ලෝක කුසලාන අවසාන මහා තරගය අද

1

අවසන් සටනට ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව

දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාවට ලකුණු 68ක ජයක්

2024 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය අද (29 දා) බාබඩෝස්හි බිඩ්ජ්ටවුන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද රාත්‍රි 8.00 ආරම්භ වීමට නියමිතව ඇත.

ඒ සඳහා ප්‍රථම අවසන් පූර්ව තරගයෙන් ජයගත් දකුණු අප්‍රිකාවත්, දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ජයගත් ඉන්දීය කණ්ඩායමත් සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

එංගලන්තය සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ලකුණු 68ක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්වීමත් සමග ඔවුන් අවසාන මහා තරගය සඳහා සුදුස්සන් වූහ.

ඒ අනුව පෙරේදා උදෑසන පැවැති දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අවසන් පූර්ව තරගයෙන් ජයගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (29 වැනිදා) පැවැත්වීමට නියමිත අවසාන මහා තරගයේදී ඉන්දීය කණ්ඩායම සමග තරගවැදීමට නියමිතව ඇත. ගයානාහි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ වාරය ඉන්දීය කණ්ඩායමට භාර කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් ලබාගැනීමට සමත්විය.

පිළිතුරු ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ පන්දු වාර 16යි පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 103ක් පමණි. ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 68ක ජයක් හිමිවිය.

මෙම තරගයේදීද නායකත්වයේ ඉනිමක් දියත් කළ නායක රෝහිත් ශර්මා පන්දු 39කින් ලකුණු 57ක් රැස්කිරීමට සමත්වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විණි. මීට අමතරව සූර්ය කුමාර් යාදෙව් ලකුණු 47ක් සහ හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 23ක් ලැබීය.

පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් ජෝර්ඩන් ලකුණු 37කට කඩුලු 3ක්, රීසි ටොප්ලි, ජොෆ්ර ආචර්, සෑම් කරන් සහ අදීල් රෂීඩ් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය.

පන්දුවට පහරදීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් හැරී බෲක් ලකුණු 25ක් සහ ජොෆ්ර ආචර් ලකුණු 21ක් ලැබීය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඉන්දීය පන්දු යවන්නන් වන කුල්දීප් යාදෙව් ලකුණු 19කට කඩුලු 3ක්, අක්ෂාර් පටෙල් ලකුණු 23කට කඩුලු 3ක් සහ ජස්ෆිට් බුම්රාහ් ලකුණු 12කට කඩුලු 2ක් බිඳහෙළීය.

පන්දු යැවීමේදී ලකුණු 23කට කඩුලු 3ක් බිඳහෙලූ අක්ෂාර් පටෙල් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment