ලොහාන්ගේ සිද්ධියට සම්බන්ධ රැඳවියන් බලන්න ගජේන්ද්‍ර කුමාර් බන්ධනාගාරයට එයි

141

අනුරාධපුර බන්ධනාගාරය තුළ දී පසුගිය දා ඇතිවූ සිද්ධියට සම්බන්ධ එල්ටීටීඊ සැකකරුවන්ගේ සුවදුක් විමසීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු දෙපළක් ඊයේ (16 දා) අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ සිටියහ.

පැමිණි මුල් අවස්ථාවේ දී එම රැඳවියන්ගේ සුවදුක් විමසීමට එම මන්ත‍්‍රීවරුන්ට අවසර නොලැබුණු අතර පසුව ඔවුහු පිටව ගියහ. ඉන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් කළ දැනුම්දීමක් අනුව නැවත පැමිණි එම මන්ත‍්‍රීවරුන්ට එම රැඳවියන්ගේ සුව දුක් විමසීම සඳහා අවස්ථාව ලබා දී තිබුණි.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා ගිනි අවිය ද රැගෙන මිතුරන් කිහිපදෙනකු සමග අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ එල්ටීටීඊ සැකකරුවන් රඳවා ඇති විශේෂ සිර මැදිරිය අසලට ගොස් රැඳවියන් කිහිපදෙනකු එළියට ගෙන තර්ජනය කළ බව කියන සිද්ධියකට සම්බන්ධ එල්ටීටීඊ රැඳවියන්ගේ සුවදුක් විමසා බැලීමට පැමිණි බව එම මන්ත‍්‍රීවරු මෙහිදී පැවසූහ.

සිරකරුවන් බැලීමෙන් අනතුරුව බන්ධනාගාරයෙන් එළියට පැමිණි දෙමළ ජාතික ජනතා පෙරමුණු නායක යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා මෙසේ පැවසීය.

පසුගියදා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණ තර්ජනයට ලක්වූ එල්ටීටීඊ රැඳවියන් දෙදෙනකු හමුවන්න අද අවස්ථාවක් ලබා දුන්නා. ඉන් එක් රැඳවියෙක් සුලක්ෂන්, අනිත් කෙනා තමයි වේලන්, ඒ දෙන්නා හමුවෙලා සාකච්ඡා කරන කොට අපිට කිව්වා, මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පැමිණ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසලා ප‍්‍රකාශ සටහන් කරගත් බව. ඊට අමතරව එම රැඳවියන් අපෙන් ඉල්ලා සිටියේ, ඉක්මනින්ම ඒ අයව උතුරේ හෝ නැගෙනහිර බන්ධනාගාරයකට මාරු කරලා ඒ අයගේ ආරක්ෂාව තහවුරු කර දෙන්න කියලයි. අපි එම ඉල්ලීම රජයට හා ජාත්‍යන්තරයට පැහැදිලි කරලා මම රැඳවියන්ගේ මාරු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඒ වගේම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වහාම ඒ රැඳවියන් නිදහස් කරන ලෙසට ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙනවා.

මෙම අවස්ථාවට දෙමළ ජාතික ජනතා පෙරමුණු ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ද සහභාගි විය.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment