ලොවම සුවපත් වේවා!

180

මිහිඳු මහ රහතන් වහන්සේ ප‍්‍රමුඛ ධර්මදූත කණ්ඩායම අප රටට වැඩම කරවූයේ අද වැනි උතුම් පොසොන් පොහොය දිනකදී ය. අප රටට බුදු දහම ලැබීම පමණක් නොව ශ්‍රේෂ්ඨ මානව හිතවාදී සමාජයක් අප රට තුළ නිර්මාණය වීමට මහින්දාගමනය ඉවහල් විය.
 
 දේවානම්පියතිස්ස ප‍්‍රමුඛ ඇමැති මණ්ඩලය විනෝදය පිණිස දඩ කෙළියේ යෙදී සිටියදී අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේගේ  මුණගැසීම නිසා අවිහිංසාවාදයට යොමුවිය. මිහිඳු මහා රහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජු හමුවූ මොහොතේදී අඹ පැන සහ ඥාති පැන අසමින් රජුගේ ඥාන ශක්තිය පිළිබඳ මැනබැලීමක් කරනුයේ කෙතෙක් දුරට බුදුදහම ශ‍්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට රජුන්් ඥානවන්තද යන කාරණය විමසීමටය. එම පැන විමසීම සාර්ථක වූවා සේම බුදුදහම ශ‍්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට රාජ්‍ය අනුග‍්‍රහය නොම`දව ලැබිණි. අද ද අප රට භාරගන්නා දේශපාලන නායකයන් බුදුදහම සුරක්‍ෂිත කොට පෝෂණය කරන බවට දිවුරුම් දෙන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.
 
 බෞද්ධයාගේ තිඹිරිගෙයි සිට සුසාන භූමිය දක්වා යන ගමන දක්වාම බෞද්ධ උරුමයෙන් සුසැදි සංස්කෘතික උරුම රැුසක් අපට දායද වන්නේ මිහිඳු මහා රහතන්වහන්සේ් ශ‍්‍රී ලංකාද්වීපයට වැඩම කළ නිසාවෙනි. මළවුන් පිදීම වෙනුවට ආගමික කටයුතු සිදුකර මියගිය ඥාතීන්ට පිං පැමිණවීම, වෘක්‍ෂ වන්දනාව වෙනුවට බෝධි වන්දනාව සිදු කිරීම මෙන්ම යාග හෝම ස්තෝත‍්‍ර වෙනුවට පිරිත් සජ්ඣායනය වැනි දේ ශ‍්‍රී ලාංකිකයන් වැළඳගෙන සිය අධ්‍යාත්මික පෝෂණය වඩ වඩාත් වඩවාගනුයේ මෙම මහා ඓතිහාසික වන්දනීය දිනය නිසාවෙනි.
 
 මිහිඳු මාහිමියන් අප රටට වැඩම කරවීම නිසා මෙරට සමාජ පුනර්ජීවනයක් මෙන්ම සමාජ පෙරළියක්් සිදුවිය. රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව ගම් නියම්ගම්, දනව්, පසල් දනව්, පුර – විසල්පුර ආදිය ඔස්සේ ධර්මය ප‍්‍රචාරය කොට මිථ්‍යා දෘෂ්ටියෙන් සම්‍යක් දෘෂ්ටියට අප රටේ ජනතාව යොමු නොකරන්නට අපි අදටත් නොදියුණු ජාතියක් වන්නට තිබිණි.
 
 කොරෝනාව විසින් අප රට පමණක් නොව මුළු මහත් ලෝකයේ රටවල් රැසක් වෛරසයට යටත් කර තිබේ. මෙවැනි නස්පැත්තියක් සිදු නොවූයේ නම් අද අනුරපුර අටමස්ථානය පමණක් නොව මුළු මහත් රටම සිල් සුවඳින් පිරීයනු ඇත. එනිසා අද දවසේ අප කළ යුත්තේ නිවෙස්වලට වී හැකි අයුරින් පොසොන් සැමරීමය. රටපුරා දන්සල් ඉදි නොවුණාට, තොරණ, සැරසිලි නොවුණාට අප කම්පා විය යුතු නැත. නිවෙස්වලට වී බණ භාවනා කරමින් ඉන් ලැබෙන අධ්‍යාත්මික අනුහසින් අප රට පමණක් නොව මුළු ලොවක් සුවපත් වේවා යන්න ප‍්‍රාර්ථනා කරමු යැයි අපි මේ මොහොතේ සියලූ ලාංකික බෞද්ධ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.
 
 වසංගතයක් මැද ජීවිතය ගෙවෙද්දී අපට හුරුපුරුදු ජීවන රටාව පවත්වාගෙන යෑමට ඉඩකඩ නොමැති බව අප හැම මොහොතකම සිහිපත් කළ යුතුය. කොරෝනා විපතින් අප රට ගලවා ගැනීම සඳහා ඇති එකම මාර්ගය වනුයේ විනයවත්ව සාමකාමීව ජීවිතය හැඩගසා ගැනීමයි. කොරෝනා වෛරසයෙන් අප රට මුදා ගන්නා මෙහෙයුමේදී අප විසින් ඇතිකර ගනු ලබන ස්වයං විනය අතිශය වැදගත්ය. රටක් වසාගෙන සිටීමෙන් ඇතිවන ආර්ථික ඵලවිපාක ගැන කාටත් අවබෝධයක් තිබේ. එනිසාම යම් යම් සීමාවලට යටත්ව රට විවෘත කර ඇති මොහොතේදී අප අපේ වගකීම් මැනවින් අවබෝධ කරගෙන කටයුතු කිරීම අතිශය වැදගත් ය. ‘‘ආරෝග්‍ය පරමා ලාභා’’ යන බුද්ධ දේශනාවට යටත්ව අපට අපේ ජීවිතය හැඩගස්වා ගත හැකි නම් මේ උවදුරින් අපට ඉතා ඉක්මනින් මිදීමට හැකිවනු ඇත. ඒ සඳහා ධෛර්යයෙන්, කල්පනාවෙන්, ඉවසීමෙන්, ප‍්‍රඥාගෝචර බුද්ධියෙන් කටයුතු කරන්නැයි ද මුළු මහත් ශ‍්‍රී ලාංකිකයන් වෙත මේ උතුම් පොසොන් පොහෝ දිනයේදී සිහිපත් කරනු කැමැත්තෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment