ලෝකයේ වේගවත්ම ක්‍රීඩිකාව හේරා

634

නව ඔලිම්පික් වාර්තාවක් සමගින් මීටර් 100 රන් පදක්කම හිමිකර ගත් ජැමෙයිකාවේ ‘එලේන් තොම්සන් හේරා’ විශ්වයේ වේගවත්ම ක‍්‍රීඩිකාව ලෙස ඉකුත් සෙනසුරාදා (31* ජපානයේ ටෝකියෝ අගනුවර පිහිටි ඔලිම්පික් ක‍්‍රීඩාංගනයේදී අභිෂේක ලැබුවාය.

ඇමරිකා එක්සත් ජනපදයේ ‘ෆ්ලෝරන්ස් ග‍්‍රීෆිත් ජොයිනර්’ නමින් පැවැති තත්පර 10.62 ක ඔලිම්පික් වාර්තාව අභිබවා යමින් 29 හැවිරිදි ‘එලේන් තොම්සන් හේරා’ මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගැනීම සඳහා සටහන් කළ තරග නිමි කාලය තත්පර 10.61 කි.

දකුණු කොරියාවේ සෝල් අගනුවර දී 1988.09.24 දින ‘ෆ්ලෝරන්ස් ග‍්‍රීෆිත් ජොයිනර්’ විසින් පිහිටුවන ලද වසර 33 ක් පැරණි කාන්තා මීටර් 100 ඔලිම්පික් වාර්තාව ඒ අනුව බිඳ වැටුණි. පසුගිය 2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී තත්පර 10.71 ක තරග නිමි කාලයක් වාර්තා කරමින් පළමු වරට මීටර් 100 රන් පදක්කමට හිමිකම් කියූ ‘එලේන් තොම්සන් හේරා’ නොකඩවා දෙවන වතාවට ද තම අපරාජිත බව මෙදින සටහන් කිරිමට සමත් වීම විශේෂත්වයකි.

ඔලිම්පික් මලල ක‍්‍රීඩාවේ ඇති වේගවත්ම කාන්තා ඉසව්ව ලෙස සැලකෙන මීටර් 100 තරඟය ජයග‍්‍රහණය ‘එලේන් තොම්සන් හේරා’ විසින් දිනා ගැනීමත් සමගම එකී රන් පදක්කම පිට පිටම ජැමෙයිකාව සතු වූ සිව්වන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ද මෙය වීම කැපී පෙනුණි.

’2008 බීජිං’ උළෙලේ දී තත්: 10.78 කින් අවසන් කරමින් රන් පදක්කම ද 2012 ‘ලන්ඩන්’ උළෙලේ දී තත්:10.75 කින් නිමා කරමින් රන් පදක්කම ද 2016 ‘රියෝ’ උළෙලේදී තත්:10.86 තරග නිමි කාලයක් සටහන් කරමින් ලෝකඩ පදක්කම ද දිනා ගනිමින් ජාත්‍යන්තර අවධානය ඉහළින්ම තහවුරු කරගෙන සිටී 34 හැවිරිදි ජැමෙයිකාවේ ‘ෂෙලී ඈන් ෆෙසර් ෆයිසී’ ( තත්:10.74* ට මෙවර රිදී පදක්කමෙන් සෑහීමට පත්වන්නට සිදු වූවාය.

පසුගිය වර මීටර් 400 ඉසව්වේ පදක්කම් ලාභීනියක වූ

27 හැවිරිදි ජැමෙයිකාවේම ‘ජැක්සන් ෂෙරීකා’ (තත්:10.76 * මෙවර ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වීම ද ඉහළින්ම කැපී පෙනුණි.

ඒ අනුව කාන්තා මීටර් 100 ඉසව්වේ රන්, රිදී සහ ලෝකඩ යන පදක්කම් ත‍්‍රිත්වයම ජැමෙයිකානුවන් සතුවූ අතර එවන් දක්ෂතාවයක් ජැමෙයිකාව වෙතින් ප‍්‍රදර්ශනය වූ දෙවන අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් විය.

ආරම්භක නිලධාරියාගේ සංඥාවට අනුව ප‍්‍රතික‍්‍රියා වේගය මැනවින් පවත්වා ගනිමින් ආරම්භ කෙරුණු මෙම තරඟයේ අවසානය අපේක්ෂා කළ පරිදිම අතිශය තියුණු මුහුණුවරක් ඉසිලීමට. එම ක‍්‍රීඩිකාවන් 08 දෙනා තුළ වේග අවස්ථාවන් සියල්ලම තිබීම කැපී පෙනුණි.

මෙහි 04 වැනි ස්ථානය අයිවරි කෝස්ට් ක‍්‍රීඩිකාවට ද 05 සහ 06 වැනි ස්ථාන ස්විස්ටර්ලන්තයට ද 07 වැනි ස්ථානය ඇමරිකා එක්සත් ජනපදයට ද 08 වැනි ස්ථානය මහා බි‍්‍රතාන්‍යය ට ද හිමි වෙමින් නිමාවට පත් විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment