආයතනය සඳහා සුදුස්සකු පත් කිරීමෙන් පසුව එහි කටයුතු සාර්ථක ලෙස කිරීමට හැකිවූ බවය.

වාලච්චේන කඩදාසි කම්හල යකඩවලට විකුණා දැමීමට තමාට පෙර සිටි ඇමැතිවරයා යෝජනා කර තිබුණත් තමා ඇමැති වූ පසුව කම්හල නැවත ආරම්භ කොට ලොතරැයි මුද්‍රණය කිරීම ආරම්භ කළ බව ද සඳහන් කළේය.

එහි තිබූ යන්ත්‍ර දෙකෙන් එකක් උපයෝගි කර ගනිමින් විදුලිය වැඩියෙන් වැයවන අනවශ්‍ය කොටස් ඉවත් කර ගෙවා නොතිබූ විදුලි බිල් පිළිබඳ විදුලි බල මණ්ඩලය සමථයකට පැමිණ වසර දෙකක් ඇතුළත ලොතරැයි මුද්‍රණය ඇරඹූ බව ද ඔහු කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා රූපවාහිනී සංවාදයකදී ඉන්දියාවෙන් කඩදාසි මිලදී ගැනීම ලාභ යැයි කළ සඳහනක් දැඩි ලෙස විවේචනය කළ වීරවංශ මන්ත්‍රීවරයා ඉන්දියාවෙන් සහ වාලච්චේන කඩදාසිවලින් කුමක් ලාභ දැයි ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාගෙන් විමසා දැන ගන්නා ලෙස පැවසීය.

ලොතරැයි නිෂ්පාදනය මෙන්ම පොත් සහ පුවත්පත් මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි වාලච්චේන කම්හලෙන් නිෂ්පාදනය කර ගැනීමට හැකි බව ද ඔහු සඳහන් කළේය.

එම කම්හලේ නිෂ්පාදන ආරම්භ කිරීමෙන් පසුව කඩදාසි මෙටි්‍රක් ටොන් 2252.89ක් නිෂ්පාදනය කර ඇති අතර එමගින් උපයා ඇති ආදායම රුපියල් මිලියන 346.57ක් බව ද මන්ත්‍රීීවරයා වැඩිදුරටත් කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment