ලොහාන් රත්වත්තේ සිදුවීම – මැර දේශපාලනය පොලිසිය සහ ශ‍්‍රී ලාංකේය ජනසමාජය!

910

විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි කරන හෙළිදරව්ව

බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරු පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇතුළු පිරිසක් පසුගිය දිනක රාත‍්‍රියේ අනුරාධපුරය බන්ධනාගාරය තුළට ඇතුළු වී එම බන්ධනාගාරය තුළ රඳවා සිටි රැුඳවියන් කිහිපදෙනකු දණගස්වා ඔවුන්ගේ හිසට පිස්තෝලය එල්ල කර තර්ජනය කිරීමේ සිද්ධියක් සහ එම සිදුවීමට දින කිහිපයකට ප‍්‍රථම මෙම රාජ්‍ය අමාත්‍යවරයාම කාන්තාවක් ද ඇතුළු තවත් සිවිල් පුරවැසියන් කීප දෙනකු සමග වැලිකඩ බන්ධනාගාරය තුළට අනීතික ලෙස ඇතුළු වී එහි සේවයේ නියුතු බන්ධනාගාර නිලධාරීන් සමග වචන හරඹයක පැටලී රාජකාරියේ නියුතුව සිටි එම නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව ද පසුගියදා ජනමාධ්‍ය විසින් වාර්තා කරන ලදී. මෙම සිද්ධීන් දෙකම මුල්කොට මේ වන විට ලොහාන් රත්වත්තේ මහතා ඔහු එතෙක් දරමින් සිටි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරු පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමා වෙත යොමු කර ඇති අතර මෙම තනතුරට අමතරව ඔහු දරමින් සිටින මැණික් හා ස්වර්ණාභරණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ධුරයේ දිගටම රැඳී සිටින බවට බවටද ප‍්‍රකාශයක් කර ඇත.

ලොහාන් රත්වත්තේ සිදුවීම - මැර දේශපාලනය පොලිසිය සහ ශ‍්‍රී ලාංකේය ජනසමාජය!

කුමන කෝණයකින් බැලූවද මෙම සිද්ධීන් දෙකම ඉතා බරපතළ ගණයේ සිද්ධීන් ලෙස සැලකිය හැක. යම් සිවිල් පුරවැසියකු අපරාධමය හෝ වෙනත් චෝදනාවක් සම්බන්ධව බන්ධනාගාරගත කිරීමක් යනු ඔහුගේ නිදහස අහිමි කිරීමක් වන අතර එම පුද්ගලයා බන්ධනාගාර ගත කරන අවස්ථාවේ සිට ඔහු බන්ධනාගාරයෙන් නිදහස් කරන අවස්ථාව දක්වා එම රැුඳවියා ගේ පූර්ණ ආරක්ෂාව රාජ්‍යය වෙත පැවරෙනු ලබයි. එලෙස රාජ්‍යයේ ආරක්ෂාව යටතේ සිටින අයකු හට බාහිර පාර්ශ්වයක් මගින් මානසික හෝ කායික හිංසනයකට යටත් කිරීම ශිෂ්ට සමාජය විසින් සලකනු ලබන්නේ ඉතා බරපතළ ගනයේ සිදුවීමක් ලෙසය. එසේම මෙම ක‍්‍රියාව සිදුකරන ලද පුද්ගලයා විධායකයේම කොටසක් ලෙස සැලකෙන රාජ්‍ය අමාත්‍ය වරයෙකු වීම මෙම සිද්ධියේ බරපතළකම වඩාත් තීව‍්‍ර කරන බව සඳහන් කළ යුතුය.

 ලොහාන් රත්වත්තේ අමාත්‍යවරයාගේ පසුබිම සලකා බැලීමේදී මොහු මීට පෙර දෙවතාවක් මිනීමැරීමේ චෝදනාවන් යටතේ සැකකරුවකු ලෙස බන්ධනාගාරගත කරන ලද පුද්ගලයකු බව අප අමතක කළ යුතු නැත. 90 දශකයේ ඔහුගේ පියා වන අනුරුද්ධ රත්වත්තේ මහතා නියෝජ්‍ය ආරක්ෂ අමාත්‍යධූරයේ කටයුතු කරමින් සිටි වකවානුවේ ‘ලොහාන්’ රාත‍්‍රී සමාජ ශාලාවක සිදුවූ සිද්ධියක් හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ රැඳී සිටි ෆීජි ජාතික රග්බි ක‍්‍රීඩකයකු වූ ජොයෙල් පේ‍්‍රරා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් අදාළව සැකකරුවකු ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, 2001 වර්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණය අවස්ථාවේදී මහනුවර උඩතලවින්න ප‍්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ආධාරකරුවන් පිරිසක් ගමන් කළ වෑන් රථයකට ප‍්‍රහාරයක් එල්ල කර එම කණ්ඩායමේ සිටි තරුණයන් කිහිප දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව ද ලොහාන් රත්වත්තේ ප‍්‍රමුඛ කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන ලද බව අප විසින් අමතක නොකළ යුතු කරුණකි.

 ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරු පුනරුත්ථාපන කටයුතු භාර අමාත්‍ය ධූරය ලබා දී ඇත්තේ මෙවැනි පසුබිමක් සහිත පුද්ගලයෙකුට වීම  කනගාටුවට කරුණක් ලෙස සැලකිය යුතුය. ලොහාන් රත්වත්තේ මහතා අධිකරණය ඉදිරියේ වරදකරුවකු වී නැති තාක් කල් ඔහු නිර්දෝෂි පුද්ගලයෙකු ලෙස සැලකිය යුතු බවට ඇති පූර්ව නිගමනය යමකු මේ අවස්ථාවේදී තර්කයක් ලෙස ඉදිරිපත් කළ හැක. එහෙත් රජයේ සේවයට යම් කෙනකු බඳවාගැනීමේදී වුවද එම පුද්ගලයා මිනීමැරුම් නඩුවක සැකකරුවකු බවට පත්වීම ම ඔහුගේ බඳවා ගැනීමට බාධාවක් වන බව අප විසින් අමතක නොකළ යුතු කරුණකි. එසේම මෙම සිද්ධියෙන් වලට අදාළව පැවති නඩු විභාගයන් අවසන් ව මේ කිසිදු සැකකරුවකු නිදොස් කොට නිදහස් වූ අය නොව විවිධ තාක්ෂණික දුෂ්කරතා සහ ශ‍්‍රී ලංකාවටම ආවේණික දෝෂයක් ලෙස සැලකෙන දීර්ඝකාලීන නඩු විසඳීම පමා වීමේ ක‍්‍රියාවලියට පින්සිදුවන්නට නිදහස් පුද්ගලයන් ලෙස සමාජයේ ජීවත් වීමට වරම් ලැබී ඇති අයවලූන් බවද අප අමතක නොකළ යුතු වැදගත් කරුණකි.

 රට තුළ දේශපාලන සදාචාරයක් ස්ථාපිත කරන්නේ නම් මෙවැනි කරුණු කාරණා ගැන අපි කොතරම් දුරට සැලකිලිමත් විය යුතුද යන්න විචාරාත්මක ලෙස සලකා බැලීම රට කරවන පාලකයන් සතු යුතුකමක් බව සඳහන් කරමි. 2001 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹින් ගිය පාතාල සාමාජිකයන් රැුසක් මහනුවර පිහිටි එවකටසුප‍්‍රකට ඇමැතිවරයකු යටතේ තිබූ ඛනිජ තෙල් සංස්ථාවට අයත් සංචාරක බංගලාවක සති කිහිපයක් රැුඳී සිට මහනුවර ප‍්‍රදේශයේ විරුද්ධ පාක්ෂිකයන් ප‍්‍රහාර එල්ල කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක නිරත වූ බව එම කණ්ඩායමේ සිටි පාතාල සාමාජිකයෙකු වූ කාලිංග ද සිල්වා නොහොත් ‘මොරටු සමන්’ නමැත්තා පසු කලෙක වෙනත් අපරාධයක් සම්බන්ධව මවිසින් ප‍්‍රශ්න කරන ලද අවස්ථාවේදී මා වෙත හෙළි කරන ලදී. මෙයින් ගම්‍ය වන්නේ පාතාල අපරාධකරුවන් පවා බොහෝ අවස්ථාවල දේශපාලනඥයන්ගේ සුරතලූන් බවට ඔවුන්ගේ අනුභාවය යටතේ විවිධ දාමරික කටයුතුවල නිරත වන බවය.

 මැර දේශපාලනය ශ‍්‍රී ලංකාවේ දේශපාලන කරළියට අමුතු ආශ්චර්යයක් නොවේ. නිදහසින් පසු මෙරට බිහි වූ සෑම රජයක් තුළම විවිධ මට්ටමේ ප‍්‍රාදේශීය මෙන්ම ජාතික තලයේ මැරයන් දේශපාලන පිරුවටයන්ට මුවාවී තම මැර ක‍්‍රියා අඩුවක් නොමැතිව සිදු කළ බව ප‍්‍රසිද්ධ රහසකි. ප‍්‍රශ්නය වන්නේ මේ සෑම දේශපාලන මැරයෙකු වටාම ඔහුට විසිල් ගසන කණ්ඩායමක්ද රොක් වී සිටීමයි. එසේම මෙම මැරක‍්‍රියා සිදු කරන ලද කිසිදු දේශපාලන මැරයකුට එරෙහිව කටයුතු කිරීම කිසිදු ප‍්‍රජාතාන්ත‍්‍රික පක්ෂයක් හෝ එහි නායකයන් මෙතෙක් ක‍්‍රියා කර නොතිබීම මෙම තත්ත්වය වඩාත් නරක අතට හැරීමට එක් හේතුවක් ලෙස සැලකිය හැක. මෙම දේශපාලන මැර ක‍්‍රියා වලට එරෙහිව මේ රටේ නීතිය ක‍්‍රියාත්මක කිරීමට සිටින ශ‍්‍රී ලංකා පොලිසියද මෙම තත්ත්වය අරබයා ක‍්‍රියා කර ඇති ආකාරය සම්බන්ධව ද ප‍්‍රබල ප‍්‍රශ්නාර්ථයක් පැනනගී. යම් යම් අවස්ථාවල සමහර කොන්ද පණ ඇති පොලිස්කාරයන් මැර දේශපාලකයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමේ අවස්ථා දක්නට ඇතත් ඒ බොහෝ සංසිද්ධීන් අවසන් වී ඇත්තේ පොලිස් නිලධාරියා වින්දිතයෙක් බවට පත්වීමෙන් බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. එවැනි අවස්ථාවල තම වෘත්තීය තත්ත්වයට අභියෝගයක් වන අසාධාරණ ක‍්‍රියාවන් සම්බන්ධව හඬ නැගීමට පොලිස් නිලධාරීන්ට වෘත්තීය අයිතිවාසිකම් නොමැති අතර ඔවුන් වෙනුවෙන් හඬ නැගිය යුතු සමාජයද මෙවැනි අවස්ථා හමුවේ වඩාත් නිහඬ පිළිවෙතක නිරතව සිටීම දේශපාලන ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් වඩාත් අසරණ වීමට තවත් එක් හේතුවක් ලෙස සැලකිය යුතුය.

 මැර දේශපාලනයේ නියුතු දේශපාලනඥයා සෑමවිටම තම ආසනයේ හෝ දිස්ත‍්‍රික්කයේ මනාප ලබා ගැනීමේදී අනෙක් සියලූම අපේක්ෂකයන් අභිබවා ඉදිරියට පැමිණ සිටීම සිදුවේ. මැර දේශපාලනයට ප‍්‍රසිද්ධ කොළඹ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන දේශපාලනඥයෙකු තම ආසනය හෝ දිස්ත‍්‍රික්කය ජය ගනු ලබන්නේ සෑම විටම ඉතා ඉහළ මනාප ප‍්‍රතිශතයක් ලබා ගනිමිනි. ලලිත් ඇතුලත්මුදලි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ‘රාජ ලියා’ ලකුණ යටතේ බස්නාහිර පළාත් සභාවට පක්ෂයක් ලෙස තරග කරන ලද අවස්ථාවේදී කොළඹ දිස්ත‍්‍රික්කයට අයත් ප‍්‍රදේශයක පවත්වන ලද එම පක්ෂය ප‍්‍රචාරක රැලියකට එක්සත් ජාතික පක්ෂයේ මැරයන් පහර දී දේශපාලන රැුලිය කඩාකප්පල් කළ අවස්ථාවේ ඒ සම්බන්ධව පැමිණිලි කිරීමට ඇතුලත්මුදලි මහතා ප‍්‍රමුඛ පිරිස එම ප‍්‍රදේශයේ පිහිටි පොලිස් ස්ථානයට යන විට මේ කියන මැර දේශපාලනඥයා එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ පුටුවේ වාඩිවී සිටි බව එකල ඉතා ප‍්‍රසිද්ධ වූ කරුණකි.

 බොහෝ පරිපාලන දිස්ත‍්‍රික්කවල මැතිවරණ සමයේදී වැඩිපුර මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් හි නිරතවන මැර දේශපාලනඥයන්ට ඒ ඒ පක්ෂයන් ලබා  ගන්නා මනාප ලැයිස්තුවල මුල් ස්ථානයේ වැජඹීම සැමවිටම සිදුවන්නකි. බොහෝ දෙනකු විශ්වාස කරන්නේ සමාජයේ වෙසෙන සාමාන්‍ය ජනතාව මෙම මැරයන්ගේ මැර ක‍්‍රියාවන්ට හුරේ දමමින් ඡුන්ද බහුතරයක් ඔවුන් වෙනුවෙන් පාවිච්චි කරන බවය. එහෙත් මේ පිළිබඳව කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වී ඇති ප‍්‍රධාන කරුණක් වන්නේ සාමාන්‍ය ජනතාවගෙන් පරිබාහිර විද්වතුන්, සමාජයේ ඉහළ තලයේ සිටින ව්‍යාපාරිකයන්, ප‍්‍රභූවරුන් වැනි කොටස් පවා තමා ලැදි පක්ෂයේ ආරක්ෂකයා ලෙස කටයුතු කරන මැර දේශපාලනඥයාට මනාපයක් ලබාදීම කිසිදු ලෝබකමකින් තොරව සිදු කරන්නක් බවය. මේ විෂම චක‍්‍රය පවතින තාක් කල්  ශ‍්‍රී ලාංකීය සමාජයට මැර  දේශපාලනඥයන්ගෙන් අඩුවක් සිදු නොවන බව ඉඳුරාම පැවසිය හැක.

 මගේ හතළිස් වසරක පොලිස් සේවා කාලය තුළ අනීතියට සහ විශේෂයෙන් මැර දේශපාලනයට එරෙහිව දේශපාලනඥයන් සමඟ ගැටුණු අවස්ථා රාශියකි. මගේ සේවා කාලය තුළ බලයේ සිටි සෑම ප‍්‍රධාන දේශපාලන ධාරාවක් සමගම විවිධ කරුණු අරභයා වෘත්තීමය ගැටුම් වලට අවතීරණය වීමට මට සිදුවිය. මේ පාර්ශ්වයන් අතර ජනාධිපතිවරුන් දෙදෙනකු සහ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනකුද විය. එහෙත් එක් අවස්ථාවක හැර අන් සියලූම අවස්ථාවල එම සිද්ධීන් අවසන් වූයේ මා වෘත්තීය වශයෙන් වින්දිතයකු බවට පත්කරමිනි. මෙම තත්වය මගේ වෘත්තීය ජීවිතේට විශාල බලපෑමක් එල්ල කරන සංසිද්ධීන් වුවද ඒ සියලූ බාධා මැද පොලිස් සේවය තුළ මාගේ ඉලක්ක සියල්ලම සපුරාගත් බව සඳහන් කරන්නේ ආත්ම අභිමානයකින් යුතුවය. මේ සියලූම සිද්ධීන් සම්බන්ධව සවිස්තරව මගේ මීළඟ කෘතිය ලෙස සැලකෙන ‘Police and Politics’ කෘතියට ඇතුළත් කිරීමට මම බලාපොරොත්තු වෙමි.

 සිරිල් හේරත් මහතා පොලිස්පති ධුරය දැරූ වකවානුව තුළ ඉතා කනිෂ්ඨ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස එවකට රජයේ ප‍්‍රබලම අමාත්‍යවරයෙකුගේ ළඟම හිතවතුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට මට සිදුවිය. බටහිර රටක තානාපතිවරයෙකු ගේ බිරිය, සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු, ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් ඇතුළු එම පිරිස අත්අඩංගුවට ගැනීම සිදු කළේ තානාපතිවරයාගේ බිරිඳට අයත් වතුයායක සේවය කළ ඇයගේ රියැදුරුට පහර දී බරපතළ තුවාල සිදුකර එම රියැදුරා අයුතු ලෙස සිරකර තැබීමේ සිද්ධියක් සම්බන්ධවය. මෙම පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු රත්නපුර අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර අධිකරණ නියෝගයක් මත සියලූම සැකකරුවන් රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීම මහෙස්ත‍්‍රාත් තුමා විසින් සිදු කරන ලදී . මෙම සිද්ධියට එකල රජයේ ප‍්‍රබල කැබිනට් අමාත්‍ය ධුරයක් දැරූ දේශපාලනඥයකු මැදහත් වූ අතර ඔහු සිරිල් හේරත් මහතා වෙත දන්වා සිට ඇත්තේ වහාම ක‍්‍රියාත්මක වන පරිදි මා වැඩ තහනමට ලක් කරන ලෙසය කොන්ද පණ ඇති පොලිස් කාරයෙකු ලෙස සැලකෙන සිරිල් හේරත් මහතා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර මෙම සිද්ධිය සම්බන්ධව පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් පවත්වා මා ඇතුළු ඇතුළු නිලධාරීන් කණ්ඩායමේ නිර්දෝෂිභාවය ස්ථිර කරන ලදී.

 සිරිල් හේරත් මහතා වැනි අතලොස්සක් උසස් නිලධාරීන් හැර බහුතරයක් නිලධාරීන් දේශපාලන පදයට නටන නැට්ටුවන් වීම ශ‍්‍රී ලංකා පොලිස් ව්‍යුහය තුළ මෙම අනර්ථකාරී තත්ත්වය වඩාත් තීව‍්‍ර කිරීමට සමත් වී ඇති බව කිව යුතුමය. මැර දේශපාලනය පිටු දැකිය හැකි දේශපාලන මැරයන්ට එරෙහිව නැගී සිටිය හැකි පොලිස් නිලධාරීන් ශ‍්‍රී ලංකා පොලිස් සේවය තුළ අනන්තවත් සිටී. එහෙත් එවැනි සිදුවීමකින් පසුව එම නිලධාරීන් සම්බන්ධව ක‍්‍රියා කළ යුතු, එම නිලධාරීන්ට ශක්තියක් වෙමින් ඔවුන්ගේ සහයට නිබඳවම පැමිණිය යුතු උසස් නිලධාරීන්ගේ ඌනතාව මෙම තත්ත්වය වඩාත් උග‍්‍ර වීමට ප‍්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැකිය. දහනවවන ව්‍යවස්ථා සංශෝධනය තුළින් බිහි කරන ලද පොලිස් කොමිසම සමහර අවස්ථාවල මෙවැනි සිද්ධීන්ට මැදහත් වී පොලිස් නිලධාරියාගේ ස්වාධීනත්වය තහවුරු කිරීමට කටයුතු කළ ද මේ වන විට පොලිස් කොමිසම අක‍්‍රිය වී තිබීම සහ එහි කාර්යභාරය රාජ්‍ය සේවා කොමිසම වෙත පැවරීම සිදුව ඇති බැවින් අද කාලීන අවශ්‍යතාවක් වී ඇත්තේ නීතියට අනුව කටයුතු කරන පොලිස් නිලධාරීන්ගේ ස්වාධීනත්වය සුරැුකීම සඳහා රාජ්‍ය සේවා කොමිසම නිර්භයව කටයුතු කිරීමයි.

 ලෝකයේ විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය ලෙස සැලකෙන අපේ අසල්වැසි ඉන්දියාව මෙම තත්ත්වය හමුවේ අපට වඩා ගව්ගානක් ඉදිරියෙන් සිටී. ඉන්දියානු පරිපාලන ව්‍යුහය තුළ වඩාත් ශක්තිමත් වන්නේ රාජ්‍ය සේවකයා මිස දේශපාලනඥයා නොවේ. ඉන්දියානු රාජ්‍ය සේවය වඩාත් ශක්තිමත් කරන ශක්ති ප‍්‍රභවය වන්නේ එරට ශ්‍රේෂ්ඨාධිකරණයයි. ශ්‍රේෂ්ඨ විනිශ්චකරුවන් විසින් දෙන ලද සුප‍්‍රකට නඩු තීන්දු වලින් සන්නද්ධව වඩාත් ශක්තිමත් ලෙස නැගී සිටින ඉන්දියානු පරිපාලන ක්ෂේත‍්‍රය දේශපාලකයන් අභිබවා සිටින තත්ත්වයක් නිරීක්ෂණය වේ. මෙහිදී අප වඩාත් සැලකිල්ලට ගත යුතු වන්නේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ක‍්‍රියා කළ යුතු ආයතන තම කාර්යභාරය වඩාත් නිවැරදිව ඉටු කිරීමයි. මෙහිදී පොලිසිය මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවත් අධිකරණයත් ඒ සැමට ඉදිරියෙන් ජනතාවත් වඩාත් විචාරශීලී ලෙස පෙරමුණ ගන්නේ නම් නීතිය අතට ගෙන ක‍්‍රියාකරන දේශපාලනඥයින්ගේ ක‍්‍රියාවන් මට්ටු කර වඩාත් සාධාරණ සමාජයක් ශ‍්‍රී ලාංකීය ධරණී තලයේ තුළ බිහි කිරීමේ අවස්ථාව අපට නිතැතින්ම උරුම වනු ඇත. ඒ දවස උදා වනතුරු සුබ සිහින දකිනවට වඩා ඒ දවස උදා කර කර ගැනීමට වඩාත් කාර්යක්ෂම ලෙස තම කාර්යභාරය ඉටුකිරීම සෑම

 ශ‍්‍රී ලාංකීය පුරවැසියකුගේම පරම යුතුකමක් ලෙස සලකනු ලැබිය යුතුය. නීතිය අතට ගෙන ක‍්‍රියාකරන දේශපාලනඥයන්ගේ ක‍්‍රියාවන් ප‍්‍රසිද්ධියේ විවේචනය කළ යුතු අතර හේ සියලූම මැරයන් දේශපාලන භූමියෙන් ඉවත් කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් මෙරට ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම සෑම පුරවැසියෙකුගේම යුතුකමක් ලෙස ද සැලකිය යුතු වන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment