ලෝක කුසලානයට දසුන්ලා හෙට යති

331

ඩොලර් මිලියන 1.6 ක ත්‍යාග මුදලක් අවසන් මහා තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට පිරිනැමෙන 2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා දසුන් ශානක ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (02 වෙනිදා) අලුයම ඔස්ටේ්‍රලියාව බලා දිවයිනෙන් පිටත්ව යනු ඇත.

තරගාවලියේ අනුශූරයන් සඳහා ඩොලර් ලක්ෂ 8ක මුදල් තෑගි පිරිනැමෙන බවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (30 වෙනිදා) නිවේදනය කළේය.

අවසන් පූර්ව තරගවලින් පරාජය වන කණ්ඩායම් දෙකට ඩොලර් ලක්ෂ 4 බැගින් පිරි නැමේ.

තරගාවලියට පූර්ව සූදානමක් ලබා ගැනීම සඳහා ලංකා කණ්ඩායම පසුගිය දින හයක පමණ කාලය තුළ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත වූයේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ලබන 16 වැනිදා මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩය යටතේ නැමීබියානු කණ්ඩායම සමගින් තරග වැදීමට නියමිතව තිබේ. අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ නෙදර්ලන්තය සමගින් තරග කර සුපිරි 12 දෙනාගේ වටයට ඇතුළත්විය යුතුය. ඒ අනුව ‘ඒ’ කාණ්ඩයෙන් පළමු ස්ථානයට පත්වන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණහොත් සුපිරි 12 දෙනාගේ වටයේදී පළමු කාණ්ඩය යටතේ සත්කාරක ඔස්ටේ්‍රලියාව, එංගලන්තය, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය සහ මූලික වටයේ ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම සමගින් තරග වැදීමට සිදුවේ. යම් කිසි හේතුවකින් මූලික වටයේදී ශ්‍රී ලංකාව එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වුවහොත් සුපිරි 12 දෙනාගේ වටයේදී දෙවැනි කාණ්ඩයට ඇතුළත් වී ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව සහ මූලික වටයේ ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානය ලබා ගන්නා කණ්ඩායම සමගින් තරග වැදීමට නියමිතය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment