ලොවට රතු එළිය දැල්වූ ජගත් ලේකම්වරු

107

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම වාර්ෂික සමුළුවේ දී මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් (Antonio Guterras) ලෝක නායකයන් අමතමින් කළ දෙසුම, ලෝවාසී සියලූ නායකයන් පමණක් නොව මුළු ලොවම අවදි කරවන දෙසුමක් ලෙස මම දකින්නෙමි. මේ සතියේ සටහනින් ඒ ගැන සහ මීට කලින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කීර්තිමත් මහලේකම්වරයකුව සිටි ඩෑග් හැමර්ෂල් විසින් කරන ලද දෙසුමක් ගැන ඔබේ අවධානය යොමු කරන්නට කල්පනා කළෙමි.

අද ලෝකය වැරදි දිසාවකට ගමන් කරමින් මහා ප‍්‍රපාතයක කඩඉමට පැමිණ ඇති බවත්, දරාසිටිය නොහැකි අසමානතාවන් මෙන්ම කාලගුණික වෙනස්කම් ලොව ඉදිරියේ පවතින බවත් කියමින්, මේ අභියෝගයන් ඉදිරියේ ඇති අකාර්යක්ෂම දුර්වල නායකත්වයන් ගැනද විවෘතවම අදහස් දැක්වීම වත්මන් මහලේකම්වරයාගේ දෙසුම තුළ දැකිය හැකි විය.

”මම අද සිදු කරන්නේ අනතුරේ සීනුව නාද කිරීමයි. ලෝකය අවදි විය යුතුව තිබෙනවා.”

”ධනවත් ලෝකය 100% ක් එන්නත්කරණය සම්පූර්ණ කරද්දී, 90% ක් අප‍්‍රිකානුවන් තවමත් පළමු එන්නත ලබාගන්නට බලාගෙන සිටිනවා. මේ තත්ත්වය අශීලාචාරයි. මේ තත්ත්වය වගකිවයුතු ලෝකයට එල්ලවන සදාචාරාත්මක චෝදනා පත‍්‍රයක්.”

”කෝටිපතියන් අභ්‍යාවකාශයේ විනෝදගමන් යමින් ප‍්‍රීතියෙන් කල් ගත කරන අතර මිලියන ගණනක් මිනිසුන් කුසගින්නේ වේදනා විඳිනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලකයන් තම ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට අසමත්වන විට, ඒ තත්ත්වයන් හමුදා කුමන්ත‍්‍රණවලට සහ බලහත්කාරකම්වලින් බලය අත්පත් කරගැනීම්වලට මං පාදනවා. ඔක්සිජන් සපයනවා.”

මහ ලේකම්වරයාගේ මෙවර දෙසුම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකය ඉදිරියේ ඇති අඳුරු පින්තූරය හෙළිකරන්නක් මෙන්ම, ශ‍්‍රී ලංකාවේ අපට ද ඒ තුළ සිතන්නට බොහෝ කරුණ ඇත.

ලෝකය පුරා ඇති (Coal Power Station) ගල් අඟුරු බලාගාර සැලසුම් කර ඇති පරිදි, ක‍්‍රියාත්මක වන්නට ආරම්භක වුවහොත් විශ්වයේ සාමාන්‍ය උෂ්ණත්වය තවදුරටත් දරාගත නොහැකි අයුරින් සෙල්සියක් අංශක 2 (2ජ) වලටත් වඩා ඉහළ යනු ඇති බවට ඔහු කරුණු දක්වා සිටියේය.

”අපේ ලෝකය මෙතෙක් මේ ආකාරයේ අනතුරුදායක තත්ත්වයකට මුහුණ දී නැහැ. මේ ආකාරයට බෙදී වෙන්වීත් නැහැ. ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක මේ අයුරින් එකිනෙකට සතුරු වී සිටින වාතාවරණයක් තුළ, ලොව මුහුණ දී ඇති බැ?රුම් ආර්ථික සහ සංවර්ධන අභියෝගයන් ඇමතීම අපහසු කරුණක්.”

”ධනාත්මක ලෙසින් බලාපොරොත්තු දැල්වීමට නම්, විශ්වාසය ගොඩනැංවීමට නම්, අපට සංවාදය අවශ්‍ය වෙනවා. අන්‍යොන්‍ය අවබෝධය අවශ්‍ය වෙනවා.”

මහලේකම්වරයා විශ්වයේ අනාගතය පිළිබඳව රතු එළිය දල්වන අතරතුර, ධනාත්මක ලෙසින් බලාපොරොත්තු දැල්වීමේ සහ විශ්වාසය ගොඩනැගීමේ අවශ්‍යතාව අවධාරණය කර සිටී. එහෙත් මහ පොළවේ තත්ත්වය ඊට වෙනස් බව පෙනේ. සීතල යුද්ධ අවදියට වඩා හමුදාමය අතින් සහ භූ දේශපාලනමය (Geopolitics) අතින් එකිනෙකා අභිබවා ජයගැන්ම සඳහා උපාය මාර්ගික මෙහෙයුම් කඳවුරු දෙක තුළින්ම ක‍්‍රියාත්මකව පැවැතීම දකින්නට ඇත.

සුපිරි බලවතුන්ගේ මේ බල තරගය තුළ පුංචි රටවල ස්වාධිපත්‍ය සුරක්ෂිත කෙරෙන පැවැත්මක් සඳහා ඇති එකම විකල්පය ලෙස දැකිය හැක්කේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අදීන ශක්තිමත් සංවිධානයක් බවට පත් කර ගැන්මයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරමුණු හොඳින් තේරුම් ගනිමින්, එය ඉදිරියේ පවතින අභියෝග ජයගන්නට නිර්භීතව පෙනී සිටි කීර්තිමත් මහලේකම්වරයකු ලෙස ඉතිහාසයට එක්ව සිටින ඩෑග් හැමර්ෂල්, 1960 වසරේදී මහා මණ්ඩලයේ පහලොස්වන සැසිය අමතමින් කළ දෙසුමෙන් කොටසක් ද මෙහි ලා උපුටා දක්වන්නට මම කැමතියි.

”තමන්ගේ ආරක්ෂාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය අවශ්‍ය වන්නේ සුපිරි බලවතුන්ට නොවේ. එය අවශ්‍ය වන්නේ අනෙක් රටවලටයි. ඒ අතින් බලන කල මේ සංවිධානය ඔවුන්ගේ සංවිධානයක්. මම දැඩි ලෙස විශ්වාස කරනවා, ඔවුන් ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබා දෙමින්, මේ සංවිධානය නිසි ලෙස හසුරුවාවි කියලා.”

”මම මේ තනතුරේ රැඳී ඉන්නට බලාපොරොත්තු වන්නේ මෙම රටවල යහපත උදෙසායි. මෙම සංවිධානයේ සේවකයකු ලෙසයි. ඔවුන් මගෙන් මේ කාර්යභාරය අපේක්ෂා කර සිටිනතාක් කල් පමණයි. මේ තනතුරෙන් ඉල්ලා අස්වීම පහසු කරුණක්. එහෙත් මෙහි රැඳී සිටීම පහසු කටයුත්තක් නොවෙයි.”

”සුපිරි බලවතුන්ගේ අදහස්වලට හිස නැමීට පහසුයි. එහෙත් ඒ අදහස්වලට එරෙහි ස්ථාවරයක් ගැනීම පහසු කටයුත්තක් නොවෙයි. මේ සභාවේ සියලූ දෙනා දන්නවා, කිහිප වතාවකදීම මම එලෙස යටත් නොවී කටයුතු කර ඇති බව. ඒ පැති කිහිපයකටම යටත් නොවී. මෙම රටවල ආරක්ෂාව පිණිස අදත් ඒ අයුරින් කටයුතු කළ යුතු යැයි ඒ රටවල් මා වෙතින් බලාපොරොත්තු වන්නේ නම්, මම නැවත ඒ ලෙසින් කටයුතු කරන්නම්.”

ඩෑග් හැමර්ෂල් මේ කථාව කළේ, මෙම සැසියේදී ඔහුට කලින් කථා කළ සුපිරි මහ බලවතුන්ගෙන් එක් රාජ්‍යයක ජනාධිපතිවරයා, මහලේකම්වරයා ඉල්ලා අස්විය යුතු බවට කළ ප‍්‍රකාශයට අනතුරුවයි. ඊට ප‍්‍රතිචාර දක්වමින් ඩෑග් හැමර්ෂල් මහ ලේකම්වරයා කළ ඉහත කථාවට මහා මණ්ඩල සාමාජිකයන්ගෙන් එදා ලැබුණේ ශාලාව දෙදරවනසුලූ අත්පොලොසන් නාදයක්. 1961 දී ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණු ඩෑග් හැමර්ෂල් වෙනුවෙන්, ඔහුගේ නාමයට නොබෙල් සාම ත්‍යාගය පිරිනමමින්, නොබෙල් කමිටු සභාපතිවරයා කියා සිටියේ, ”ජාතීන් අතර සාමය සහ සහයෝගය ඇති කිරීම සඳහා ඔහු කළ සියලූ දෑ වෙනුවෙන්, ඔහු දිනාදුන් සියලූ දෑ වෙනුවෙන්, ඔහු සටන් කළ සියලූ දෑ වෙනුවෙන්” මේ ත්‍යාගය පිරිනමන බවයි. කාල වකවානු දෙකකදී මේ ජගත් ලේකම්වරු දෙදෙනා අතින් අවධාරණය කරනුයේ ලොව අසමානතාවල් තුළින් මතුව ඇති අසාධාරණවූත්, සදාචාර විරෝධීවූත් තත්ත්වයන්, නිසි ලෙසින් ඇමතීමේ ඇති අවශ්‍යතාව සහ ලොව ආර්ථික සහ දේශපාලන බලය සඳහා ඇති තරගය තුළ ලොව මුහුණ පා ඇති බැරෑරුම් අභියෝග නිසිලෙස කළමනාකරණය කර ගැන්මට අපොහොසත්වීම තුළ, විශ්වය ඉදිරියේ උදා වී ඇති අඳුරු පින්තූරයයි. ලෝකයම මුහුණ දී ඇති මේ බැ?රුම් අභියෝගයන් ශ‍්‍රී ලංකාවේ අපට ද වලංගු බව පැහැදිලිව දැකිය හැකි වේ.

advertistmentadvertistment
advertistmentadvertistment