ලොව ප‍්‍රථම වරට මැලේරියා එන්නතක් කුඩා ළමුන්ට දීමට සැරසේ

120

ලොව ප‍්‍රථමවරට මැලේරියා රෝගය සඳහා වන එන්නතක් මැලේරියා රෝගය ශීඝ‍්‍රයෙන් පැතිර යන අප‍්‍රිකානු මහාද්වීපයේ කුඩා ළමුන්ට එන්නත් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබේ. වසර 100ක පමණ කාලයක් මුළුල්ලේ ලොව පුරා පර්යේෂකයන් විසින් මැලේරියා රෝගය පැතිරීම වැළැක්වීම සඳහා එන්නතක් සොයා  ගැනීමට පර්යේෂණ පැවැත්වුවද එය සාර්ථක නොවූ අතර වසර 06කට පමණ පෙර නිපදවූ ‘ආර් .ටී .එස් .එස්.’ නමැති එන්නත කුඩා ළමුන්ට මැලේරියා රෝගය වැලඳීම හා ඔවුන් ඉන් මරණයට පත් වීම වැළක්වීමට සැලකිය යුතු මට්ටමකින් ක‍්‍රියා කරන බවට අප‍්‍රිකානු රටවල් කිහිපයක සිදු කරන ලද නියමු ව්‍යාපෘතිවලදී අනාවරණය වී තිබේ.

 අදාළ නියමු ව්‍යාපෘතිය යටතේ අප‍්‍රිකානු රටවල් වන ඝානාව, කෙන්යාව හා මලාවි රාජ්‍යයේ කුඩා ළමුන් හට මෙම එන්නත ලබා දී ඇති අතර එහිදී එන්නත මගින් සෑම ළමුන් 10 දෙනෙකුගෙන්ම 04 දෙනෙකුට රෝගය වැලඳීම වැළැක්වීමටත්, දරුණු ලෙස මැලේරියාව ආසාදනය වූ ළමුන් 10 දෙනෙකුගෙන් 03 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට මෙන්ම රුධිර පාරවිලයනය අවශ්‍ය ළමුන්ගෙන් තුනෙන් එකක් එම තත්ත්වයෙන් මුදා ගැනීමටත් හැකි බව අනාවරණය වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙම එන්නතෙන් සාර්ථක ප‍්‍රතිපල ලබා ගැනීමට නම් මාත‍්‍රා 04ක් ලබා දිය යුතු අතර පළමු මාත‍්‍රා 03 මසකට වරක් බැගින් ද සිවුවැනි මාත‍්‍රාව මාස 18ක කාලයකට පසුවද ලබා දීමට නිර්දේශ වී තිබේ. මෙම එන්නත පළමුව ලබා දීමට යනුයේ වයස මාස 05, 06 හා 07 යන වයස්වල පසුවන දරුවන්ටය. දැනටමත් මෙම එන්නත් තොග දරුණු ලෙස හා සාමාන්‍ය මට්ටමින් මැලේරියාව පැතිර යන අප‍්‍රිකානු මහාද්වීපයට අයත් රටවල් අතර හා වෙනත් කලාපවලට බෙදා හැරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සැලසුම් කර තිබේ. ලොව පුරා රටවලින් වාර්ෂිකව මැලේරියා රෝගීන් මිලියන 229ක් වාර්තා වන අතර ඉන් සියයට 94ක් ම වාර්තා වනුයේ අප‍්‍රිකානු මහාද්වීපයට අයත් රටවලිනි. මැලේරියාවට ගොදුරු වීමෙන් වාර්ෂිකව හාරලක්ෂ නවදහසක් (409,000* දෙනා මිය යන බව හෙළි වී තිබේ. අප‍්‍රිකානු රටවල පමණක් වාර්ෂිකව මැලේරියාවට ගොදුරු වීමෙන් කුඩා ළමුන් දෙලක්ෂයකට අධික පිරිසක් මිය යන බව අනාවරණය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment