ලෝකයේ හොරකම් කරන රටවල් දහයට ලංකාවත් අයත්

237

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක
මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිපය විනාශ කළා – සිරිසේන ඉතිරි ටිකත් නැති කළා

රටක් හදන්න පැහැදිලි දර්ශනයක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බවත් ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතර ලංකාවත් එක් රටක් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කුරුණෑගලදී පැවසුවාය.

නව ලංකා ⁣නිදහස් පක්ෂය අනාගතයට වෙනසක් දේශපාලන වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා සංවිධානය කළ ජනහමුවේදී බණ්ඩාරනායක මහත්මිය එසේ සඳහන් කළාය. එහිදී ඇය මෙසේද කියා සිටියාය.

රට හදන්න රට ගොඩනගන්න තරුණ නායක්ත්වය අවශ්‍යයයි. අපි කවමදාවත් අමතක කරන්නෙ නෑ අරගලයේ පණිවිඩය. මේ තරුණ අරගලය අපේ රටේ ඇති වුණ ඉතා වැදගත් වටිනා මහා පෙරළියක්. ඓතිහාසික සිදුවීමක්.මේ අරගලය එසේ මෙසේ දෙයක් කියා හිතන්න එපා. මුළු රටම උඩු යටිකුරු කරපු පවතින පාලන ක්‍රමය ඔළුවෙන් හිටවපු මේ කටයුත්ත දැන් අමතක කරවන්ඩ උත්සහ කරනවා. මේ අරගලයේ පණිවිඩය කුමක්ද? අවුරුදු 70 ගණනක් බලයට ගෙනල්ලා ඒ හැම දෙනාම අපි රැවැට්ටුවා. හැම දෙනාම නොවෙයි. ටික දෙනෙක් රැවැට්ටුවා. හොරා කෑවා. මීනී මැරුවා. රට කෑවා. ඒ අය කීවේ අපිට 225 එපා. අපිට අලුත් නායකත්වයක් අලුත් දර්ශනයක් අවශ්‍යයයි කියලා. පොදුවේ රට පාලනය කරන දේශපාලන සංස්කෘතියක් සහිත රට ගොඩනගන්නට නව නායකත්වයක් අවශ්‍යයයි. රැඩිකල් වෙනසක් ඔවුන් බලාපොරොත්තු වුණා.

අපේ රට පුංචි වුණත් අවුරුදු 2300 පුරා පෞඩ ඉතිහාසයක් තිබුණ රටක්. මුළු ලෝකයම පුදුම කරවන වැව් හදපු රටක්.ඒ තාක්ෂණය සොයාගෙන ලෝකයේ ඉංජිනේරුවන් අපේ රටට ආවා.අද අපිට ඉන්ධන නෑ. කන්ඩ කෑමක් නෑ. විදුලිය නෑ. ආණ්ඩුව බිංදුවටම කඩා වැටිලා. හොඳ අධ්‍යාපනයක් නැත්නම් රටක් ගොඩගන්ඩ බෑ. මේ තත්ත්වය යටතේ අපට රට ගොඩගන්ඩ නායකත්වයක් නැති පාටයි. රටේ හැමදාමත් තිබුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් පමණයි. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අද එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා. රනිල්ගේ කල්ලිය. සජිත්ගේ කල්ලිය. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැති කරලා. අනික් හැමෝටම වඩා මට කණගාටුයි. පක්ෂය අද වෙන කොට කෑලි හයකට කැඩිලා. මහින්ද රාජපක්ෂ පක්ෂය විනාශ කළා. රාජපක්ෂලාට සිහිනයක් තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරලා ඒ අයට ඕන විධියට පක්ෂය නැවත ගොඩනගාගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ හොරකම් කළේ නෑ. හිටපු නායකයා හොරා කෑවා. පක්ෂය විනාශ කළා. තමන්ගේ දරුවන්ට ගෑනිට තමන්ගේ බුදලය කියලා බෙදා දුන්නා. සිරිසේන ඒ මිනිහා ඉතුරු ටික නැත්තටම නැති කළා.

නව ලංකා ⁣නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් තිලක් වරාගොඩ, තිලංග වීරක්කොඩි, ජීවන් කුමාරතුංග පා.ම අනුර ප්‍රියදර්ශන යාපා, පා.ම.ජයරත්න හේරත් වයඹ හිටපු ප්‍රධාන අමාත්‍යවරුන්වන අතුල විජේසිංහ, ධර්මසිරි දසනායක ඇතුළු කතිකයෝ කීපදෙනෙක් නව ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අදහස් දැක්වුහ. හිටපු අමාත්‍යවරයෙකු වූ එස්.බී. නාවින්න මහතාද මෙම අවස්ථාවට සහභාගි විය. පොහොට්ටු පක්ෂයට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු පිරිසක් සහ හිටපු ප්‍රාදේශීය සභා සහාපතිවරුඇතුළු දේශපාළන ක්‍රියාකාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වීසිටියහ.
ආර්.එම්.ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment