ලොහාන්ට එරෙහිව සීඅයිඩී විමර්ශන

225

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි එල්. ටී. ටී. ඊ. සැකකරුවන් දෙදෙනකු දණගස්සවා හිසට පිස්තෝල එල්ල කර මරණීය තර්ජන එල්ල කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිලි වහාම විමර්ශනය කරන ලෙස ඇමැති සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

ඒ අනුව රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත මහතාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (17 වැනිදා* සිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත මහතාගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

ඉකුත් 12 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිය මිතුරන් පිරිසක් සමග ආයුධ සන්නද්ධව අනුරාධපුර බන්ධනාගාරය වෙත ඇතුළුවී ඇති බව කියන රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත මහතා එහි සිර මැදිරිවල රඳවා සිටි එල්. ටී. ටී. ඊ . සැකකරුවන් පිරිසක් පිටතට ගෙන තිබිණි.

පසුව ඔවුන්ගෙන් දෙදෙනකු දණගස්සවා හිසට පිස්තෝල එල්ල කර මරණීය තර්ජන එල්ල කිරීමට රාජ්‍ය ඇමැතිවරයා කටයුතු කළ බවට චෝදනා එල්ල විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කරමින් පාර්ශ්ව කිහිපයක් ඉල්ලා සිටියේ ඊට සම්බන්ධ රාජ්‍ය ඇමැතිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.

ඒ අනුව මෙම රාජ්‍ය අමත්‍යවරයාට එරෙහිව ලැබි ඇති පැමිණිලි විමර්ශනය කරන ලෙස ඇමැති සරත් වීරසේකර මහතා පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතාට නියෝග කර තිබේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment