ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන්  – ශ්‍රී ලංකාවට  දරුණු පරාජයක්

377

පිතිකරුවන් දියත් කළ වගකීම් විරහිත සහ දියාරු පිතිකරණය හේතුවෙන් 2022 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය පරාජයකින් ඇරඹීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (16 වැනිදා) සිදුවිය. ඒ නැමීබියානු කණ්ඩායම හමුවේ ලකුණු 55ක ලජ්ජා සහගත තරග පරාජයක් අත්විඳිමිනි.

 ඔස්ටේ්‍රලියාවේ ජීලෝන් තණතීරුවේදී ලකුණු 164ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ඉනිම පන්දු වාර 19කදී මුළු ලකුණු 108කට සීමා කර දැමීමට නැමීබියානු පන්දු යවන්නෝ සමත්වූහ. ඒ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේදී ශ්‍රී ලංකාවට එරෙහිව සිය පළමු ජයග්‍රහණය වාර්තා කරමිනි. අයි.සී.සී සාමාජිකත්වය පවා ලබා නොමැති රටකට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ පළමු පරාජයද මෙය ලෙසින් වාර්තා පොත් අතරට එක්වීම කැපී පෙනුණි.

 පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කරමින් ඇරැඹි ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු 12දී පළමු කඩුල්ල ලෙසින් කුසල් මෙන්ඩිස් දවා ගැනීමට ඩේවිඩ් වීසේ සමත්විය. වීසේගේ පන්දුවකට එල්ල කළ පහරක් පිත්තේ උඩ දාරයේ වැදී ඉහළ ගිය පන්දුව කඩුලු රකින් සේන් ග්‍රීන් රැකගනිද්දී කුසල් මෙන්ඩිස් පන්දු 6කදී ලකුණු 6ක් ලබා සිටියේය.

 මෙන්ඩිස්ගේ දැවී යෑමෙන් අනතුරුව පැතුම් නිස්සංක සමගින් එක් වූ ධනංජය ද සිල්වා දෙවැනි කඩුල්ලට තවත් ලකුණු 9ක් පමණක් එක් කර තිබියදී පන්දුව අතට ගත් බෙන් ෂිකොන්ගෝ තමගේ පළමු පන්දු වාරයේ දෙවැනි පන්දුවේදී පැතුම් නිස්සංක දවා ගැනීමට සමත්වූයේ ශ්‍රී ලංකාව තවත් පීඩනයකට තල්ලු කරමිනි. ඉන් නොනැවතුණු ෂිකොන්ගෝ එම පන්දු වාරයේ ඊළඟ පන්දුවේදී ධනුෂ්ක ගුණතිලකගේ කඩුල්ල දවා ගත්තේ තමාගේ කුළුඳුල් කඩුලු ත්‍රිත්වයට පාර තනමිනි. ධනුෂ්කගේ දැවී යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා 4 වැනි කඩුල්ලට පිටියට පිවිසි භානුක රාජපක්ෂට එම හැටි්‍රක් පන්දුව එල්ල වෙද්දී පා ආවරණයේ වැදුණ එම පන්දුවෙන් භානුක අනූනමයෙන් බේරුණේ ශ්‍රී ලංකා පිතිකරුවෙන්ගේ ගෞරවය යාන්තම් රැකගනිමිනි.

 ශ්‍රී ලංකා ඉනිමේ 4 වැනි කඩුල්ල ලෙසින් ධනංජය ද සිල්වා ලකුණු 12කට පිටියෙන් ඉවත්වී ගියේ ජෙන් ෆ්‍රයිලින්ක්ගේ පන්දුවකට ෂිකොන්ගේ අතට උඩපන්දුවක් ලබා දෙමිනි. මුළු ලකුණු 40දී ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල අහිමි වීමෙන් අනතුරුව භානුක රාජපක්ෂ සහ නායක දසුන් ශානක පස්වැනි කඩුල්ලට 34ක් එක් කළේ ශ්‍රී ලංකාව් ජයග්‍රාහී බලාපොරොත්තු යාන්තම් ඉහළ දමමිනි.

 කෙසේ වෙතත් ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ දැමීමේ අරමුණින් හයේ පහරවල් එල්ල කිරීමට කිහිප විටක්ම උත්සාහ කළ භානුක ඒ සෑම විටකම අසාර්ථක වී ගියේය. බර්නාඩ් ස්කොල්ට්ස් ක්‍රියාත්හමක කළ ශ්‍රී ලංකා ඉනිමේ 10 වැනි පන්දු වාරයේ 3 වැනි පන්දුවට භානුක ඉදිරියට පැන එල්ල කළ පහර ඩිවාන් ලා කොක් උඩපන්දුවක් ලෙසින් රැකගැනීමත් සමගින් භානුකගේ ඉනිම ලකුණු 20කට සීම විය.

 ශ්‍රී ලංකා ඉනිමේ 13 වැනි පන්දු වාරයේ නායක දසුන් 8 වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් කර දැමීමට ජෙන් ෆ්‍රයිලින්ක් සමත්වූයේ තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම නැමීබියාවට හරවමිනි. දසුන් ශානක පන්දු 23කදී ලකුණු 29ක් ලබා ගැනීමට සමත්වූයේ එක් හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමගිනි. එය ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ වාර්තා වූ ඉහළම ලකුණු ගණන ලෙසින් සටහන් විය.

 ඊයේ තරගයට පෙර ජාත්‍යන්තර එක් ක්‍රිකට් තරගයක් පමණක් ක්‍රීඩා කර තිබූ ජීලොන් ක්‍රීඩාංගණයේ හයේ සීමාවට ඉහළින් පන්දුව යොමු කිරීමට නොහැකිව ශ්‍රී ලංකා පිතිකරුවන් 9 දෙනකුම නැමීබියානුවන් අතට උඩපන්දු ලබා දී දැවී යද්දී ශ්‍රී ලංකා ඉනිමේ එක් දුවද්දී දැවී යෑමක් පමණක් සටහන්විය.

 තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නයකයාගේ ආරාධනයෙන් පළමුවෙන් ඉනිම දියත් කළ නැමීබියානු පිතිකරුවෝ අවසන් පන්දු වාර 5 තුළදී පන්දු වාරයකට ලකුණු 10කට වඩා වැඩි වේගයකින් ලකුණු වාර්තා කිරීමට සමත්වීම මත පන්දු වාර 20 අවසානයේදී ලකුණු 163ක තර්ජනාත්මක ලකුණු පුවරුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නිර්මාණය කළේය.

 එහිදී පන්දු 28කදී ලකුණු 44ක් වාර්තා කිරීමට ජේන් ෆ්‍රයිලින්ක් සමත්වූයේ හතරේ පහර 4ක් සමගිනි. ජේජේ ස්මිත් පන්දු 16කදී නොදැවී හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 31 රැස් කළේය.

 සුදුසුකම් ලැබීමේ වටයේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි තරගය හෙට (18 වැනිදා) එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමගින් පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment