ලෝක කුසලානයට ඇමරිකාව වෙනුවෙන් ක්‍රිකට් ගහන්න සූදානම් වෙන ලංකාවේ කොල්ලා

752

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ශෙහාන් ජයසූරිය අද පදිංචිව සිටින්නේ ඇමරිකාවේ. 2024 දී ඇමරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගයේ දී ඇමරිකානු කණ්ඩායම වෙනුවෙන් තරග කිරීම ඔහුගේ ඉලක්කය වී ඇත. ඒ සඳහා සුදුසුකම් සපුරාලමින් සිටින ශෙහාන් නිව්යෝර්ක් නුවර දී මීවිත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්විය.

ශෙහාන් ජයසූරිය ඇමරිකාවට ඇවිත් මොනවද කරන්නේ කියා කෙනකු ප්‍රශ්න කළොත්?

ඇමරිකාවට ඇවිල්ලත් මම ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඊට අමතරව කෝචින් කරනවා. මම ලංකාවෙන් කෙලින් ම ආවේ ක්‍රිකට් සෙල්ලම් කරන්න. ඒත් සමහර වෙලාවට අපට කෝචින් කරන්නත් තියෙනවා. මාව ගෙන්වා ගත්තේ ඇමරිකන් ක්‍රිකට් එන්ටර්ප්‍රයිසස් කියන සමාගමෙන්. අමිල අපෝන්සු ඇන්ජලෝ පෙරේරා ළහිරු මිලන්තත් ඉන්නවා. නවසීලන්තයේ කොරී ඇන්ඩර්සන් ඉන්දියාවේ ඔන්මුක්ට් චාන්ඩ් එංගලන්තයේ ලියම් ප්ලන්කෙට් පවා ආවේ මේ සමාගම මාර්ගයෙන්. මේ සමාගම යටතේ ක්‍රිකට් ඇකඩමි එකකුත් තියෙනවා. සෙල්ලම් නො කරන වෙලාවට ඒ ඇකඩමියේ ඉන්න ළමයින්ට කෝච් කරනවා.

ලෝක කුසලානයට ඇමරිකාව වෙනුවෙන් ක්‍රිකට් ගහන්න සූදානම් වෙන ලංකාවේ කොල්ලා

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සිටි ඔබට මෙවැනි ආයතනයක් යටතේ ක්‍රීඩා කිරීමෙන් මූල්‍යමය නොවන වාසියක් තියෙනව ද?

ඔව්. බටහිර ඉන්දීය කොදෙව් පිළේ ඉන්දියාවේ පකිස්තානයේ අද ඉන්න ක්‍රීඩකයන් පවා මෙහෙ ඇවිත් සෙල්ලම් කරනවා. ඒ අයගෙන් අපට හොඳ අත්දැකීම් ලබාගන්න පුළුවන්.

ඇමරිකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තියෙන්නෙ මොනවගේ තැනක ද?

අපි හිතුවට වඩා ඉහළ තැනක තියෙනවා. පසුගිය ලෝක කුසලානයටත් ඇමැරිකාව තරඟ කළා. ලොකු දියුණුවක් තියෙනවා.

ලෝක කුසලානයට ඇමරිකාව වෙනුවෙන් ක්‍රිකට් ගහන්න සූදානම් වෙන ලංකාවේ කොල්ලා

ඇමරිකානු කණ්ඩායමට ඇතුළත් වීමට තිබිය යුතු සුදුසුකම් ඔබ සපුරා තිබෙනව ද?

ශ්‍රී ලංකාවෙන් ආපු කෙනෙක් නිසා මම අවුරුදු තුනක් මේ රටේ සිටිය යුතුයි. ඉන් පසුව තමයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් අනුමැතිය දෙන්නේ මම ඇමරිකානු කණ්ඩායමේ සෙල්ලම් කරන්න සුදුසුයි කියා.

ඒ කියන්නේ 2024 වසරේ දී ඇමරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව්වල පවත්වන ලෝක කුසලාන තරගයට ඔබට ඇමරිකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබේවි?

ඔව්. 2023 ජූලි මාසය වෙද්දී මම සුදුසුකම් ලබනවා. මම විශ්වාස කරනවා 2024 වර්ල්ඩ් කප් එකට ඇමරිකාව නියෝජනය කරන්න මට අවස්ථාව ලැබේවි කියලා. මගේ එකම ඉලක්කය ඇමරිකානු ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්නයි.

ශ්‍රී ලංකාවේ අද ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය ගැන කණ්ඩායම නියෝජනය කළ කෙනෙක් විදිහට ඔබට මොනවද හිතෙන්නේ?

දැන් නම් හොඳයි. එකම කණ්ඩායමක් අඛණ්ඩවම සෙල්ලම් කරනවා. ඒක හොඳ තත්ත්වයක්. නැත්නම් ක්‍රීඩකයන්ට සෙල්ලම් කරන්න වෙන්නේ පීඩනයකින්.

පහුගිය දවස්වල කණ්ඩායමේ විනය ගැන කතාබහ වුණා. ජාතික කණ්ඩායමේ හිටපු තරුණ ක්‍රීඩකයෙක් විදිහට මේ අයගේ විනය ගැන ඔබට මොනවද හිතෙන්නේ?

ධනුෂ්කගේ සිද්ධිය තමයි හුඟක් ලොකුවට කතාවුණේ. ඒක ඔහුගේ වරදක් බව මම හිතන්නෙ නැහැ. උසාවියට යන තරමේ සිද්ධියක් වූ නිසා තමයි හැම දෙනාම දැන ගත්තේ. නැත්නම් සාමාන්‍යයෙන් කණ්ඩායමේ සීයට අනූපහක් විතරම සාමාන්‍යයෙන් කෑමට බීමට එළියට යනවා.

ලෝක කුසලානයට ඇමරිකාව වෙනුවෙන් ක්‍රිකට් ගහන්න සූදානම් වෙන ලංකාවේ කොල්ලා

ශෙහාන්” ඔබ කණ්ඩායමෙන් ඉවත් වුණේ ඇයි?

මම ඇත්තට ම ඉවත් වෙන්න නෙවෙයි හිටියේ. 2015 ඉඳන් අවුරුදු පහක් වගේ සෙල්ලම් කළේ. මගේ බිරිඳ ඇමරිකාවේ. අපිට දෙපැත්තක ජීවත් වෙන්න බැරි නිසා ලංකාව ද ඇමරිකාව ද කියා තීරණය කරන්න වුණා. ඒ අතර ඇමරිකාවෙන් මට ඔෆර් එකකුත් ආවා. ඒ නිසා මම තීරණයක් ගත්තා ඇමරිකාවට එන්න.

ඔබ අවසන් වරට තරඟ කළේ?

අන්තර් සමාජ තරගවල දී ආරම්භක පිතිකරුවෙක් විදිහට තමයි හුඟ දෙනෙක් මාව දන්නේ. ඒත් ජාතික කණ්ඩායමේ මට ලැබුණේ හත්වැනි ස්ථානයේ තරඟ කරන්න. මට සෙට්ල් වෙන්න අමාරු වුණා. මම කවදාවත් අංක හතට සෙල්ලම් කළ අයෙක් නෙවේ. එනිසා මගේ පර්ෆෝමන්ස් පෙන්වන්න බැරි තත්ත්වයක් ආවා. ඒ නිසා මම මගේ ක්ලබ් එකටත් ගිහින් හත්වැනි ස්ථානයේ තරඟ කරන්න අවස්ථාව ඉල්ලුවා. 2019 දී මම පකිස්තානයට ගිහින් එක් දින තරඟයේ දී ලකුණු අනූහයක් ගැහුවා. ඒක තමයි මම තරග කළ අන්තිම එක්දින තරගය. ඉන් පස්සේ තරගයට මාව තේරුවේ නැහැ. හේතුව ඇහුවාම කිව්වේ කලින් තරගයේ ලකුණු අනූහයයි ගැහුවේ ලකුණු සීයක් ගහන්න තරම් මම ෆිට් නැහැ කියලා.

කණ්ඩායමෙන් ඉවත්වීමට ඒ සිද්ධියත් හේතු වුණා ද?

ඒකත් හේතුවක් වුණා කිව්වත් හරි. හත්වැනි ස්ථානයේ තරග කරලා ලකුණු අනූහයක් ගහලත් මදි කියනව නම් මං ඊට වඩා මොනවද කරන්නේ කියලා හිතුණා. මට මතක විදිහට ඒ තරගයේ මමයි දසුන් ශානකයි ලකුණු එකසිය හැත්තෑහතක සම්බන්ධතාවක් පවත්වා ගත්තා. ඒක එක්දින තරගයක දී පකිස්තානයට එරෙහි වැඩිම පාර්ට්නර්ෂිප් එක ලෙස වාර්තා අතරට එක්වුණා. ඒ කාලේ බෝම්බ පිපිරෙන නිසා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තරගයට යන්න බියවූ අවස්ථාවකයි රට වෙනුවෙන් අපි ගිහින් මැච් එක දිනලා ආවේ. පස්සේ ඒ අය හිතන්න ඇති අපි කණ්ඩායමේ දිගට ම හිටියොත් ඔවුන්ගේ අවස්ථාව නැතිවේවි කියලා. ඉන් පස්සේ පැවැති ටෙස්ට් මැච් එකට කලින් යන්න බැහැ කියූ ජ්‍යෙෂ්ඨයන් හැමෝ ම ගියා. ඒනිසා අපිට අවස්ථාව නැති වුණා.

ඉවත් වීමට ඔබ ගත් තීරණය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් අනුමත කළා ද?

ජ්‍යෙෂ්ඨයන් විදිහට ඒ අවස්ථාවේ හිටියේ ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස්. දෙන්නගෙන්ම මම ඇහුවා මොනවද කරන්නේ කියලා. හිතලා බලලා හොඳ තීරණයත් ගන්න කිව්වා. දැන් ඉතින් මම ඇමරිකාවේ ඉතා සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඇමරිකන් ක්‍රිකට් එන්ටර්ප්‍රයිසස් යටතේ තියෙන සිලිකන් වැලීස් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ දැනට මම සෙල්ලම් කරනවා.

ඔබේ බිරිඳ කවිෂා”ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධනගේ දියණි ය. කවිෂාගෙන් ඔබට ලැබෙන සහයෝගය කෙබඳු ද?

හැමදේට ම මාව උනන්දු කරන්නේ කවිෂා තමයි. ඇයගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. මම ලකුණු ගැහුවෙ නැත්නම් එයා දුක් වෙනවා. ඉස්සර ඉඳන්ම එයා ක්‍රිකට් රසිකාවියක්.

අජිත් අලහකෝන්
නිව්යොර්ක්

advertistmentadvertistment
advertistmentadvertistment