ලොව වේගවත්ම කනිෂ්ඨ කී‍්‍රඩකයා ලෙට්ෂයිල් ටිබෝගෝ කී‍්‍රඩිකාව ටීනා ක්ලේටන්

723

ලොව වේගවත්ම කනිෂ්ඨ ක‍්‍රීඩකයා බවට පත්වෙමින් කෙන්යාවේ නයිරෝබි අගනුවර දී දැන් ක‍්‍රියාත්මක ලෝක ශුරතා වයස අවුරුදු 20න් පහළ මලල ක‍්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට බොට්ස්වානා නියෝජනය කළ ලෙට්ෂයිල් ටිබෝගෝ සමත් විය.

තත්පර 10.19 ක තරග නිමි කාලයක් සටහන් කරමින් අදාළ රන් පදක්කමට හිමිකම් කියන්නට ඔහුට හැකි විය.

මේ අතරවාරයේ ජවාධිකයින්ගෙන් අඩුවක් නැති ජැමෙයිකාව ට රන් පදක්කම ලබා දෙමින් ලොව වේගවත්ම ක‍්‍රීඩිකාව බවට පත්වන්නට ටීනා ක්ලේටන් සමත් වූවාය.

තත්පර 11.09 ක තරග නිමි කාලයක් වාර්තා කරමින් මෙවර මීටර් 100 කාන්තා රන් පදක්කම දිනා ගැනීමට ඇයට හැකි විය. එම දක්ෂතාවය ඇයගේ පෞද්ගලික හොඳම කාලය ලෙසද සටහන් විය.

ජපානයේ ටෝකියෝ අගනුවර පැවැති 32 වෙනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල වර්ණවත් කරමින් ජැමෙයිකානු ජාතිකයින් තිදෙනෙකුම විශ්වයේ වේගවත්ම ක‍්‍රීඩිකාවන් වන අතර වාරයේ කෙන්යාවේ නයිරෝබි අගනුවර දී ලොව කනිෂ්ඨ වේගවත්ම ක‍්‍රීඩිකාව බවට පත් වන්නට ද ජැමෙයිකානුවෙකු හට හැකිවීම විශේෂත්වයකි.

මෙවර පිරිමි රිදී පදක්කම දකුණු අප‍්‍රිකාවේ බෙන්ජමින් රිචඞ්සන් (තත්:10.28) හට ද එහි ලෝකඩ පදක්කම කියුබාවේ ෂයිනර්  රින්ගීෆෝ (තත්:10.32) හටද හිමි වෙන අතර වාරයේ කාන්තා රිදී පදක්කමට හිමිකම් කියන්නට නැම්බියාව නියෝජනය කළ බියට‍්‍රිස් මසලිංගි ( තත්:11.39) සමත්වූවාය. ස්විට්සර්ලන්තයේ මෙලිස්සා ගුට්ස්කීම්ඞ් (තත්:11.51) හට එකී ලෝකඩ පදක්කමෙන් සෑහීමට පත්වන්නට සිදු වූවාය.

මෙවර කාන්තා කනිෂ්ඨ ලෝක ශූරතාවලියේ මීටර් 100 මූලික වටයට සහ අවසන් පූර්ව තරගයට වරම් ලැබූ ශ‍්‍රී ලංකාවේ මේධානි ජයමාන්න නියමිත දුර නිම කිරීම සඳහා ගත කළ කාලය පිළිවෙලින් තත්පර 12.01 සහ තත්පර 11.96 කි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment