ලෝක කුසලාන දැල් පන්දු සංචිතය 16ක් දක්වා අඩු වේ

137

අවසන් ක්‍රීඩිකාවන් 12 තෝරා ගැනීම මැයි මස දී

මෙම වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන දැල් පන්දු තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා දැල් පන්දු සංචිතයට ක්‍රීඩිකාවන් 16 දෙනකු දක්වා අඩු කර තිබේ.

පසුගිය සිකුරාදා (17දා) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවති තේරීම් තරගවලින් ඔවුන් තෝරාගෙන ඇති අතර මෙම තේරීම් තරග දමයන්ති ජයතිලක මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ජාතික දැල්පන්දු තේරීම් කමිටුවේ මෙහෙයවීමෙන් පැවැත්විණි.

ඒ අනුව තෝරාගත් සංචිතය මේ වනවිට ජාතික පුහුණුකාරිනි තිලකා ජිනදාස මෙනවිය යටතේ පුහුණුවීම් සිදුකරන අතර, ලෝක කුසලානය සඳහා සහභාගි වන අවසන් ක්‍රීඩිකාවන් 12 දෙනාගේ සංචිතය එළඹෙන මැයි මස 03 වැනිදා තෝරාගැනීමට නියමිතයි.

දැල් පන්දු ලෝක කුසලානය මෙම වසරේ ජූලි මස 28 වැනිදා සිට අගෝස්තු මස 06 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හිදී ආරම්භ වීමට නියමිතය.

මෙම තේරීම් තරග සඳහා 20 දෙනකු සහභාගි වූ අතර, ඒ අනුව තේරීම් තරගවලදී හංසිමා දිසානායක, පාරමි කොඩිතුවක්කු, ඉෂානි මධුෂිකා යන ක්‍රීඩිකාවන්ට සංචිතයෙන් ඉවත්වීමට සිදුව තිබේ. දුලංජලී සුරවීර ක්‍රීඩිකාව මෙම තේරීම් තරග සඳහා සහභාගි නොවුණු අතර, ඒ අනුව ඇයට ද අවසන් ක්‍රීඩිකාවන් 16ට එකතු වීමට නොහැකි විය.

ශ්‍රී ලංකා හිටපු දැල් පන්දු නායිකාවක වන දමයන්ති ජයතිලකට අමතරව තිසංගනි කොඩිතුවක්කු සහ චාමිකා අපොන්සු යන නිලධාරීහු දැල්පන්දු තේරීම් කමිටුවට ඇතුළත්ව සිටිති.

මේ වනවිට ඔස්‌ට්‍රේලියාවේ සිට පුහුණුවීම් සිදුකරන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාව වන තර්ජිනී සිවලිංගම් මෙම තේරීම් තරගවලටද ඉදිරිපත්ව නොසිටි අතර, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ඉල්ලීම මත ඇයව සංචිතයට එක්කර තිබිණි.

තෝරාගත් 16 දෙනාගේ සංචිතය – තිසාලා අල්ගම, සේමිණී අල්විස්, ශානිකා පෙරේරා, ඉමාෂා පෙරේරා, ගයංජලී අමරවංශ, රශ්මි දිව්‍යාංජලී, රුක්ෂලා හපුආරච්චි, චමුදි වික්‍රමරත්න, දුලංගි වන්නිතිලක, මල්මි හෙට්ටිආරච්චි, තරුෂි නවෝද්‍යා, ගයනි දිසානායක, චතුරංගි ජයසූරිය, ගයාත්‍රි කෞෂල්‍යා, තර්ජනී සිවලිංගම්, භාෂිනි ද සිල්වා.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment