ලෝකයම ගිනිතබන දේශගුණික විපර්යාස

278

ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රතිපලයක් වශයෙන් බටහිර යුරෝපා රටවල උෂ්ණත්වය මෙම දිනවල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර මේ හේතුවෙන් එම රටවල දරුණු ලැව් ගිනි පැතිරෙමින් පවතින බව වාර්තා වී තිබේ. පවතින තත්ත්වය මත මෙවර යුරෝපා රටවල ග්‍රීෂ්ම සමය (සමර්) මෙතෙක් පැවති දරුණුම ග්‍රීෂ්ම සමය වන ලකුණු පහළ වී තිබේ.

මෙම අධික උෂ්ණත්වය හේතුවෙන් හටගෙන ඇති තාප තරංගවල (හීට් වේව්)බලපෑම කෙතරම් දරුණුද යත් පෘතුගාලයෙන් හා ස්පාඤ්ඤයෙන් මෙම මස මුල් සති දෙක තුළදී අධික උෂ්ණත්වය ආශ්‍රිත රෝගාබාධවලට ගොදුරු වූ 1169 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වී ඇත.

අධික ලෙස පරිසර උෂ්ණත්වය ඉහළ යෑමත් සමගම හටගෙන ඇති තාප තරංග (හීට් වේව්) බටහිර යුරෝපා රටවල් තැම්බෙන තරමට ගිනියම් වීමට හේතු වී ඇති අතර මෙම තාප තරංග හේතුවෙන් වැඩි වශයෙන් බලපෑමට ලක්ව ඇත්තේ පෘතුගාලය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ග්‍රීසිය, එංගලන්තය හා ජර්මනිය යන රටවල්ය. මෙම රටවල් අතුරින් ප්‍රංශය, ස්පාඤ්ඤය හා ග්‍රීසිය යන රටවල දරුණු ලැව් ගිනි පැතිර යෑම නිසා මේ වන විට එම රටවල විශාල භූමි ප්‍රමාණයක් විනාශ වෙමින් පවතින අතර පුද්ගලයන් දස දහස් ගණනක් ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කිරීමටත් තවත් එවැනිම වූ සංඛ්‍යාවකට නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන කරා පලා යෑමටත් හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ලැව් ගිනි පැතිර නොගිය ද උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා එංගලන්තය, ජර්මනිය, බෙල්ජියම හා නෙදර්ලන්තයේ සිදු වන ගිනි අනතුරු සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව වාර්තා වී තිබේ. මෙම රටවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොස් ඇති අතර ඉතාලියේ උෂ්ණත්වය ද මෙම සතියේ සෙල්සියස් අංශක 40 සිට 42 ක් දක්වා ඉහළ යනු ඇති බවට අනාවැකි පළ වී තිබේ.

ලැව් ගිනි විශේෂඥයන් පෙන්වා දෙනුයේ මේ සා දරුණු ලෙස යුරෝපා රටවල් අධික උෂ්ණත්වයෙන් ගිනියම් වීමට හේතු වී ඇත්තේ මිනිසාගේ අනිසි ක්‍රියාකාරකම් හේතුවෙන් හටගෙන ඇති දේශගුණික විපර්යාසයන් බවයි.

දේශගුණික විපර්යාසයන් මත ඇති වී තිබෙන ගෝලීය උණුසුම ශීඝ්‍රයෙන් ඉහළ යෑමට හේතු වී ඇත්තේ පරිසරයට අහිතකර කාබන් ඇතුළු හරිතාගාර වායුන් අධික ලෙස පරිසරයට මුදා හැරීම හේතුවෙන් බව විශේෂඥයන්ගේ මතය වී තිබේ. මෙවැනි ගෝලීය උණුසුම වැඩි කිරීමට හේතු කාරක වන කාබන් ඇතුළු හරිතාගාර වායුන් දිගින් දිගටම පරිසරයට මුදාහරින කම්හල් හා ආයතන බටහිර රටවල මෙන්ම ලොව සෙසු රටවල ද පැවතීම ලොව පුරා අධික උෂ්ණත්වයක් සහිත කාලගුණ තත්ත්වයක් ඇති වීම, දරුණු ජල ගැලීම්, නියඟයන් වැනි ස්වභාවික විපත් ඇති වීමට ප්‍රධාන වශයෙන් මාවත විවෘත කර තිබේ. මෙවැනි තත්ත්වයක් ඇති කිරීමට හේතු වී ඇති කම්හල් හා ආයතන කිහිපයක් හේතුවෙන් බහුතර ජනතාවට පීඩාවට පත් වීමට හා ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදුවන තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී අවසන්ය.

2015 වසරේ ප්‍රංශයේ පැරිස් නගරයේ පැවති ගෝලීය පරිසර සමුළුවේදී ඇති කරගත් පැරිස් සම්මුතියට අනුව දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ගෝලීය උණුසුම තවත් ඉහළ නැගීමට ඇති අවදානම මගහරවා ගැනීම සඳහා මෙම ශත වර්ෂය තුළදී ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 ඉක්මවා නොයන පරිදි සෙල්සියස් අංශක 1.5ක මට්ටමේ රඳවාගැනීමට රටවල් අතර එකඟතාවයක් ඇති කරගෙන තිබේ. මේ සඳහා පාර්ශ්වයන් 196 ක් එකඟතාවයකට එළඹ ඇතත් අද වන විට එයට එකඟ වූ ලොව ප්‍රධාන පෙළේ රටවලට හෝ පරිසරයට අහිතකර වායුන් මුදා හරින සිය රටවල පිහිටි කම්හල් හා ආයතනවලට එරෙහිව වැට බැඳීමට නොහැකි වී තිබේ. පරිසරයට අහිතකර වායුන් මුදා හරින ඇමරිකා එක්සත් ජනපදය, ඔස්‌ට්‍රේලියාව වැනි රටවල පිහිටි ගල් අඟුරු කම්හල්වලට ද මෙසේ වැට බැඳීම අසීරු වී ඇති අතර මෙයට හොඳම නිදසුන වනුයේ පසුගියදා ගල් අඟුරු කම්හල් විසින් පනවා තිබූ නඩුවක් හරහා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් පරිසර ආරක්ෂණ නීති රීති ක්‍රියාත්මක කිරීම අඩපණ කිරීමට දරණ ලද උත්සාහයයි.

මෙහිදී ලොවටම තර්ජනයක්ව පවතින ගෝලීය උණුසුම අවම කරලීම සඳහා අහිතකර හරිතාගාර වායුන් (ග්‍රීන් හවුස් ගෑසස්) පරිසරයට මුදා හැරීම අවම කරලීමට ඇමරිකානු පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් දැරූ උත්සාහයක් එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබූ නඩුවක තීන්දුව හරහා අවහිර කර තිබිණි.

අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හේතුවෙන් ගෝලීය උණුසුම අවම කරලීම සඳහා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ගැනීමට ගිය හරිතාගාර වායුන් පරිසරයට මුදා හැරීම අවම කරලීමේ ක්‍රියාමාර්ගයන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වන වාතාවරණයක් උද්ගතව තිබේ. ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති මෙම නඩු තීන්දුවට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ දැවැන්තම ගල් අඟුරු කර්මාන්තශාලා පිහිටා ඇති ප්‍රාන්ත 19ක හරිතාගාර වායුන් පරිසරයට මුදා හැරීම අවම කරලීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමේ බලය එරට පරිසර ආරක්ෂණ අධිකාරිය සතුව නොමැති බව ප්‍රකාශ වී තිබේ. ඇමරිකාවේ ප්‍රධාන විපක්ෂය වන රිපබ්ලිකන් පක්ෂය විසින් පාලනය කරනු ලබන මෙම ප්‍රාන්තවල පිහිටි ගල් අඟුරු සමාගම්වල මෙහෙයවීමෙන් ඇමරිකානු පරිසර ආරක්ෂණ අධිකාරියට එරෙහිව පනවා තිබූ නඩුවක් බටහිර වර්ජිනියා ප්‍රාන්තයේදී විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් ලබා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් ඇමරිකානු ගල් අඟුරු සමාගම් සිය ප්‍රීතිය පළ කර තිබේ. පරිසරයට වැඩි වශයෙන් අහිතකර හරිතාගාර වායුන් නිකුත් කරන ගල් අඟුරු කම්හල් මෙම නඩු තීන්දුවට පෙර බිය වී ඇත්තේ යම් හෙයකින් ජනපති බයිඩන්ගේ පරිසර ආරක්ෂණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුවහොත් ප්‍රාන්ත 19ක පිහිටා ඇති විදුලිය නිපදවීම සඳහා මහා පරිමාණයෙන් ගල් අඟුරු සපයන සිය කම්හල් වසා දැමීමට සිදු වනු ඇති බවටයි.

කෙසේ වුවද උසාවි තීන්දුව ව්‍යසනකාරී තීරණයක් බව ප්‍රකාශ කර ඇති ජනපති බයිඩන් අවධාරණය කර ඇත්තේ මෙම තීන්දුව හරහා ගෝලීය උණුසුම අවම කරලීමට තමන් ගෙන යන පිළිවෙතට බාධා නොවන බවයි. මෙවැනි තත්ත්වයන් ලොව සෙසු රටවල ද දක්නට ලැබේ. ගෝලීය උණුසුම අවම කරලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයන් අවහිර කිරීම යනු මිනිසා විසින් මිනිසාට එරෙහිව සිදු කරන ජීවිත හානියක් බව වර්තමානයේ යුරෝපයේ පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය පසක් කර දෙයි. මෙවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාවේ පවා ඉදිරි කාලවලදී හටගත හැකි වනු ඇති බවට අනාවැකි පළ වී තිබීම නිසා මෙරට පරිසර බලධාරීන් ද මේ පිළිබඳව දැඩි අවධානයකින් පසු වීම වැදගත්ය. විශේෂයෙන්ම මෙරට පවතින වත්මන් ඉන්ධන අර්බුදය හේතුවෙන් බොහෝ දෙනා ගෑස් වෙනුවට භූමිතෙල් හා දර ලිප් භාවිතයට හුරු වීම අනාගතයේදී පරිසරයට බලපාන ව්‍යසනකාරී තත්ත්වයක් ඇති වීමට මග පෑදීමට බොහෝ සේ ඉඩ තිබීම නිසා පරිසර ක්‍රියාකාරීන් එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වාලීමට අවශ්‍ය පියවර ගත යුතුව ඇත.

විකල්ප බලශක්ති ක්‍රම භාවිත කිරීමේදී ඒවා හැකිතාක් පරිසර හිතකාමී ඒවා බව තහවුරු කරගැනීම වැදගත් වන අතර අවාසනාවකට මෙන් වෙනත් රටවල මෙන්ම මෙරට ද එවැනි තත්ත්වයක් දක්නට නොලැබේ.

මෙම දිනවල ලොව පුරා හට ගන්නා ඕනෑම දරුණු ස්වභාවික ව්‍යසනයකට හේතු වී ඇත්තේ දේශගුණික විපර්යාසයන් බව හෙළිදරව් වීම නිසා එය සුළුවෙන් තැකිය නොහැකි බව පරිසරවේදීන්ගේ මතය වී තිබේ. මෙම දිනවල යුරෝපයට බලපා ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය ලබන සතියේ මැද භාගය තෙක් පවතිනු ඇති බවටත් එතෙක් පවතින උෂ්ණත්වය පහළ නොබසිනු ඇති බවත් ලෝක කාලගුණ සංවිධානය විසින් දැනටමත් නිවේදනය කර තිබේ. ඉදිරියේදී හටගනු ලබන අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයන් දැනට වඩා දරුණු වනු ඇති බවද එම සංවිධානය සඳහන් කර තිබේ.

ඉකුත් ජුලි 19 වැනිදා වන විට ලන්ඩනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40,3ක් දක්වා ඉහළ යෑමත් සමගම නගරයේ ස්ථාන ගණනාවක හදිසි ගිනි ගැනීම් හටගෙන තිබු අතර එම ගිනි ගැනීම් විශාල ප්‍රදේශයක් පුරා පැතිර යාම හේතුවෙන් ගිනි නිවන භටයන් විශාල පිරිසක් එම ගිනි නිවා දැමීම සඳහා කැඳවීමට බලධාරීන්ට සිදුව තිබේ .බෙල්ජියමේ හා නෙදර්ලන්තයේද තැනින් තැන ගිනි ගැනීම වාර්තා වී තිබේ .ප්‍රංශයේ හා ස්පාඤ්ඤයේ මෙන්ම පෘතුගාලයේ පාලනයකින් තොරව ඇවිලෙන ලැව් ගිනි ගණනාවක් පවතින බවද වාර්තා වී තිබේ.

ගෝලීය උණුසුම වැඩි වීමත් සමගම යුරෝපයේ ඇල්ෆ්ස් කඳු ආශ්‍රිතව පවතින හිම ග්ලැසියර් පවා දියව යමින් පවතින බව වාර්තා වේ. සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙනුයේ පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය නිසා ඇති වන තාප තරංගවල ප්‍රතිපලයක් වශයෙන් වැඩිහිටියන් මෙන්ම දුර්වල ප්‍රතිශක්තිකරණයක් පවතින අය බොහෝ දෙනෙකු ඉදිරියේදී මිය යා හැකි බවයි. මෙම තීරණාත්මක මොහොතේ ලොව පුරා රජයන් වහාම පරිසරයට මුදා හැරෙන කාබන් ඇතුළු අහිතකර වායුන් ප්‍රමාණය කපා දැමිය යුතු බවට මේ වන විට පරිසර සංවිධාන විසින් හඬක් නගමින් සිටී.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment