ලොව විශාලතම මැණික ගන්න චීනෙයි ඇමරිකාවයි සටනක

1483

තවමත් ගවේෂණ කටයුතු කරගෙන යන නිසා මැණික ලැබුණු ස්ථානයක් ගැන කියන්න බෑ…

මැණික් කැටයක තියෙන සියලූ ගුණාංග කොරණ්ඩම් ගල්වල නෑ…

මේ ආණ්ඩුවේ රඟපෑම් රටේ ප‍්‍රශ්න යට ගැසීමට ජනතාව මුලා කිරීම්…

මෙරට විශාලත ම මැණිකත් මතු විය. බර කිලෝ තුන්සීය දහයකි. මැණික් ගලේ ඇති කැරට් ප‍්‍රමාණය පහළොස් ලක්‍ෂ පනස්දහසකි. ‘ආසියාවේ රැජන’ යැයි නම් පටබැඳුණු ඒ තනි මිණි කැටයට ඩුබායි රටෙන් රුපියල් කෝටි දෙසීය විස්සකට අධික ඉහළ ලංසුවක් ලැබී ඇති බව ද වාර්තා වේ. එමෙන්ම මේ වනවිටත් ලෝකයේ විවිධ රටවලින් එම මිණි කැටයට ඉහළ ලංසු ලැබෙමින් පවතින බව ද වාර්තා වේ. එහෙත් අපට තිබෙන ගැටලූව නම් මාස කිහිපයකට පෙර කහවත්තෙන් සොයාගත් ලෝකයේ ‘විශාලතම මැණික් පොකුර’ යැයි මාධ්‍ය සංදර්ශන පැවැත්වූ එම මැණික් පොකුරත් තවම මෙරට පෙට්ටගම්වල පුස්කෑම ගැනය. එදා එම මැණික් පොකුර ගැන ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා සිදු කළ බරසාර වර්ණනාව දැනුදු මගේ දෙසවනේ දෝංකාර දෙන්නේය.

‘‘ලෝක ඉතිහාසයේ ලැබුණු විශාලතම මැණික් පොකුර තමයි අපිට ලැබිලා තියෙන්නේ. බර කිලෝ ග‍්‍රෑම් පන්සීය දහයයි. කැරට් විසිපන්ලක්‍ෂ පනස්දහසයි. මැණික් ගලේ දිග සෙන්ටිමීටර් 100 යි. පළල සෙන්ටිමීටර් හැත්තෑදෙකයි. උස සෙන්ටිමීටර් පනහකින් යුක්තයි. කෙනෙකුට බදන්න බැරි විශාල ප‍්‍රමාණයේ ගලක්. මේක මැණික් පොකුරක්. මිදි පොකුරක් වගෙයි. තවත් විශේෂත්වයක් තමයි මේ මැණික් පොකුර ‘ආර්නූල්’ වර්ගයේ එකක්. අපේ තක්සේරු නිලධාරීන්ගේ තක්සේරුවට අනුව එම මැණික් පොකුර ඩොලර් මිලියන 100ක වටිනාකමක් තියෙනවා. මේ මැණිකෙ ස්වභාවය අනුව ඩොලර් මිලියන 500, 1000ට වැඩි මිලකට අලෙවි වෙයි කියා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. හෙට අනිද්දා වෙනකොට මේ මැණික් ගල නිසා ‘අපේ රට’ මුළු ලෝකයේ ම බැබළෙනවා. ඒ නිසා ‘සෙරන්ඩිප් පිටි’ කියලා අපි මේ මැණික් පොකුරට නමකුත් දැම්මා. අපේ රට ආර්ථික වශයෙන් පසුබෑමකට ලක් වී තිබෙන අවස්ථාවක මේ මැණික් පොකුර අපේ රටට මහා සම්පතක්…’’ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයාගේ එම හෙළිදරව්වත් සමඟ එදා රට්ටු පුදුම වූහ. සෙරන්ඩිප් පිටි දිප්තියෙන් රට බැබළෙන හැටි සිහින දැක්හ. එහෙත් දැන් අප පුදුම වන්නේ එවැනි වටිනාකමක් සහිත සෙරන්ඩිප් පිටි අදටත් පෙට්ටගම්වල පුස්කෑම ගැනය. පසුගියදා මෙරටින් සොයාගෙන ඇති ලොව විශාලතම නිල් මැණිකටත් ඒ ඉරණම ම උරුම වේ යැයි අපට බියක් දැණිනි. එහෙයින් ලොව විශාලතම නිල් මැණිකෙ සත්‍යතාවය විමසා බැලීමට එම මැණිකෙ අයිතිකරුවන ඛනිජ ගවේෂක චමිල සුරංග මහතාට දුරකථනය ඔස්සේ අපි කතා කළෙමු. මේ පෙළගැසෙනුයේ සුරංග මහතා ලොව විශාලතම මැණික ගැන කියන කතාවය.

මැණිකෙ හිමිකරු චමිල සුරංග කියන කතාව…

‘‘මම මැණික් පිළිබඳ ගවේෂණය කරන්න පටන්ගෙන අවුරුදු දහයක් විතර වෙනවා. ලංකාව පුරා මැණික් තියෙන ප‍්‍රදේශවලට ගිහින් ගවේෂණ කටයුතු කරනවා. ඒ ගවේෂණ තුළින් විවිධාකාර මැණික් වර්ග හමු වෙලා තියෙනවා. ඒ වගේම මැණික් ගල්වල විශාල එකතුවක් මා ළඟ තියෙනවා. මේ මැණික් ගල සොයාගත් කොරණ්ඩම් නිධියේ ගවේෂණ කටයුතු කරන්න පටන්ගෙන අවුරුදු දෙකකට ආසන්නයි. මේ නිධියේ වැඩ ආරම්භ කරපු කාලේ ඉඳලා කොරණ්ඩම් ගල් ලැබුණා. කිලෝ හැත්තෑව, අසූව බරෙන් යුත් කොරණ්ඩම් ගල් දහයක් විතර සොයා ගත්තා. අදටත් ඒ ගල් සුරක්‍ෂිතව මා ළඟ තියෙනවා. මේ කොරණ්ඩම් ගල සොයාගෙන මාස තුනකට වැඩියි. සියලූ පරීක්‍ෂණ වාර්තා අප වෙතට ලැබෙනකම් ප‍්‍රසිද්ධ කළේ නෑ. මේ ගල ලැබුණු කොරණ්ඩම් නිධියේ ගවේෂණ කටයුතු තවමත් කරගෙන යන නිසා ස්ථානයක්, ප‍්‍රදේශයක් ගැන ප‍්‍රසිද්ධ කරන්නේ නෑ. එහෙම කළොත් ඉදිරියට අපිට ඒ ස්ථානයේ ගවේෂණ කටයුතු කරගෙන යන්න බැරි වෙනවා…’’

ලොව විශාලතම මැණික ගන්න චීනෙයි ඇමරිකාවයි සටනක

‘‘ජාතික මැණික් සංස්ථාව කියන ආකාරයට මේ ගල තමයි මෙතෙක් කාලයකට ලංකාවෙන් හමුවෙලා තිබෙන විශාලතම කොරණ්ඩම් ගල. ලෝකයේ විශාලතම කොරණ්ඩම් ගලත් මේ බව මැණික් සංස්ථාව විශ්වාස කරනවා. මේ ගලේ ස්ථාන අටකින් කුඩා කැබලි අරගෙන පරීක්‍ෂා කර බලා සීයට සීයක්ම කොරණ්ඩම් ගලක් බවට මැණික් සංස්ථාව තහවුරු කරගෙන තමයි ඒ බව අපට ලිඛිතව දැනුම් දුන්නේ. කොරණ්ඩම් කියන්නේ ඛනිජ පවුලක්. ඩයමන්ඞ්වලට පස්සේ ඝනත්වය වැඩිම ඛනිජ ය. කොරණ්ඩම් ගලක් හඳුනාගන්නෙත් වර්තන අංකයෙන්. කොරණ්ඩම් ගල් හැදෙන්නේ ඇලූමිනියම් ඔක්සයිඞ් සහ ටයිටේනියම්වල එකතුවෙන්. මේ ගලේ ඒ සියලූ මූලද්‍රව්‍ය අඩංගුයි…’’

‘සමාජ මාධ්‍ය වාර්තා කරන ආකාරයට මේ ගල තමයි ලොව විශාලතම නිල් මැණික…’ ගලාගෙන යන කතාවට මම අතුරු ප‍්‍රශ්නයක් යොමු කළෙමි.

‘‘ඔව්… මේ ගලෙ තැනින් තැන නිල් පැහැය තියෙනවා. ගෙවුඩ තියෙනවා. ගෙවුඩ පිච්චුවම නිල් වෙනවා. මේ ගලත් පිච්චුවොත් සම්පූර්ණයෙන්ම නිල් කරන්න පුළුවන්. ප‍්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයො කිහිපදෙනෙක්ම මට කිව්වා මේ ගල කපලා ඔප දලා ගත්තොත් අති විශාල මුදලකට මිල කරන්න පුළුවන් කියලා. ඒත් ගවේෂකයෙක් විදිහට අගය එකතු කරන්න මම කැමැති නෑ. හැම වේලාවේ ම මම ලෝකයට ඉදිරිපත් කරන්නේ ස්වභාවික පිහිටිමේ වටිනාකම. ලෝකයට වැදගත් වෙන්නේ ස්වභාවික පිහිටීම. ඒ වගේම කපලා ඔප දාන්න පුළුවන් ඕනතරම් මැණික් ගල් මේ මහ පොළොවෙන් ලැබෙනවා. මේ වගේ විශාල ගලක් ලැබෙන්නේ කලාතුරකින්. මෙවැනි ගල් පොළොව යට තව තියෙන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ගල ස්වභාවික පිහිටිමෙන් තිබුණොත් ලෝකයේ කොහේ හරි රටක කෞතුකාගාරයක ලංකාවෙන් හමු වූ ලොව විශාලතම ගල විදිහට සුරක්‍ෂිතව තියෙයි. ඒ වගේම මේ කොරණ්ඩම් ගල අනාගතයට අතිශය වටිනා කෞතුක වස්තුවක් වෙනවා. ඒ නිසා අපි මේක අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ ප‍්‍රසිද්ධ කෞතුකාගාරයකට. දැනටමත් ලෝකයේ විවිධ රටවල කෞතුකාගාර ප‍්‍රධානීන් මේ ගල සම්බන්ධයෙන් අප සමඟ සාකච්ඡා කරගෙන යනවා. ඩුබායිවලින් ලැබුණු වටිනාකමට වඩා මිලක් චීනයෙන් ලැබිලා තියෙනවා. ගල මිලට ගැනීමට චීනෙ උනන්දුවීමත් එක්ක ඇමෙරිකාවත් තරඟයට ඇවිත් තියෙනවා. දෙරටෙන් ලැබෙන ඉහළම ඉල්ලූමට ගල දෙන්න අපි සූදානම්…’’ මැණික් විද්‍යාව සහ ඛනිජ විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල මට්ටමින් හදරා ඇති චමිල සුරංග රත්නපුරේ පදිංචිකරුවෙක් නොවේ. ඔහුගේ උපන්ගම කඩුවෙල බෝමිරිය ප‍්‍රදේශය යි. ඛනිජ සම්පත් ගැන මෙන්ම කොරණ්ඩම් නිධි ගැන විශේෂයෙන් ගවේෂණය කරන ඔහුට මැණික් විද්‍යාව සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති බව පැහැදිලිය. එහෙත් රත්නපුරේ ප‍්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයන් පවසා සිටින ආකාරයට මෙවැනි ගල්වල විශාල වටිනාකමක් නැත.

ආසියාවේ රැජන ගැන රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයන් කියන කතාව…

‘‘මේ වගේ ගල් රත්නපුර දිස්ත‍්‍රික්කයේ මැණික් පතල්වලින් සුලබව ලැබෙනවා. මැණික් ගලක ගුණාත්මක අවධිය පසු කරගෙන ගිහින් මැරුණු ගල්. මේවට අපි කියන්නේ කොට්ටර කියලා. මේ ගල් රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයන් ළඟ ඕන තරම් තියෙනවා. අපි ඔය මැණික් ගල් ගෙදර තියාගන්නේ ඇන්ටික් භාණ්ඩයක් විදිහට. පතල් කම්කරුවන්ගේ මිදුල්වල වාඩි ගන්නත් ඔය ගල් තියලා තියෙනවා. මේ ආණ්ඩුවේ රඟපෑම්. රටේ ප‍්‍රශ්න යට ගැසීමට ජනතාව මුලා කිරීම්. කාලෙන්, කාලයට මෙවැනි මාධ්‍ය සංදර්ශන කෙරෙනවා. මේ ආණ්ඩුව කාලෙදී විතරක් නෙමෙයි මීට ඉස්සරත් මේ වගේ ගල් ගැන විශාල ප‍්‍රසිද්ධියක් දීලා තවමත් විකුණගන්න බැරිව තියෙනවා. මැණික් ගැන කිසිම දැනුමක් නැති නිලධාරීන්ට පාට ගලක් ලැබුණත් මැණික් තමයි. මේ චිත‍්‍රපටවලින් වෙන්නේ යන්තම් පණ ගහලා ආපු රත්නපුරේ මැණික් කර්මාන්තය නැවත පිරිහීම. ලංකාවේ මැණික්වලට ජාත්‍යන්තරයේ තියෙන විශ්වාසය නැතිවීමක්…’’ රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් එසේ කියනවිට තවත් ප‍්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයන් දෙතුන්දෙනෙක් පවසා සිටියේ ඔය විලම්භීත ගැන කතා කිරීමට කාලය මිඩංගු කිරීමත් අපරාධයක් බවය. ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් සහ ලොව විශාලතම නිල් මැණිකෙ හිමිකරු සුරංග ආඩම්බරයෙන් කතා කරන ආසියාවේ රැජින නමින් ප‍්‍රකට වූ ලොව විශාලතම නිල් මැණික ගැන රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයන් දක්වන අදහස් ඊට හාත්පසින්ම වෙනස්ය. ඒ දෙබිඩි කතාව අපට පෙහේළිකාවකි. එහෙයින් මැණික් විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් සහිත සබරගමුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය මහින්ද රූපසිංහ මහතාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් ලොව විශාලතම මැණිකවන ආසියාවේ රැජනගේ වටිනාකමේ සත්‍යතාවය ගැන අපි විමසා සිටියෙමු.

ලොව විශාලතම මැණික ගැන මහාචාර්ය මහින්ද රූපසිංහ මහතා කියන කතාව…

‘‘ ඕනෑම මැණිකක වටිනාකම තීරණය වෙන්නෙ එම ගලේ දීප්තිය, ලස්සන, පැහැය, පළුඳු රහිතවීම, කල් පැවැත්ම ආදී සාධක මත. මේ කොරණ්ඩම් ගල් නමට මැණික්. කොරණ්ඩම් ගල්වල කල්පැවැත්ම දීර්ඝ කාලීනයි. ඒත් මැණික් කැටයක තියෙන සියලූ ගුණාංග කොරණ්ඩම් ගල්වල නෑ. මේ ගල්වල ඇතුළත, පිටත දිලිසෙන්නේ නැති නිසා වටිනාකම අඩුයි. මැණික් ගැන නොදන්නා සාමාන්‍ය කෙනෙක්ට මෙවැනි ගලක් ලැබුණොත් තිරිවාන ගලක්. සාමාන්‍ය මැණික් ව්‍යාපාරිකයන්ටත් මේ ගල්වල වටිනාකමක් නෑ. නමුත් මේ කොරණ්ඩම් ගල්වලට යම් වටිනාකමක් තියෙනවා. ඒ මැණික් විදිහට නෙමෙයි, කලාතුරකින් ලැබීම සහ එම ගලේ තිබෙන විශාලත්වය නිසා ලොව ප‍්‍රසිද්ධ කෞතුකාගාරවලට විශාල වටිනාකමක් තියෙනවා. කලාතුරකින් ලැබෙන දෙයක් සහ විශාල මැණික් ගලක් වුණාම ලෝකය පුරා මැණික් ගැන උනන්දු වන අය ඒ ගල් දැකබලාගැනීමට කැමැතියි. ඒ නිසා කෞතුගාරවලට මේ ගල් මැණික්…’’

‘‘පසුගිය දිනවල සොයාගෙන තිබුණු කොරණ්ඩම් මැණික් ගලටත් ඉහළ කෞතුක වටිනාකමක් තියෙනවා. මීට මාස කිහිපයකට පෙර කහවත්ත ප‍්‍රදේශයේ ළිඳක් කපනකොට හම්බ වෙලා තියෙන කොරණ්ඩම් මැණික් පොකුරටත් තියෙන්නේ කෞතුක වටිනාකමක්. ඒ මැණික් පොකුරේ තිබුණේ පුංචි, පුංචි ගල්. ඒ මැණික් පොකුරට වඩා මෑතක ලැබුණු තනි කොරණ්ඩම් ගලට වටිනාකම වැඩියි. ඒත් මේ කොරණ්ඩම් මැණික් ගල් ආභරණ සෑදීමට යොදාගන්න බෑ. මේවා ප‍්‍රදර්ශන භාණ්ඩ. ඒ නිසා කියන සුනංගුවට මේ ගල් මිල කරන්න බෑ. මැණික්මය වටිනාකමක් නැති නිසා ඉල්ලූම්කරුවන් ඉදිරිපත් වෙන්නේ සුළු වශයෙන්…’’

ලොව විශාලතම මැණික ගන්න චීනෙයි ඇමරිකාවයි සටනක

‘මැණික් ගලක තිබිය යුතු සියලූ ගුණාංග නැතිව, ආභරණ සැදීමට යොදාගැනීමට නොහැකිව නමට පමණක් මැණික් වූ මෙවැනි කොරණ්ඩම් ගල්වලට විශාල ප‍්‍රසිද්ධියක් ලබාදීම නිසා මෙරට මැණික් වෙළෙඳපොළ ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත් වෙනවා නේද…’ ගලාගෙන යන කතාවට නැවත මම පැනයක් ඉදිරිපත් කළෙමි.

‘‘එහෙම වෙන්නේ නෑ. මෙවැනි දුර්ලබ මැණික් අපේ රටෙන් ලැබී ඇති බව ජාත්‍යන්තරයේ ප‍්‍රසිද්ධවීම මෙරට මැණික් වෙළෙඳපොළේ කීර්තිනාමය වැඩිවීමක්. අපේ රට ලෝක ප‍්‍රසිද්ධියට පත්වීමක්. ලොව විශාලතම මැණික් ගල ලංකාවෙන් සොයාගෙන තියෙන බව මේ වනවිටත් ලෝකය පුරා ප‍්‍රසිද්ධ වෙලා ඉවරයි. මැණික් පිළිබඳ උනන්දුවක් දක්වන පුද්ගලයන්, ලෝක ප‍්‍රසිද්ධ මැණික් වෙළෙඳ ආයතන මේ ගල ගැන උනන්දුවෙන් විස්තර සොයා බලනවා. ලංකාවේ මැණික්වලට යුරෝපීය රටවල හොඳ පිළිගැනීමක් තියෙනවා. අපේ රටේ මැණික් වෙළෙඳපොළ රඳාපවතින්නේ විදේශීය කාන්තාවන් නිසා. විදේශීය කාන්තාවන් මැණික් පළඳනාවලට දැඩි කැමැත්තක් දක්වනවා. විශේෂයෙන්ම ශ‍්‍රී ලාංකීය මැණික්වලට විදේශීය කාන්තාවන් කැමැතියි…’’

කියන තරම් ඉහළ ඉල්ලූමක් මේ කොරණ්ඩම් ගලට ලැබෙයි කියා ඔබ විශ්වාස කරනවද?

‘‘ඒක තීරණය වෙන්නේ පවතින ලෝක ආර්ථික ක‍්‍රමය මත. මේ ගලට ඉහළ ඉල්ලූමක් ලැබුණොත් බොහෝවිට ඒ ඇමෙරිකාවේ කෞතුකාගාරයකින් වෙන්න ඕනෑ. ඒ වගේම මේ ටිකත් මට කියන්න ඕනෑ. මැණික්වලට අගය එකතු කරනවා වගේම අපේ රටේ මැණික් කර්මාන්තයේ නියැළී සිටින පුද්ගලයන්ට පුහුණුවක් ලබාදෙන්න රජය කටයුතු කරන්න ඕනෑ. එහෙම වුණොත් මැණික් කර්මාන්තයෙන් මීටත් වඩා රටේ ආර්ථිකයට ශක්තියක් ලබාගන්න පුළුවන්…’’ මහාචාර්යවරයාගේ අදහස් ප‍්‍රකාශ කිරීමද අවසානය.

මිණිපුරයේ ඉපිද, පතල් කර්මාන්තයේ නිරතව සිටිය ද මැණික් විද්‍යාව පිළිබඳ අවබෝධයක් නොමැතිකම නිසා වටිනා මැණික් හඳුනාගැනීමට නොහැකිවීම සහ මැණික් කර්මාන්තයේ ඒකාධිකාරිය නිසා ව්‍යාපාරිකයන්ට රැවටී වටිනා මැණික් සොච්චමට විකුණා දැමූ අවස්ථා, තිරිවාන ගල් යැයි සිතා වටිනා මැණික් ඉවත දැමූ අවස්ථා රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් අඩු නැතිව විටින්විට වාර්තා වූ බව සැබෑය. ජාතික මැණික් සහ ස්වර්ණභාරණ අධිකාරිය කඩිනමින් මැදිහත්වී මේ මැණික් ගලේ වටිනාකම තක්සේරු කර මිල නියම කිරීම ගැන අගේ කළ යුතුය. එමෙන්ම වාර්තා වන ආකාරයට මේ මැණික කෞතුක වස්තුවක් බැවින් තක්සේරු වටිනාකමෙන් ඔබ්බට ගිය නොසිතූ මිලක් ලැබීමට ඉඩ නැතුවාම නොවේ. අපගේ ප‍්‍රාර්ථනාව ද ආසියාවේ රැජනට ලෝකයේ ඉහළම වටිනාකම ලැබේවා යන්නය. එමෙන්ම ‘සෙරන්ඩිප් පිටි’ ලොව විශාලතම මැණික් පොකුර මෙන් පෙට්ටගම්වල පුස්කන තැනට මේ මැණිකත් පත් නොවේවා කියා ද අපි ප‍්‍රාර්ථනා කරන්නෙමු…

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment