ලෝකයක් සුවපත් කිරීම පිණිස වෛරස සමග ඔට්ටු වන අපේ රටේ විද්‍යාඥයා…

375

ශ‍්‍රී ලාංකීය නාමය ලොවක් හමුවේ උත්කෘෂ්ඨයට නංවන ලද එම වැදගත් සිදුවීම පිළිබඳ පුවත ඉකුත්දා දෙස් විදෙස් ජනමාධ්‍ය මඟින් ප‍්‍රකාශයට පත් විය. එමගින් වාර්තාකොට තිබුණේ ලෝක ප‍්‍රකට ශ‍්‍රී ලාංකික විද්‍යාඥයෙකු, මහාචාර්යවරයකු වන මලික් පීරිස් මහතා චීනය විසින් පිරිනමන ‘‘2021- අනාගතය පිළිබඳ විද්‍යාව” (2021-Future Science Prize) ත්‍යාගයෙන් පිදුම් ලබා ඇති බවය. (චීනය විසින් එරට නොබෙල් ත්‍යාගය ලෙස සලකනු ලබන්නේ ‘‘අනාගතය පිළිබඳ විද්‍යාව” පිණිස පිරිනමනු ලබන මෙම ත්‍යාගය ය) වෛරසවේදය පිළිබඳ ප‍්‍රාමාණිකයකු වන මහාචාර්ය මලික් පීරිස් ඒ හරහා මේ වන විටද ලෝක සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය තුළ ශ‍්‍රී ලාංකික ‘‘ලකුණ” බවට පත්ව සිටින අතර මහාචාර්ය මලික් පීරිස් ඉහත සඳහන් ත්‍යාගය පිණිස සුදුසුකම් ලබන්නේ 2003 වර්ෂයේ දී පැතිර ගිය ‘‘සාර්ස්” වෛරසය හඳුනා ගැනීම සහ එම වසංගතය පාලනය කිරීම පිණිස ප‍්‍රමුඛ කාර්යභාරයක් සිදුකිරීම සහ ඉන් අනතුරුව 2015 වර්ෂයේ දී මැදපරදිග කලාපයේ පැතිර ගිය ‘‘මර්ස්”වෛරසය සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණ පිණිස ලබාදුන් සුවිසල් දායකත්වය නිමිත්තෙන්ය.

2016 වර්ෂයේ දී චීනය විසින් ආරම්භ කරන ලද මෙම ත්‍යාග ප‍්‍රදානෝත්සවය හරහා ජාත්‍යන්තර කීර්තියට පත් විද්‍යාඥයන් විසින් සිදු කරනු ලබන විද්‍යාත්මක සොයාගැනීම් සහ නවෝත්පාදන පිණිස මෙම ත්‍යාගය ප‍්‍රදානය කරන අතර ඒ අනුව එම සුවිශේෂී ඇගයීමට ලක් වූ පළමු ශ‍්‍රී ලාංකිකයා වීමේ ගෞරවය ද දිනා ගනු ලබන්නේ මහාචාර්ය මලික් පීරිස් මහතා විසින්ය.

වෛරසවේදය පිළිබඳ ජාත්‍යන්තර කීර්තියට පත් විද්‍යාඥයකු වන මහාචාර්ය මලික් පීරිස් මහතා මේ වන විට ලොව පිළිගත් විද්‍යාත්මක සඟරා ආදිය පිණිස විද්‍යාත්මක පර්යේෂණ පත‍්‍රිකා හයසියයකට අධික ප‍්‍රමාණයක් ප‍්‍රකාශයට පත්කොට තිබෙන අතර ඊට අමතරව ලොව ප‍්‍රමුඛ පෙළේ විද්‍යාඥයන්ගෙන් සැදුම්ලත් බි‍්‍රතාන්‍ය රාජකීය සමාජයේ (The Royal Society) සාමාජිකයෙක් ලෙසද කටයුතු කරමින් ඇත. හොංකොං විශ්වවිද්‍යාලයේ සමාජ සෞඛ්‍යය පිළිබඳ විද්‍යායතනයේ වෛරස අධ්‍යයන විද්‍යා අංශයේ මහාචාර්යවරයකු ලෙස දැනට කටයුතු කරන ඒ මහතා මේ වන විට ද ලොව පුරා ව්‍යාප්තව පවතින කොරෝනා වෛරසය පාලනය කළ හැකි ක‍්‍රමවේදයන් පිළිබඳව වන පර්යේෂණ කටයුතු ආදියෙ නිරත විද්වතුන් පිරිසට අයත් ප‍්‍රකට විද්‍යාඥයෙක් ලෙස කටයුතු කරමින් ඇත.

මහනුවර ශාන්ත අන්තෝනි විදුහලේ ආදි ශිෂ්‍යයකු වන මහාචාර්ය මලික් පීරිස්පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත්ව 1972 වර්ෂයේ දී වෛද්‍යවරයකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇත. ඉන් අනතුරුව පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව ලාභියකු ලෙස එක්සත් රාජධානිය ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයෙන් වැඩිදුරටත් අධ්‍යාපනය ලබන මලික් පිරිස් එහිදී සායනික ව්‍යාධිවේදය සහ වෛරසවේදය පිළිබඳව වැඩිදුරටත් හදාරන අතර එහිදී ඔහු විසින් වැඩි අවධානයක් යොමු කරනු ලබන්නේ සායනික වෛරසවේදය විෂය ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් වන විද්‍යාත්මක කරුණු කාරණා ආදිය පිණිසය.

ඉන් වසර කිහිපයකින් අනතුරුව 1995 වර්ෂයේද හොංකොං බලා පිටත්ව යන මහාචාර්ය මලික් පීරිස් එතැන් සිට හොංකොං විශ්වවිද්‍යාලයට අනුයුක්තව තම රාජකාරි දිවිය අරඹන අතර මානව පැවැත්ම පිළිබඳව වන සුවිශේෂී විද්‍යාත්මක පර්යේෂණ රැසක් ඔහු විසින් ලොවට හඳුන්වා දෙනු ලබන්නේ ඉන් අනතුරුවය. එතැන් සිට මේ දක්වා තම දැනුම සහ අත්දැකීම් ඇසුරෙන් ලෝකයක් සුවපත් කිරීමේ උදාර මෙහෙවරක නිරත මෙම ශ‍්‍රී ලාංකික මහාචාර්යවරයා ඉකුත් කාලවකවානුව තුළ තම උපන් රට වන ශ‍්‍රී ලංකාව කොරෝනා වසංගතයෙන් මුදාගනු පිණිස සිය අවධානය යොමු කළ අයුරක් ද දැකගත හැකි විය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment