ලොව දැවැන්තම එක්දින පරාජය සමග ග්‍රීන්ෆීල්ඩ්හිදී ශ්‍රී ලංකාවේ ඇස් රතු වෙයි

523

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා කෝලි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය නිමා කරමින් තිරුවානන්තපුරයේ ග්‍රීන්ෆිල්ඩ් ක්‍රීඩාංගණයේ ඊයේ (15 වැනිදා) පැවති තුන්වන සහ අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 317ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ලොව දැවැන්තම එක්දින තරග ජයග්‍රහණය වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

මීට පෙර එක්දින තරගයක විශාලම ජයග්‍රහණය ලෙස සටහන් වී තිබුණේ නවසීලන්තය විසින් 2008 වසරේ දී අයර්ලන්තයට එරෙහිව ලකුණු 290ක ජයග්‍රහණයක් ලැබීමයි.

විරාත් කෝලි සහ ශුබ්මන් ගිල් ගේ ශතකවලින් සන්නද්ධව ලකුණු 390ක විශාල ලකුණු පුවරුවක් නිර්මාණය කළ ඉන්දීය කණ්ඩායම පන්දු යැවීමේදී මොහොමඩ් සිරාජ් ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ ශක්තිය මත ශ්‍රී ලංකා ඉනිම ලකුණු 73කට සීමා කිරීමට සමත්වූයේය.

ඒ සඳහා ඔවුන්ට වැය වී තිබුණේ පන්දු වාර 22 ක් පමණි.

මොහොමඩ් සිරාජ් ලකුණු 32 කට කඩුලු 4ක් ද, මොහොමඩ් ශාමි සහ කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් ද දවා ගනිමින් ශ්‍රී ලංකාවට මෙම දැවැන්ත පරාජය අත් කර දීමට අත්වැල් බැඳගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 19ක් ලබා ගත් අතර ලකුණු 10 සීමාව ඉක්මවූ අනෙක් පිතිකරුවන් දෙදෙනා වූයේ දසුන් ශානක සහ කසුන් රාජිතයි.

අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක පිළිවෙලින් ලකුණු 1කට, ලකුණු 4කට සහ ලකුණු 1කට දැවී යමින් මෙම පරාජයට මූලික අඩිතාලම දැමූහ.

එක්දින තරගාවලිය යටතේ පළමු තරග දෙකම පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට තම ගෞරවය රැකගැනීම පිණිස පැවති ඊයේ තරගයේදී සිදුවූයේ කලින් තරග දෙකටත් වඩා දරුණු පරාජයකට ලක්ව තරගාවලියේ ජය 3-0 ක් ලෙස ඉන්දියාවට පුද දීමට ය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පිටිය පුරා රිසි සේ පහර දුන් විරාත් කෝලි සහ ශුබ්මන් ගිල් දෙදෙනා දෙවන කඩුල්ල සඳහා ලකුණු 131 ක සම්බන්ධතාවයක් පැවැත්වූ අතර කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ එම සම්බන්ධතාවය බිඳී යන විට ගිල් ලකුණු 116ක් රැස් කරගෙන තිබුණි.

එම ශතකය ගිල් ගේ දෙවන එක්දින ශතකය වූ අතර ඊයෙ කෝලි රැස් කරන ලද ශතකය මෙම තරගාවලියේ ඔහුගේ දෙවන ශතකය මෙන්ම ඔහුගේ 46 වෙනි එක්දින ජාත්‍යන්තර ශතකය විය.

ඉන්දීය ඉනිම අවසන් වන තෙක්ම සිය පිතිහරඹය නිමා නොකළ කෝලි තරගයේ අවසන් පන්දු වාරයේදී ද 6 පහර දෙකක් සහ 4 පහරක් එල්ල කිරීමට සමත් වූයේය.

පන්දු 110කදී ලකුණු 166ක් නොදැවී ලබාගත් කෝලි ගේ ප්‍රහාරාත්මක වේගය 150 ඉක්මවූ අතර හයේ පහර 8ක් සහ හතරේ පහර 13ක් ඔහු සිය ඉනිමට එකතු කර ගෙන තිබුණි.

කෝලි ඊයේ තරගයේ වීරයා සම්මානයෙන් මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබීය.

මෙම තරගය සඳහා ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වොෂින්ටන් සුන්ඩාර් සහ සූර්යකුමාර් යාදව් කැඳවා තිබූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් අශේන් බණ්ඩාර සහ ජෙෆ්රි වැන්ඩසේ කැඳවා තිබුණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් කැඳවන ලද එම ක්‍රීඩකයන් දෙදෙනාට ම ඊයේ තරගයේ දී පිතිහරඹයේ නිරතවීමට නොහැකි වූ අතර හතරේ සීමාව ආසන්නයේ පන්දුවක් නතර කර ගැනීමට යෑමේ දී එකිනෙකා ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලබා ඔවුන්ට රෝහල්ගත වීමට සිදු විය.

ඒ අනුව ජෙෆ්රි වැන්ඩසේ වෙනුවට දුනිත් වෙල්ලාලගේ ට පන්දුවට පහර දීමට අවස්ථාව උදා වුවද අශේන් බණ්ඩාර ගේ පුරප්පාඩුව එසේම පැවැතිණි.

ලකුණු සාරාංශය

ඉන්දියාව – පන්දු වාර 50 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 390යි. – විරාට් කෝලි (නොදැවී) 166, ෂුබ්මාන් ගිල් 116, රෝහිත් ෂර්මා 42, රාජිත 2/81, කුමාර 2/87

ශ්‍රී ලංකාව – පන්දු වාර 22කදී සියලු දෙනා දැවී ලකුණු 73යි – නුවනිඳු ප්‍රනාන්දු 19, දසුන් ශානක 11, මොහොමඩ් සිරාජ් 4/32 මොහොමඩ් ෂාමි 20/2

advertistmentadvertistment
advertistmentadvertistment