ලොව පුරා රටවලින් මන්කිපොක්ස් ආසාදිතයන් හමුවීම ඉහළට

402

බොහෝ රටවල් වැඩි අවධානයක් නොදැක්වුවද ඉකුත් සතියේ ගෝලීය වශයෙන් වාර්තා වූ ‘මන්කිපොක්ස්’ වෛරස් ආසාදනයට ගොදුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව පෙර සතියට වඩා තුන් ගුණයකින් පමණ වැඩි වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඊයේ (06දා) වන විට ලොව පුරා රටවල් 27 කින් මන්කිපොක්ස් වෛරස් ආසාදනයට ගොදුරුවූවන් 780 දෙනකු වාර්තා වී තිබූ අතර එම සංඛ්‍යාව මෙයට සතියකට පමණ පෙර වාර්තා වී තිබූ මන්කිපොක්ස් රෝගීන් 257 දෙනාගේ සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි වීමක් බව සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ දැනට වැඩි වශයෙන් යුරෝපා හා උතුරු ඇමරිකානු රටවලින් වාර්තා වී ඇති මන්කිපොක්ස් රෝගීන් ළඟදීම ලොව සෙසු රටවලින් හඳුනාගැනීම මෙන්ම එය ලොව පුරා තවදුරටත් පැතිරීම ශීඝ්‍රයෙන් සිදු වනු ඇති බවයි. මෙම ආසාදනය ජනතාව අතර ශීඝ්‍රයෙන් පැතිර ගියහොත් දැඩි අවදානම් සහගත තත්ත්වයක් උද්ගත වීමට ඉඩ ඇතැයි ද එම විශේෂඥයෝ කියති.

මේ වන විට ගෝලීය වශයෙන් වාර්තා වී ඇති මන්කිපොක්ස් ආසාදිතයන්ගෙන් බහුතරය එනම් 207ක් වාර්තා වී ඇත්තේ එංගලන්තයෙනි. ස්පාඤ්ඤයෙන් ආසාදිතයන් 156 ක්ද, පෘතුගාලයෙන් 138 ක්ද වාර්තා වී තිබේ. දැනට ඇතැම් රටවලින් වාර්තා වී ඇති මන්කිපොක්ස් ආසාදිතයන් හරහා රෝගය ආසාදනය වූ බොහෝ දෙනා මුල් ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයන් නොවන නිසා එම රටවල වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාවට වඩා වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් සමාජයේ සිටිය හැකි බව සෞඛ්‍ය සංවිධානය කියයි. මෙය සුළු රෝග ලක්ෂණ සහිත ආසාදනයක් සේ සැලකුනද එය ඇතැම් විට ඉතාමත් දරුණු ආසාදනයක් බවට පත් හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment