ලෝක කුසලාන දැල්පන්දු අවසන් 12 තෝරා ගැනේ – තේරීම් කමිටුවටත් බාධා

205

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සඳහා සහභාගිවන අවසන් ක්‍රීඩිකාවන් 12 දෙනා තෝරා ගැනීමේ පරීක්ෂණ අනුව චමුදි වික්‍රමරත්න, රුක්ෂලා හපුආරච්චි, තරුෂි නවෝද්‍යා සහ ඉමාෂා පෙරේරා යන ක්‍රීඩිකාවන්ට ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ වරම් අහිමිව ගොස් ඇත.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී එම ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ අවසන් පරීක්ෂණ ඊයේ (10 වැනිදා) පැවැති අතර දුලංගි වන්නිතිලක, මල්මි හෙට්ටිආරච්චි, ගයනි දිසානායක, චතුරංගි ජයසූරිය, ගයත්‍රි කෞෂල්‍යා, භාෂිණී ද සිල්වා, තිසාලා අල්ගම, සේමිණී අල්විස්, ශානිකා පෙරේරා, ගයංජලී අමරවංශ, රශ්මි දිව්‍යාංජලී යන ක්‍රීඩිකාවන් ලෝක කුසලාන තරඟාවලිය සඳහා තෝරා ගෙන ඇත.

ලෝක කුසලාන දැල්පන්දු අවසන් 12 තෝරා ගැනේ - තේරීම් කමිටුවටත් බාධා

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය මෙම වසරේ දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකාව සතු ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාව වන තර්ජිනී සිවලිංගම් තේරීම් තරග ක්‍රීඩා නොකරම සංචිතයේ ස්ථානයක් වෙන් කරගෙන තිබීම විශේෂ කාරණයකි.

යම් හෙයකින් ඇය තරගාවලියට ඉදිරිපත් නොවේ නම් අවසන් සංචිතයෙන් ඉවත් කෙරුණු ඉමාෂා පෙරේරා යන ක්‍රීඩිකාවට අවසන් 12 සංචිතයේ ස්ථානයක් වෙන් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව තර්ජිනී සහිතව සහ නොමැතිව ලෙස කණ්ඩායම් දෙකක් අවසන් සංචිතයට තෝරාගෙන ඇත.

දමයන්ති ජයතිලක මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ජාතික දැල්පන්දු තේරීම් කමිටුව විසින් මෙම තෝරා ගැනීම් සිදුකර තිබුණි.

කෙසේ වෙතත් දැල්පන්දු තේරීම් කමිටුව හෑල්ලුවට ලක්කරමින් ඔවුන් විභාගයක් ලියන ආකාරයට වෙන වෙනම මේස මත හිඳිමින් තේරීම් සිදුකරනු දක්නට ලැබිණි. ඒ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව ජාතික දැල්පන්දු තේරීම් කමිටුවට දැනුම් දී තිබුණු ආකාරයයි. තේරීම් කමිටු සාමාජිකයින් වන තිසංගනී කොඩිතුවක්කු සහ චාමිකා අපොන්සු යන මහත්මීන් එහිදී දැඩි අපහසුතාවට පත්වනු දැකගත හැකිවිය.

ඒ අනුව අදාළ තෝරාගැනීම් සමූහයක් ලෙස සිදු කිරීමට ඔවුන්ට පළමුව නොහැකි වූ අතර පසුව එක් එක් අය ක්‍රීඩිකාවන්ට ලබා දුන් ලකුණු එකතු කර තෝරා ගැනීම් සිදුකර තිබුණි.

ජාතික ක්‍රීඩා සංගමයක තේරීම් කමිටුවක් ස්වාධීනව වැඩකටයුතු කරගෙන යා යුතු වුවද දැල්පන්දු තේරීම් කමිටුවට අයිතිය අහිමි වී යෑම පිටුපස ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සිටින බවද වාර්තා වේ.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment