ලොව නොමේරුතම නිවුන් දරු යුගලය කැනඩාවෙන්

245

කැනඩාවේ වෙසෙන මව්පිය යුවළකට දාව සති 22ක කාලයකින් මෙලොව එළිය දුටු නිවුන් දරුවන් දෙදෙනෙකු ලොව මෙතෙක් බිහි වූ නොමේරුම නිවුන් දරුවන් ලෙස ගිනස් ලෝක වාර්තා සංවිධායකයන් විසින් නම් කර තිබේ.

මවගේ දරු ගැබට දවස් 126ක් ගත වූ පසු ඉකුත් වසරේ (2022) මාර්තු මස 04 වැනිදා උපත ලබා ඇති කැනඩාවේ ඔන්ටේරියෝ පළාතේ පදිංචි අඩියා හා අඩ්රියෙල් නඩරාජා යන පිරිමි හා ගැහැනු නිවුන් දරුවන් දෙදෙනා මෙසේ ලොව නොමේරුතම නිවුන් දරුවන් ලෙස ගිනස් ලෝක වාර්තා පොතට එක්ව තිබේ. නියමිත කාලයට සති 18කට පෙර උපත ලැබීම නිසා ඔවුන්ගේ ශරීර දුර්වල බව අනාවරණය වී තිබීම හේතුවෙන් ඔවුන් දෙදෙනා වැඩිකල් ජීවත් නොවනු ඇති බවට වෛද්‍යවරුන් විසින් අනාවැකි පළ කර තිබිණි.

කෙසේ වුවද පැවැති බාධක මැඩලමින් මෙම නිවුන් දරුවන් දෙදෙනා ඉකුත් මාර්තු 04වැනිදා සිය පළමු ජන්ම දිනය සමරා තිබේ. මෙම දරුවන් දෙදෙනාගේ උපත් බර පිළිවෙලින් ග්‍රෑම් 330ක් හා ග්‍රෑම් 420ක් වූ අතර ඔවුන් දෙදෙනා මෙතෙක් මෙලොව එළිය දුටු සැහැල්ලුම බරකින් යුත් නිවුන් දරුවන් ලෙස ගිනස් වාර්තා සංවිධායකයන් විසින් හඳුන්වා දී තිබේ. කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පිහිටි මවුන්ට් සිනයි රෝහලේදී මෙලොව එළිය දුටු අඩියා හා අඩ්රියෙල්ගේ දෙමවුපියන් කවීන් නඩරාජා හා ශකිනා රාජේන්ද්‍රම් වන අතර ඔවුන්ගේ ප්‍රථම දරු ගැබ

ගබ්සා වී තිබිණි. මෙම නිවුන් සහෝදර සහෝදරියන් දෙදෙනාට පෙර ලොව නොමේරුතම නිවුන් දරුවන් ලෙස ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත්ව සිටියේ ඇමරිකා එක්සත් ජනපදයේ අයෝවා ප්‍රාන්තයේ පදිංචි නිවුන් දරුවන් දෙදෙනෙකි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment