ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනට මැතිව්ස්ට ඉඩක් නෑ

628

වර්ෂ දෙකකට අධික කාලයක් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ස්ථානයක් අහිමිව පසුගිය මාර්තු මාසයේ යළි එක් දින ක්‍රිකට් පිටියට ප්‍රවේශව තරග තුනක් පමණක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට අයත් නොවන බව වාර්තා වේ.

ඇෆ්ගනිස්තානය සමග පැවති පළමු තරගය සඳහා මැතිව්ස් ක්‍රීඩා කළද දෙවැනි සහ තුන්වැනි තරග සඳහා ඔහු කණ්ඩායමට ඇතුළත් වූයේ නැත.

ඊට පෙර මැතිව්ස් ක්‍රීඩා කළ එක් දින තරගාවලිය වූයේ නවසීලන්තය ට එරෙහිව පැවැති තරගාවලිය වූ අතර එහිදී මැතිව්ස් ලබා ගත්තේ තරග දෙකක දී ලකුණු 18 ක් පමණි.

වසර දෙකකුත් දින 7 කින් පසුව එක් දින කණ්ඩායමේ ස්ථානයක් ලැබූ මැතිව්ස් එම පළමු තරගයේ ඕක්ලන්ඩ් හිදි ලකුණු 18 ක් ලබා ගත් අතර හැමිල්ටන් හි පැවති දෙවෙනි තරගයේ ලකුණු 0 කටත් අවසාන වශයෙන් හම්බන්තොට දී ඇෆ්ගනිස්තානය සමග පැවැති තරගයේදී ලකුණු 12කටත් දැවී ගියේය.

මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 221 කට සහභාගී වී ඇති මැතිව්ස් එහිදී වාර්තා කර ඇති ලකුණු සංඛ්‍යාව 5865 කි.

ඒ සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ඇෆ්ගනිස්තානය සමඟ පැවැති තරගාවලියේ දී අර්ධ ශතක දෙකක් වාර්තා කරමින් දස්කම් දැක්වූ දිමුත් කරුණාරත්න ඇතුළත් වන අතර සදීර සමරවික්‍රම ද එහි අවස්ථාවක් හිමිකර ගෙන තිබේ.

එමෙන්ම ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වුණු තරගාවලියේ දී තරග දෙකක් පමණක් ක්‍රීඩා කරමින් කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් වූ දුෂ්මන්ත චමීර මෙන්ම ඇෆ්ගනිස්තානය සමඟ පළමු එක්දින තරගයේ දී වනිඳුගේ අඩුව පිරවීමට කණ්ඩායමට එක් වූ දුශාන් හේමන්ත ද 15 දෙනාගේ සංචිතය සඳහා අයත් වෙති.

ඇෆ්ගනිස්තානය සමඟ පළමු තරගය ක්‍රීඩා කිරීමට අවකාශය නොලද වනිඳු හසරංග ද තරගාවලියේ ඉතිරි තරග දෙකේ දී කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් වූ අතර නිමා වූ අයිපීඑල් තරගාවලියේ දී පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූ මතීෂ පතිරණ ද මෙම සංචිතයේ ස්ථානයක් දිනාගෙන තිබේ.

කෙසේ වෙතත් කණ්ඩායමට පැමිණ නැවතත් ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් එළියට විසි වූ කුසල් ජනිත් පෙරේරාගේ ආබාධය තවමත් සුව අතට පත්ව නොමැති නිසා ඔහු ද මෙම කණ්ඩායමට අයත් නොවේ.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය ජුනි 10 වැනිදා සිම්බාබ්වේ වෙත පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය – දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුශාන් හේමන්ත, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, ලහිරු කුමාර, කසුන් රාජිත

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment