ලෝකයේ බෞද්ධ රටවල් රැසක් තිබුණත් භික්‍ෂූන් ජාතියේ මුර දේවතාවුන් ලෙස සලකන්නේ ශ්‍රී ලංකාවේ පමණයි

361

ලොව බෞද්ධ රටවල් රැසක් තිබුණත්, බෞද්ධ භික්‍ෂුන් වහන්සේ ජාතියේ මුර දේවතාවුන් වහන්සේ ලෙස සලකන එකම රට ශ්‍රී ලංකාව බව අස්ගිරි පාර්ශ්වයේ අති පූජ්‍ය අනුනායක වේඬරුවේ උපාලි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පැවසූහ.

ශ්‍රී ලංකාවේ භික්‍ෂුන් වහන්සේට එම වීරෝදාර තත්ත්වය හිමිවූයේ මීට වසර 208කට පෙර මෙවැනි දිනක අධිරාජ්‍යවාදීන්ගේ මහන්තත්වයට අභීතව වීරෝදාර ලෙස මුහුණදී ජාතියේ අභිමානය රැක ගත් නිසා යැයිද අනුනායක හිමිපාණන් වහන්සේ පැවසූහ. උන්වහන්සේ මෙසේ පැවසුවේ වාරියපොළ ශ්‍රී සුමංගල ගුණසමරු පිංකම මහනුවර මහමලුවේ පිහිටි ශ්‍රී සුමංගල පිළිරුව අසල පැවති උත්සවයේදීය. තායිලන්ත, මියන්මාරය, කාමබෝජය, වියට්නාමය, චීනය, ජපානය හා තවත් රටවල බෞද්ධාගම සහ භික්‍ෂුන් වහන්සේ වැඩසිටියත්, ජාතියේ මුර දේවතාවුන් වහන්සේ ලෙස සැලකීමක් නැතැයි අනුනායක ස්වමීන්ද්‍රයාණන් වහන්සේ පැවසූහ.

ගිවිසුම අත්සන් තබන තුරු ඉංග්‍රීසි කොඩිය ලක් දෙරණේ ඔසවන්නට ඉඩ නොදුන් වාරියපොළ ශ්‍රී සුමංගල අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ජාතිය වෙනුවෙන් කැපවූ බැවින් ජාතියේ මර දේවත්වයට පත්වූ බව අනුනායක හිමිපාණෝ වැඩිදුරටත් පැවසූහ.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආචාර්ය නියංගොඩ සිරි විජිත ස්වමීන්ද්‍රයාණන් වහන්සේ අනුශාසනයක් කරමින් ජාති මාමක ලංකාවාසී ජන්තාව වාරියපොල ශ්‍රී සුමංගල අනුනායක ස්වාමීන්ද්‍රයානන් වහන්සේ වෙත වසරක් පාසාම මෙලෙස උපහාර පුදන බව පැවසූහ.

මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය අනුනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේද, දියවඩන නිමලේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහ බස්නායක නිලමේවරුද, මහනුවර මහ නගරාධිපති කේසර ඩී. සේනානායක මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරු සහ පාසල් සිසුන් විශාල පිරිසක් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට සහභාගි වූහ.

සිර්ල් විමලසුරේන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment