ලොව 2500 වෙනි ටෙස්ට් තරගය සහ නිල් මහ සටන

173

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ වනවිට වෙලිංන්ටන් හි පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ 2500 වැනි තරගයයි. තරග 2500ක් දක්වා පැමිණි ඒ ගමන්මගේ ආරම්භය වූයේ 1877 වසරයි. 1877 වසරේ එම මංගල ටෙස්ට් තරගය ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර ආරම්භ වී තිබුණේ මාර්තු මස 16 වැනිදා දිනයකය.

ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයට වසර 146 ක් සපිරුණු දින ලෙස පසුගිය 16 වැනිදා දැක්විය හැක.

ඒ සමගම පසුගිය 16 වැනිදා මෙරට පාසල් ක්‍රිකට් පිටියේ ද සුවිශේෂී තරගයක් ආරම්භ වුණි. ඒ කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතරයි. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය වසර 146ක් ඈතට දිව යන්නේ නම් මේ රාජකීය ශාන්ත තෝමස් ගැටුම ඊට දෙවැනි වන්නේ වසර තුනකට පමණි. නිල් මහ සටන ලෙස සැලකෙන පාසල් තරගාවලි අතර පෙරමුණේ පසුවන එම තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ 1880 වසරේදී ගාලු මුවදොර පිටියේදී ය. ප්‍රේක්ෂකයන් රහිතව එම තරගය පැවැති බව වාර්තා වේ.

රාජකීය – සාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය වසර 143ක් පුරා විහිදුණු වර්ණවත් ඉතිහාසයකට හිමිකම් කියයි. එය ලොව දෙවැනි දීර්ඝතම කාලයක් අඛණ්ඩව පැවති ක්‍රිකට් තරගාවලිය වන අතර එය දෙවැනි වන්නේ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හී සෙන්ට් පීටර්ස් විදුහල හා ප්‍රින්ස් ඇල්ෆර්ඩ් විදුහල අතර වාර්ෂික ක්‍රිකට් තරගයට පමණි. එය ඇරඹී ඇත්තේ රාජකීය-සාන්ත තෝමස් තරගය ඇරඹීමට වසරකට මත්තෙනි.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැත්වුණු ලොව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියාව ජය ගත්තේය. එතැන් පටන් තරග 2500 ක් දක්වා පැමිණි ගමන් මගේ හමුවන කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන විශිෂ්ටතම ද්විපාර්ශ්වීය ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ද පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර ය. ඒ අළුබදුන ක්‍රිකට් තරගාවලිය යි. එම තරගාවලියේ ආරම්භය සිදු වූයේ 1882 වසරේදී ය. ඒ අනුව එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර අළුබඳුන කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹෙන්නේ ද රාජකීය-සාන්ත තෝමස් වාර්ෂික මහ තරග ඇරඹුමෙන් දෙවසරකට පසුවය.

පසුකලෙක මේ රට පාලනය කිරීමට වරම් ලද දිවංගත ඩී. එස්. සේනානායක මැතිතුමන් (1901-1902) සහ ඔහුගේ පුත් දිවංගත ඩඩ්ලි සේනානායක මැතිතුමන් (1927-1929) යන හිටපු අගමැතිවරුන් සාන්ත තෝමස් විදුහල නියෝජනය කරමින් නිල් මහ සටනේ දී තරග කර ඇත. එමෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමන් (1914-1915) මෙන්ම ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන් (1925) රාජකීය විදුහල නියෝජනය කරමින් සිය පාසල් කාලයේ දී මෙම ඓතිහාසික මහා සටනට ක්‍රීඩා කළහ.

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර ආරම්භ වූ 144 වැනි නිල් මහ සටනේ දෙවැනි දිනය (17 වැනිදා) නිමා වනවිට කොළඹ රාජකීය ක්‍රීඩකයෝ කඩුලු 6 ක් අතැතිව ලකුණු 346 ක් ඉදිරියෙන් සිටියහ.

ලකුණු සාරාංශය

රාජකීය විදුහල් පළමු ඉනිම – ඕවර 74 කදී කඩුලු 8 කට 326

(ඔවින අඹන්පොල 30, දසිස් මංචනායක 137, රුමිරු පෙරේරා 128, ආකාෂ් ප්‍රනාන්දු 55/4, කවිඳු ඩයස් 58/3)

සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම – ඕවර 55 කදී සියලු දෙනා දැවී 153

(සේනාධි බුලන්කුලම 40, මහිත් පෙරේරා 30, නේදන් කල්දේරා 20, බුලන් වීරතුංග 26/3, සිනෙත් ජයවර්ධන 09/2, රනුක මලවිආරච්චි 35/2, සන්දේෂ් රාමනායක 36/2)

රාජකීය විදුහල් දෙවැනි ඉනිම – ඕවර 26 කදී කඩුලු 4 ක් දැවී 168

(දසිස් මංචනායක 57, උවිඳු වීරසේකර 28, රමිරු පෙරේරා නොදැවී 46, ආකාෂ් ප්‍රනාන්දු 42/4)

advertistmentadvertistment
advertistmentadvertistment