ලෝකාවසානයේ අසරුවන් සිවුදෙනා -(ජුලියන් හක්ස්ලි විසිනි)

208

බ්‍රිතාන්‍ය ජාතික ජුලියන් හක්ස්ලි (Julian Sorell Huxley1887-1975) යනු පරිණාමවිද්‍යාව පිළිබඳ කීර්තිමත් ප්‍රාඥයෙකි. යුනෙස්කෝ (UNESCO) සංවිධානයේ ප්‍රාරම්භක ප්‍රධාන අධ්‍යක්ෂවරයා වූ හෙතෙම ජාත්‍යන්තර වනජීවී සංරක්ෂණ පදනම (WWF) පිහිටුවීමටත් දායක විය. මේ උගතා ලියූ පොත් අතර මානවහිතවාදියකුගේ රචනා (Essays of a Humanist, 1964), මිනිසාගේ අනාගතය (The Future of Man 1966) ආදී කෘති පාඨකයාගේ මහත් අවධානය දිනාගති. මේ ඔහුගේ ලෝකාවසානයේ අසරුවන් සිවුදෙනා (de notre apocalypse 1967) නම් ලිපියේ සම්පූර්ණ සිංහල අනුවාදයයි.

අපි ඉතා අර්බුදකාරී කලක වසමු. එහෙයින් අප වටා මේ සිදුවෙමින් පවතින දේවල් නොදුටු ඇහින් හිටියොත් ලෝක ජනගහනයෙන් බහුතරයක් තවමත් ජීවිතුන් අතර සිටියහැකැයි සිතිය හැකි තව වසර තිහක් පමණ ඇතුළත මිනිසාගේ ඉරණම මහත් ඛේදයක් කරා ගමන් කරනු නියතයි. දින දින ළඟා වෙන ලෝකාවසානයේ (1)අසරුවන් සිවු දෙනාගෙන් පළමු අසරුවා නම් ‘වඩා විශිෂ්ට දේ ස්ථාපිත කිරීම’ පිණිස න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය පෙරදැරි කරගෙන කරන අමන මිලිටරි යුද්ධප්‍රයාණ වේ. දැනට පවතින සකල සංස්කෘතික පද්ධතිය මේ පොළව මතින් අතුගා දමන්ට මේ වැඩපිළිවෙළ සමත් වෙන නිසා ඊටි‘අවසාන ශෝධනය’ කියා කීම වඩා ගැළපෙතැයි සිතමි.

ලෝකාවසානයේ දිවෙන දෙවන අසරුවා නම් අමනෝඥ ආර්ථික විධිවිධාන වේ. මේ විකාර ආර්ථික ප්‍රතිපත්ති නිපදවා තිබෙන්නේ තරගකාරී වෙළෙඳපොළ නඟාසිටුවීමටත් මොනයම් ආකාරයකින් හෝ ලාභ උපයා ගැනීමේ තුච්ඡ අරමුණ මුදුන්පත් කරගැනීමටත් ය. මේ ඉරියව් අපව අවසානයක් නැති අවිනිශ්චිතතාවකට ඇද දමමින් සොබාවික සම්පත් බඩජහරි ලෙස සූරාකෑමට මැලි නොවන උරුමයකින් තොර ජනතාවක් බවට අපව පත් කර තිබේ. වස්තුවක ගුණය ගැන සිතා තුටුපහටු වනු වෙනුවට අසීමිත ආර්ථික සංවර්ධනයක් ගැන හටගත් විනාශකාරී අමන විශ්වාසයක් මත පැළපදියම් වී ඕනෑම දෙයක් අතපත ගාගෙන ගොඩගහ ගන්නට මේ අනුව යන අපට සිතෙයි.

ලෝකාවසානයේ දිවෙන තෙවැනි අසරුවා නම් ජාතීන් හා කණ්ඩායම් අතර තරගකාරී දේශපාලනයක් ඇතිකිරීමෙන් ලෝකයේ තිබෙන තරමක් ගැටලු විසඳීමට අමනෝඥ ලෙස මාන බැලීමයි. එයින් ජාතීහු ඔවුනොවුන් හා විරසකවයෙත්. සංවර්ධිත රටවල්, අර්ධ සංවර්ධිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වෙනස විප්ලවකාරී ලෙස තව තව වැඩි වෙයි. දුප්පත් රටවල් හා පොහොසත් රටවල් අතර ගැටුම තව දිග්ගැහෙයි. එය හුදු ආර්ථික අපගමනයක් පමණක් නොවේ. ඉන් නිපන් ප්‍රමාදය අධ්‍යාපන ක්ෂේත්‍රයටත්, ප්‍රවෘත්ති ව්‍යාප්ත කිරීමේ නොයෙක් ක්‍රමවේදවලටත්, ඇසූ පිරූ තැන් වගා දිගා කර ගැනීමට තිබෙන හැකියාව අවම වීමටත්, මිනිසාගේ විවේකාස්වාදය අහෝසි කිරීමටත්, හුදු මිනිසාගේ ගුණාත්මක යහපැවැත්ම ක්ෂය වීමටත් බලපානු ඇත.

ලෝකාවසානයේ දිවෙන සතරවැනි අසරුවා නම් විකාර ජෛව අක්‍රමිකතා (2)වේ. මිනිසා අසීමිත ලෙස සිය වර්ගයා ප්‍රතිනිෂ්පාදනය කරමින් සිටියි. එය ඔහුගේ සියලු සංවර්ධන මංමාවත් අහුරාගෙන සිටියි. එක්දාස් නමසිය අනූනමය වසරේ සිට අපේ ළමයිනට මේ ලෝකය ජීවත් වීමට දුෂ්කර තැනක් බවට පත් කර ඇත. මේ ලෝකය තව දුරටත් අප පිණිස නොවේ. මේ නිසා ලෝකයේ මහා ජනඝාතන හට ගනු ඇත. මේ ක්‍රියාවලියේ ඉදිරි ගමන වළකන්නට කිසිවක් සමත් නොවුණහොත්, එයින් දැරිය නොහෙන මානසික ආපදා මතු වෙන අතර මිනිසාගේ ඉදිරි පැවැත්මේ ගරාවැටීමට එය හේතු වෙයි. ඉන් සියලු ශිෂ්ට සමාජ හෝදාපාලු වී ගොස් කුස ගින්නෙන් තැවෙන වසංගත රෝග ගහන බඩවියත සඳහා පමණක් ජීවත් වුණු ඒ ආදි මිනිහාගේ තැනට අපව ආපසු ඇද වැටීමට ඉඩ තිබේ.

කර්තෘගේ අධොලිපි :

(1) ශාන්ත ජෝන් විසින් ලියන්නට ඇතැයි කියා පල්ලිය සලකන නව තෙස්තමේන්තුවේ අවසාන එළිදරව්වේ පොත ලෝකාවසානය, මළවුන්ගෙන් නැඟිටීම හා අවසාන විනිශ්චය පිළිබඳ අනාගත වාක්‍යයෙන් ගහන ය.

(2) මීටත් වඩා භයානක යැයි කියා සිතිය හැකි තවත් එක් අනතුරක් තිබෙයි. එනම් පුපුරා හැලෙන තරමට ලංවුණු අධික ජනගහනයයි. න්‍යෂ්ටික බෝම්බය පිපිරීමෙන් හටගන්නා විනාශය මඳ කලකට හෝ පමා කිරීමට සමත් වුණත් අධික ජනගහනය නිසා මානවයාගේ උන්නතිය නිරන්තර තර්ජනයකට ලක්ව තිබේ. එය මඟහැරීමට ඉතා දුෂ්කර විනාශයන් අතරින් එකකි. ඊට හේතුව එහි මූලය මිනිසාගේ කායික භෞතවේදය තුළින්ම පහළව තිබීමයි. සැකෙවින් පවසතොත්, න්‍යෂ්ටික යුද්ධයෙන් හටගන්නා අනතුර මුළුමනින්ම නැති කර දැම්මත් දිනෙන් දින අධික වන ජනගහනය නිසා මානව සංස්කෘතිය සම්පූර්ණයෙන්ම අභාවයට යෑමේ භයානක අනතුර එසේම පවතී. එය මිනිසාව ඔහුගේ මූල ජාන පදනමෙන් ඉවතට ඇද ඔහුව නොයෙක් ශාරීරික විපර්යාසයන්ට ලක්කරනු ඇත. පසුව එය පෘථිවිය මත පිළිකාවක් මෙන් ඔඩු දුවා ගොස් මහා ගැටලුවක් බවට පත්ව මානව සංස්කෘතිය යළි පිළිසකර කළ නොහැකි පරිද්දෙන් විනාශ කරදමනු ඇත. මේ කාරණය නිසා මිනිසා ආපස්සට ගහන පිම්ම කෙසේ නම් හිංසාකාරී විය හැකි ද යත් ඔහුට නැවත කිසි කලෙක ඉන් නැඟිට ගත හැකිවේදැයි යන්න සැක සහිත ය. මෙහි ආගමනය උඩු යටිකුරු කිරීම පිණිස ගන්නා සෑම පියවරක්ම මිනිසාගේ දියුණුව හෝ ප්‍රගමනයට හේතු විය හැකි කාරණාවක් ලෙස සැලකීමට හැකියාවක් නොලැබෙන අතර එය පසුබෑමක් සහ පිරිහුණු ගති ඇති ප්‍රතිගාමී ආපසු ගමනක් වනු ඇත. ෂොං දෝර් (3) විසින් සොබාදහම මියෙන්නට පෙරාතුව (Avant que la nature meure 1965) නම් පොතේ තව දුරටත් පෙන්නා දී ඇති පරිදි මිනිස් ජනගහනය මේ යන විදියට වැඩිවීගෙන ගියොත් තව අවුරුදු 600ක් ගිය තැන මේ පොළව මත (දක්ෂිණ ධ්‍රැවය මෙහිලා නොසැළකේ) එක් මිනිහෙක් එක් වර්ග මීටරයක් තුළ කොටුවී සිටිනු දැකිය හැකි බව සාමාන්‍ය ගණන් බැලීමකින් පසුව පෙනී යනු ඇත. මෙහි එන සමහර කාරණා ගැන අප දැනටමත් මහාචාර්ය බුර්ලියේ (4) මහතාට ණය ගැති වෙමු. ඔහු පෙන්නා දෙන අන්දමට මේ මිනිසුන් කෘතිම අහරින් යැපෙමින් ජීවත් වීමට සමත් නම් එක මත එක ගොඩගැහෙන නහර කිපීම් ආදියෙන් වළකිනු වස් ආතතිනාශක පෙති අධික වශයෙන් ගිල දැමීමටත් ඔවුන්ට වාරයෙන් වාරයට වැතිර නිදාගැනීම සඳහා කල්තියා තැනක් වෙන්කර ගැනීමටත් සිදුවේ.

අනුවාදකගේ සටහන් :

(3) ෂොං දෝර් (Jean Dorst, 1924-2001) යනු සුපතළ ප්‍රංශ පක්ෂි විශේෂඥයෙකි (Ornithologist). ඔහු පක්ෂීන් පිළිබඳ පොත් දහයක් පමණ ලියා ඇති අතර ඉන් කිහිපයක් දැනටමත් ජාත්‍යන්තර භාෂා ගණනාවකට පරිවර්තනය වී තිබේ. ඔහු ස්වාභාවික විද්‍යාවන් පිළිබඳ ප්‍රංශ කෞතුකාගාරයේ බොහෝ කලක් සේවය කළේ ය. එසේම ඔහු ප්‍රංශ ජීවවිද්‍යාඥයන්ගේ සංගමයේත් පිළිගත් සාමාජිකයකුව සිටියේය.

(4) ෆ්රොන්සුවා බුර්ලියේ (François Bourliere,1913-1993) යනු වයෝවෘද්ධ විද්‍යාව (Gerontology) සහ සත්වවිද්‍යාව (Zoology&) පිළිබඳ ප්‍රකට ප්‍රංශ විශේෂඥයෙකි. ක්ෂීරපායි සතුන්ගේ ජීවිතය අලලා ඔහු පොත් ගණනාවක් ලියා තිබේ. ජේම්ස් ෆිෂර් (James Fisher) විසින් රචිත සත්ව ලෝකය තුළ පක්ෂීන්ට හිමි තැන (Les Oiseaux dans le règne animal, 1949) නම් ලෝපතළා වූ කෘතියෙහි ප්‍රථම විද්‍යාත්මක සංස්කරණය එළිදැක්වීම පිණිස බුර්ලියේ මහතා සිය සහයෝගය දුන්නේ ය.

මූලාශ්‍රය: JULIEN HUXLEY” LES QUATRE CAVALIER DE
NOTRE TEMPS IN G. BELLOC ET G’ NEGRE, LzHOMME ET LE
MONDE MODERNE, PARIS DELAGRAVE, 1971, P. 334-335.

අනුවාදය :
උදයංග අමරසේකර- ප්‍රංශය
 

advertistmentadvertistment
advertistmentadvertistment