ලෝකෙට ණය වෙච්ච ආණ්ඩුවට ජාතික වැඩ පිළිවෙලක් නැහැ – ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක

121

කුප්පි ලාම්පුවෙන් මම දුන්නේ ලොකු පණිවුඩයක්

ස.ජ.බ ය ගෙනියන වැඩපිළිවෙල රටට හිතකර එකක්…

ආණ්ඩුව බලයට ආවේ රටේ ප‍්‍රශ්න විසඳනවා කියන බොරුව කියාගෙනයි

රටේ මතුව ඇති දේශපාලන අර්බුද සම්බන්ධයෙන් විපක්ෂය කි‍්‍රයාත්මක වන ආකාරය ද තරමක් උදාසීනය.තෙල්, විදුලි අර්බුදයන් සම්බන්ධයෙන් මෙන්ම දේශපාලන වතාවරණය සම්බන්ධයෙන් ද විපක්ෂය ඉදිරිපත් කරන මතවාද ඒ හැටි සමාජගත වන ආකාරයක් පෙනෙන්නට නැත.සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක හමුවී අප කතා කළේ ඒ ගැනය.

ප‍්‍රශ්නය – පසුගියදා විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබූ අවස්ථාවක විදුලිය විසන්ධි වී තිබුණා. ඉන් අනතුරුව ඔබ කුප්පි ලාම්පුවක් ද සමගින් මාධ්‍ය හමුවක් පැවැත්වූවා.

ඒ ආකාරයට කුප්පි ලාම්පුවක් ආධාරයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු කළේ එම අවස්ථාවේදී විදුලිය විසන්ධි වී තිබූ නිසාද එසේත් නොමැති නම් වෙනත් හේතුවක් නිසා ද?

පිළිතුර – මේ රටේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවාවක් වන විදුලි බලය අඛණ්ඩව සපයා දීමට ආණ්ඩුව අසමත්වීම සම්බන්ධයෙන් ජනතාව තුළ විරෝධයක් තිබෙනවා. විදුලි බලය සාමාන්‍ය ජනතාවගේ පාරිභෝජනය සඳහා පමණක් නෙවෙයි කර්මාන්තශාලා ඇතුළු නිෂ්පාදන කටයුතු සඳහාත් අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. එම නිසා නිසි පරිදි විදුලිය ලබාදීමට නොහැකි වුවහොත් රට කඩාගෙන වැටෙනවා කියන එක පැහැදිලි කාරණයක්.

එම නිසා ඒ පිළිබඳව ප‍්‍රධාන වශයෙන්ම ආණ්ඩුවෙත් ජනතාවගෙත් අවධානය යොමු කිරීම තමයි මගේ ප‍්‍රධාන අරමුණ වූයේ. මම එම කටයුත්ත මගින් සංකේතවත් කළේ ඉදිරියේදී මේ රටේ ජනතාවට මුහුණ දීමට සිදුවන තත්ත්වය තමයි. මම කුප්පි ලාම්පුවක් අරගෙන එම මාධ්‍ය හමුවට සහභාගි වූයේ එම පණිවුඩය ජනගත කිරීමේ අරමුණ ඇතුව තමයි.

ප‍්‍රශ්නය – ඔබ සඳහන් කරන්නේ සමගි ජනබලවේගයේ ආණ්ඩුවක් බලයේ සිටියා නම් විදුලි බලය සම්බන්ධයෙන් මෙබඳු අර්බුදකාරී තත්ත්වයක් ඇති නොවන බව ද?

පිළිතුර -පැහැදිලි ලෙසම මෙහෙම අර්බුදයක් මතුවන්නේ නැහැ. ඒකට හේතුව මම කියන්නම්. මේ ඇතිවෙලා තිබෙන අර්බුදකාරී තත්ත්වය ස්වභාවිකවම ඇති වූ එකක් නෙවෙයි. එහෙම කියන්න එක හේතුවක් තමයි ලංකාවේ විදුලිබල නිෂ්පාදනයෙන් 65% කටත් වඩා නිෂ්පාදනය කරන්නේ තාප බලාගාරවලින්. ඒ කියන්නේ එම ප‍්‍රමාණය නිපදවන්නේ ගල්අඟුරු සහ ඞීසල් පදනම් කරගෙන එම මාර්ගයෙන් අඛණ්ඩවම විදුලිය ලබාගැනීමට නිසි කළමනාකරණයෙන් යුතුව කටයුතු නොකිරීම නිසා තමයි මෙම අර්බුදකාරී තත්ත්වය ඇති වූයේ. ඒ කියන්නේ ඞීසල් ගෙනඒමට මුදල් නොමැති වීම සහ ගල්අඟුරු බලාගාරයන් බිඳවැටීම නිසා. ඒ වගේම ගල්අඟුරුත් හිඟ බවත් වාර්තා වෙනවා. මෙම විදුලිබල අර්බුදය ඇති වී තිබෙන්නේ එම සාධක නිසි පරිදි කළමනාකරණය නොකිරීම නිසා තමයි.

එම කටයුතු නිසි පරිදි කළමනාකරණය කිරීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ නායකයන් සහ විෂයභාර ඇමැතිවරුන් කටයුතු කරන ආකාරය අන්තිම දුර්වලයි. අපේ ආණ්ඩුවක් තිබුණා නම් මෙහෙම දුර්වල තත්ත්වයක් ඇති වන්නේ නැහැ. එම නිසා තමයි අපි කියන්නේ අපේ ආණ්ඩුවක් තිබුණා නම් විදුලි බලය සම්බන්ධයෙන් මෙහෙම අර්බුදකාරී තත්ත්වයක් ඇති නොවන බව.

ප‍්‍රශ්නය – ඔබ ඔය ආකාරයට සඳහන් කළත් එක්සත් ජාතික පක්‍ෂය බලයේ සිටි අවස්ථාවලදී මේ ආකාරයටම විදුලි බලය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් ඇති වූ බව අපට මතකයි. එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවක සිටි විදුලිබල ඇමැතිවරයා සමහරුන් විසින් කරුවල ජයසූරිය නමින් පවා හැඳින්වූවා නේද?

පිළිතුර- යසූරිය මහතා විදුලිබල සහ බලශක්ති ඇමැතිවරයා ලෙස විදුලි බලය අඛණ්ඩව ලබාදීමට ගත් පියවර පිළිබඳව මේ රටේ ජනතාව දන්නවා. ඒ අවස්ථාවේදී විදුලිබල අර්බුදයක් ඇති වූ විට ක්‍ෂණික පියවර අරගෙන රට අඳුරේ නොතැබීමට කටයුතු කළා.

එහෙත් අද ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ආණ්ඩුවේ නායකයන් සහ විෂයභාර ඇමැතිවරුන් කටයුතු කරන ආකාරය බලන්න. විදුලිබල ඇමැතිවරයා සහ බලශක්ති ඇමැතිවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වන්නේ ආණ්ඩු දෙකක ඇමැතිවරු ආකාරයට. මොවුන් ඇමැති මණ්ඩලයේදී අදාළ කරුණු සාකච්ඡා කරල නිසි පරිදි විදුලි බලය සැපයීම තමයි කළ යුත්තේ. නමුත් අද ඒ වෙනුවට නිදහසට කරුණු කියන්න ඇමැතිවරු පිරිසක් බිහිවෙලා. ජනතාව මෙහෙම තත්ත්වයක් අපේක්‍ෂා කරන්නේ නැහැ. ඔවුන් අපේක්‍ෂා කරන්නේ ආණ්ඩුවෙන් නිසි පරිදි සිදුවිය යුතු සේවය තමයි.

ප‍්‍රශ්නය -මේ මොහොත වන විට මේ රටේ ජනතාව මුහුණ දී සිටින්නේ විදුලිබල අර්බුදයකට පමණක් නොවෙයි නේ. මේ වන විට පොහොර, සිමෙන්ති, ගෑස් යන ද්‍රව්‍යයන් ද ජනතාවට අවශ්‍ය ප‍්‍රමාණයෙන් මිලදී ගැනීමට නොහැකි වී තිබෙනවා. පොහොර නිසි පරිදි ලබා නොදීම නිසා මේ වන විට රට ආහාර හිඟයකට තල්ලූ වෙමින් පවතිනවා. මේ සියලූ අර්බුද නිර්මාණය වූයේ කෙසේද?

පිළිතුර-ඒ සඳහා හේතු වී තිබෙන එක් හේතුවක් තමයි කොවිඞ් වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා ආණ්ඩුවට ජාතික වැඩපිළිවෙළක් නොමැතිවීම. ලෝකයේ සෑම රටක්ම මෙම කොවිඞ් වසංගතයට මුහුණ දී සිටිනවා. නමුත් සෑම රටකම වාගේ ජනතා අවශ්‍යතාවයන් අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව නිසි කළමනාකරණයක් කරලා තිබෙනවා. අපේ අසල්වැසි රටවල් න්‍ණ මාලදිවයින, නේපාලය, ඉන්දියාව යන රටවල් අරගෙන බලන්න. ඒ රටවල් අපේ රට මුහුණ දී සිටින අර්බුදයන්ට මුහුණ දී නැහැනේ. එයින් පැහැදිලි වෙනවා කොවිඞ් වසංගතය පමණක් මෙම අර්බුදකාරී තත්ත්වයට හේතු වී නොමැති බව. නමුත් මේ ආණ්ඩුව උත්සාහ කරනවා මෙම අර්බුදකාරී තත්ත්වයට එකම හේතුව කොවිඞ් වසංගතය බව පෙන්වන්න. ඒක වැරදියි.

ප‍්‍රශ්නය – කොවිඞ් වසංගතය වගේම රට විශාල ණය උගුලක සිරවී සිටීමත් මෙම අර්බුදකාරී තත්ත්වයට හේතු වී තිබෙන බව ආණ්ඩුවේ සමහර ඇමැතිවරු ප‍්‍රකාශ කර තිබෙනවා. 1970 සිට 77 දක්වා මේ රට පාලනය කළ සමඟි පෙරමුණ ආණ්ඩුව එතෙක් පැවති සියලූ ණය ගෙවා අවසන් කර තිබුණත් 1977 දී බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුව යළි රට ණය කිරීම වත්මන් අර්බුදයට මූලික හේතුව බවටත් චෝදනා එල්ල වී තිබෙනවා.

එම චෝදනාව පිළිබඳව ඔබගේ ප‍්‍රතිචාරය කුමක්ද?

පිළිතුර- ඕව නිදහසට කියන කරුණු නේ. ණය හුවමාරුව ලෝකයේ රටවල් අතර සිදුවෙනවා. නමුත් ඇමරිකාව කියන්නේ ලෝකයේ තිබෙන ශක්තිමත්ම සහ බලවත්ම රාජ්‍යය. එසේ වුවත් ලෝකයට ණය වී තිබෙනවා. ලෝකයේ විවිධ රටවල් ණය ආධාර ලබා ගනිමින් කටයුතු කරනවා.

ප‍්‍රශ්නය වන්නේ ණය ලබා ගැනීම නොවෙයි. එහිදී වැදගත් වන්නේ එම ණය ආයෝජනය කිරීම සහ කි‍්‍රයාත්මක කරන වැඩපිළිවෙළ කුමක්ද කියන එක. 1977 න් පසුව ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුව ණය ගත්තා. එම ණය ගත්තේ ගිනි පොලියටවත් චීන පොලී මුදලාලිගෙන්වත් නොවෙයි. එම ණය ගන්තේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආයතනවලින් සහ ජපන් ණය ආධාර වැනි ආයතනවලින් තමයි. එම ණය කන්න බොන්න පාවිච්චි කළේ නැහැ. එම ණය යෙදවූයේ මහවැලි ව්‍යාපාරය වැනි ව්‍යාපෘති සඳහා තමයි. එම මුදල් ආයෝජනය කළේ පැහැදිලි සංවර්ධන වැඩසටහන් සඳහා තමයි.

දැන් බලන්න මේ ආණ්ඩුව අතමාරු ණය ගැනීමේ ක‍්‍රමයක් ආරම්භ කරලා තිබෙනවා. මේ ආණ්ඩුව ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් වලින් අතමාරු ණය අරගෙන තිබෙනවා. මේ ණය අරන් තිබෙන්නේ අසල්වැසි නිවෙස්වලින් හදිස්සියට මුදල් කීයක් හරි ඉල්ලා ගන්නා ආකාරයට තමයි. මේ වගේ බංකොලොත් තත්ත්වයට මේ රට පත් කරලා තිබෙන්නේ මේ ආණ්ඩුව තමයි. මෙම තත්ත්වයෙන් ගොඩ එන්නේ කෙසේද කියන එක පිළිබඳව කිසිදු වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නැහැ.

ප‍්‍රශ්නය- මේ වන විට සමගි ජනබලවේගය වගේම විපක්‍ෂයේ වෙනත් දේශපාලන පක්‍ෂ ආණ්ඩු විරෝධී කටයුතු වගේම තම පක්‍ෂවල සංවිධාන කටයුතු වේගවත් කරලා තිබෙනවා.

ඒ ආකාරයට කටයුතු කරන්නේ ආණ්ඩුව ඉතා ඉක්මනින් පෙරලන්න පුළුවන් යන විශ්වාසය ඇතිවද?

පිළිතුර- සමගි ජනබලවේගය වශයෙන් අපගේ දේශපාලන ව්‍යාපාරය අපි අඛණ්ඩව කරගෙන යනවා. අනෙකුත් පක්‍ෂත් ඒ ආකාරයට කටයුතු කරනවා ඇති. මේ වන විට පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුව තිබෙනවා. නමුත් ආණ්ඩුව එම මැතිවරණ කල් දමා තිබෙනවා.

ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මැතිවරණයත් පැවැත්වීමට තවත් වසර කිහිපයක් තිබෙනවා. නමුත් ලබන වසරේ මැද භාගයෙන් පසුව පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම සඳහාත්, ලබන නොවැම්බර් මාසයෙන් පසුව ජනාධිපිතවරණයකට යෑම සඳහාත් ජනාධිපතිවරයාගේ අභිමතය අනුව කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා. එම නිසා අපි විශ්වාස කරනවා ආර්ථික කඩාවැටීමත් ආණ්ඩුව මුහුණ දෙන අභියෝගත් සමග කුමන හෝ මැතිවරණයකට අවතීර්ණ වීමේ ඉඩ තිබෙන බව. ඕනෑම මැතිවරණයකට මුහුණ දීමේ සූදානමක් ඇතිව තමයි අපි අපගේ පක්‍ෂයේ සංවිධාන කටයුතු මෙන්ම අපගේ අනිකුත් දේශපාලන කටයුතු ආරම්භ කරලා තිබෙන්නේ.

ප‍්‍රශ්නය- පසුගිය 18 වැනිදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ රාජාසන කතාව කරමින් මෙම අර්බුදකාරී අවස්ථාවෙන් ගැලවීමට විපක්‍ෂයේ සහයෝගය ඉල්ලා සිටියා.

මෙරට සිටින ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් ලෙස එම ඉල්ලීම සම්බන්ධයෙන් දක්වන ප‍්‍රතිචාරය කුමක්ද?

පිළිතුර- ජනාධිපතිතුමා රාජාසන කතාව පවත්වමින් මෙම අවස්ථාවේදී රට මුහුණදී සිටින අර්බුදකාරී තත්ත්වයෙන් ගලවා ගැනීම සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරාවි කියලා අපි සිතුවා. නමුත් ජනාධිපතිතුමා අලූත් කොළවල ලියාගෙන පරණ කතාවම කළා. කිසිම වැඩපිළිවෙළක් නැහැ.

අපි මේ අවස්ථාවේදී මේ අර්බුදයෙන් ගොඩ එන්නේ කෙසේද කියන එක බැලිය යුතුයි. අපි පළමුවෙන්ම මෙම අවස්ථාවේදී මුහුණ දී සිටින ඩොලර් අර්බුදයෙන් මිදීම සඳහා ගමන් කළයුතු මාර්ගය කුමක්ද? පළමුවෙන්ම අපි ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනයකින් ආධාරයක් ලබාගත යුතුයි. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව අරගෙන තිබෙන පියවර කුමක්ද? ඒ සම්බන්ධයෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් අරගෙන නැහැ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ප‍්‍රතික්‍ෂේප කරනවා. නමුත් ආණ්ඩුව ඒ වෙනුවට ටින් එකක් අරන් අතමාරු ලබා ගැනීමට තැනින් තැන යනවා.

අපි ආණ්ඩුවට කියන්නේ එක එක්කෙනාට ඇඟිල්ල දිගු කර කර ඉන්නේ නැතිව ඒ සඳහා ජාතික වැඩපිළිවෙළක් හදන්න කියන එක තමයි.

ප‍්‍රශ්නය- සමගි ජනබලවේගයේ සංවිධාන කටයුතු මේ වන විට වේගවත් කර තිබෙනවා. ඒ සමගම චම්පික රණවක මන්තී‍්‍රවරයාත් මීළඟ ජනාධිපතිවරණයේ අපේක්‍ෂකත්වය ලබාගැනීම සඳහා ‘43 වන සේනාංකය’ නමින් සංවිධානයක් පිහිටුවාගෙන කටයුතු කරමින් සිටිනවා. එම සංවිධානයේ කටයුතුවලට සහභාගි නොවන ලෙස සමගි ජනබලවේගයේ නායකත්වය විසින් නොනිල තහනමක් පනවා ඇති බව වාර්තා වෙනවා. එහි සත්‍යතාවයක් තිබෙනවාද?

පිළිතුර – සමගි ජනබලවේගය පක්‍ෂ ගණනාවක් සමග එක්වී කටයුතු කරනවා. දැනටමත් අපි සංධානගත වී තිබෙන පක්‍ෂ සමග බොහොම සහයෝගයෙන් කටයුතු කරනවා.

එරික් ගාමිණි ජිනප‍්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment