ලොවෙන් සැඟවුණු පිණිබෙරලිය කෙළින් කන්දෙන් යළි මතුවෙයි

879

ශ්‍රී ලංකාවට ආවේණික, ස්භාවික පරිසරයෙන් වඳවී ඇතැයි සැලකූ ශාක විශේෂයක්‌ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ කෙලින්කන්ද ග්‍රාමසේවා වසමෙන් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ. පසුගිය දිනක පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෙලින්කන්ද ප්‍රදේශයේ අධ්‍යනයේ යෙදුනු ශාක විශේෂ පිළිබඳ විශේෂඥයකු වන හිමේෂ් දිල්රුවන් ජයසිංහ, ශාක විශේෂයන් පිළිබඳ අධ්‍යයනයෙහි නිරත පරිසර ගවේශකයෙකු වන පේශල පසන් කරුණාරත්න සහ ශාක විශේෂයන්හි පරාග පිළිබඳ අධ්‍යයනයේ යෙදෙන දිලු‍ම් ප්‍රභාත් සමරසිංහ ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකළ අධ්‍යයනයකදී මෙම සොයා ගැනීම වාර්තා කිරීමට හැකි විය.

ලොවෙන් සැඟවුණු පිණිබෙරලිය කෙළින් කන්දෙන් යළි මතුවෙයි

හෙළ බසින් පිණි බෙරලිය ලෙසද සහ Shorea ovalifolia යන විද්‍යාත්මක නාමය යටතේ හඳුන්වන මෙම ශාක විශේෂය 1864 වර්ෂයේදී මුල්වරට ලොවට හඳුන්වා දී ඇත්තේ පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ උද්‍යාන අධිකාරීවරයෙක් ලෙස සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික ශාක විද්‍යාඥයෙකු වූ හෙන්රි ත්වේට්ස් මහතා විසින් Enumoratia Planatarum Zeyaniae නම් ග්‍රන්ථයේ පළ කළ ලිපියක් මගිනි. ඉන්පසු 1887 වර්ෂයේදී වලල්ලාවිට, හෙවෙස්ස ප්‍රදේශයෙන් සහ තවලම, හිනිදුම ප්‍රදේශයෙන් මෙම ශාක විශේෂය වාර්තා වී ඇති අතර එහි සජීවී නිදර්ශක රැගෙන ගොස් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සහ ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ රෝපණය කර ඇත. එම ශාකයන්ගෙන් පැවත ඇවිත් ඉතිරිව තිබූ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ නිදර්ශක ශාකයත් 2012 වර්ෂයේ කඩා වැටී ඇති අතර පසුව එම ශාකයෙන් පැළ කිහිපයක් නැවතත් රෝපණය කිරීමට උද්භිද උද්‍යානයේ නිලධාරීන් සමත්ව ඇත. උද්භිද උද්‍යානයට පමණක් සීමා වී වසර 100කට අධික කාලයක් ස්භාවික පරිසරයෙන් වාර්තා නොවීම නිසා මෙම ශාක විශේෂය EW – Extinct in Wild හෙවත් ස්භාවික පරිසරයෙන් වඳ වූ ශාක විශේෂයක් ලෙස 2012 ජාතික රතු දත්ත ලැයිස්තුවේ වාර්තා කොට තිබුණි. ශාක විශේෂ පිළිබඳ විශේෂඥයකු වන හිමේෂ් දිල්රුවන් ජයසිංහ මහතා සහ ශාක විශේෂ පිළිබඳ පර්යේෂකයකු වන භාතිය ගොපල්ලව මහතා ඇතූළු කණ්ඩාමක් විසින් 2020 වර්ෂයේදී රත්නපුර, අයගම ප්‍රදේශයේදී සිදුකළ අධ්‍යයනයකදී වසර 134 කට පසු පිණි බෙරලිය ස්වභාවික පරිසරයෙන් ප්‍රථම වරට හඳුනා ගැනීමට සමත්වී තිබේ.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment