ලොතරැයි වර්ග 4 ක් නෑ; පවුල් ලක්‍ෂ 2 ක් අසරණයි

207

– ලොතරැයි අලෙවි නියෝජිත සංගමයේ සභාපති

ලොතරැයිපත් වර්ග 4 ක් වෙළෙඳපොළට නිකුත් නොවීමෙන් දිවයිනේ ලොතරැයිපත් අලෙවියේ යෙදෙන නියෝජිතයන්, ලොතරැුයි අලෙවි සහායකයන් 30,000 කට අධික පිරිසක් අන්ත අසරණ වී ඇතැයි සමස්ත ලංකා ලොතරැුයිපත් අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක‍්‍රිෂාන් මාරඹගේ මහතා ‘දිවයින’ ට ඊයේ (06 වැනිදා) පැවසීය.

මීට අමතරව ඔවුන්ගෙන් යැපෙන පවුල් ලක්‍ෂ 2 ක් ද ඉතා අපහසුතාවට පත්ව ඇතැයි ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ කි‍්‍රෂාන් මාරඹගේ මහතා මෙසේද කියා සිටියේය.

දැන් දින කීපයක ඉඳලා ගොවිසෙත, හඳහන, සෙවණ, වාසනා සම්පත ලොතරැුයි වෙළෙඳ මහත්වරුන්ට ලැබෙන්නේ නැහැ. ලොතරැයි බලධාරීන් කියන්නේ කඩදාසි හිඟය නිසා ඒවා මුද්‍රණය කරන්නේ නැහැ කියලයි. නමුත් ඒක උත්තරයක් නෙමෙයිනේ. මේ ටිකට් මිලදී ගන්න බලාගෙන කොච්චර පිරිසක් එනවද?

රෝද පුටුවෙන් ගිහින් ලොතරැයි අලෙවි කරන ආබාධිත අය ඉන්නවා. තව පාපැදිවලින් ගිහින් ලොතරැුයි අලෙවි කරන අය ඉන්නවා. බස්වල නැඟලා ලොතරැයි අලෙවි කරන අය ඉන්නවා. දැන් මේ ලොතරැුයි වර්ගවල හිඟය නිසා අපි හැමෝම අන්ත අසරණ වෙලා. අපි මේ ගැන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන්නා. නමුත් තාම විසඳුමක් ලබාදීලා නැහැ. මෙහෙම ගියොත් ලොතරැුයි කර්මාන්තයත් නැතිවෙලා යාවි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment