ලොව පුරා කොරෝනා ආසාදිතයන් සහ මරණ සියයට 80 කින් ඉහළ ගිහින් – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

440

ආසියාව හා අප‍්‍රිකාව ඇතුළු ලෝක සෞඛ්‍ය සංවිධානයට අයත් කලාප 6න් 5කින්ම වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව පසුගිය සති හතරක කාලය තුළදී සියයට 80කින් වර්ධනය වී ඇති බව එම සංවිධානය පවසයි.

මෙසේ කොරෝනා වෛරස් ආසාදනය වැඩිවීමට හේතු වී ඇත්තේ මේ වන විට රටවල් 132කට පැතිර ගොස් ඇති ‘ඩෙල්ටා’ කොරෝනා වෛරස් ප‍්‍රභේදය බව පෙන්වා දෙන සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ටෙඞ්රෝස් ඇඞ්හනම් ගෙබ්රේයේසුස් මහතා, ඉකුත් සති හතරක කාලයේදී අප‍්‍රිකානු කලාපයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව සියයට 80කින් වර්ධනය වී ඇති බව ද අවධාරණය කර සිටී.

මෙසේ කොරෝනා ආසාදිතයන්ගේ හා කොරෝනා මරණ වැඩි වීමට හේතු වී ඇත්තේ කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකරමින් ජනතාව ඒකරාශී වීම, සංචරණය වැඩිවීම,මහජන සෞඛ්‍ය පිළිවෙත් වැරදි ලෙස භාවිත කිරීම,එන්නත්කරණය සැමටම නොලැබීම යන කරුණු බවද වෛද්‍ය ටෙඞ්රෝස් පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ජාවක් අමතමින් ප‍්‍රකාශ කළේය.

‘‘මේ වන විට ශීඝ‍්‍රයෙන් පැතිරෙන ඩෙල්ටා වෛරස් ප‍්‍රභේදයේ බලපෑම හේතුවෙන් ලොව පුරා රටවල් 29කට ආසාදිතයන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය කරන ඔක්සිජන් ඉල්ලූ‍ම වැඩි වී තිබෙනවා.බොහෝ රටවල සිය සෞඛ්‍ය සේවකයන් කොරෝනා ආසාදනයෙන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය මුලික උපකරණ හා පහසුකම්වත් සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින අතර කොරෝනා ආසාදිතයන් දිගින් දිගටම වැඩි වීමෙන් ඔක්සිජන් හිඟයක් ඇති වීම නොවැළක්විය හැකි වනු ඇත. ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදු කරනු ලබන කොරෝනා පරීක්‍ෂණ සංඛ්‍යාව වැඩි කරමින් නිසි සෞඛ්‍ය ක‍්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් තොරව මෙම වෛරසයට එරෙහිව සාර්ථක ලෙස සටන් කළ නොහැක’’ යැයි වෛද්‍ය ටෙඞ්රෝස් පවසා තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment