ලෝක තෙල් මිල අනුව මෙරට තෙල් රු. 100 කින් අඩු කළ හැකියි

227

පවතින මිල සූත්‍රයට අනුව සහ ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිලට සාපේක්‍ෂව මෙරට ඩීසල්, පෙට්‍රල් සහ භූමි තෙල් ලීටරයක මිල රුපියල් සියයකින් අඩුකළ හැකි බව තෙල්, වරාය, විදුලි, සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හා කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ‘දිවයින’ට (26දා) පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධනවලින් සියලු බදු හා ලාභ ගනිමින් මිල සූත්‍රයට අනුව මෙම අඩු කිරීම පසුගිය ජූලි මාසයේ සිට කළ හැකිව තිබුණත් එය අවස්ථා පහකදී මගහැරිය බවද හෙතෙම කියා සිටියේය.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 174 ක්, 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 65 ක්, භූමිතෙල් ලීටරයකින් රුපියල් 85 ක් වශයෙන් රජය ලාභ ලබන බවත් මෙම ඉන්ධන සඳහා බදු අය කරන්නෙ ලාභයට අමතරව බවත් ආනන්ද පාලිත මහතා පැවසීය.

පවතින මිල සූත්‍රයට අනුව යමින් අයි.ඕ.සී. සමාගම මෙරට ජනතා මුදල් ගසා කනවා. රජය ඒ සඳහා අනුග්‍රහය දක්වනවා. මේ පවතින මිල සූත්‍රය ඛනිජ තෙල් පනතට පටහැනියි. මිල නියාමන කොමිසමක් ඇති කිරීමෙන් ඉන්ධන මිල යාවත්කාලීන කළ හැකියි. එය කොළඹ වරායට එන ඉන්ධන ලීරයක සියලු වියදම් අනුව සැකසිය හැකියි. ඉන්ධන හරහා සිදුකරන සියලු ගසාකෑම්වලට තිත තැබිය හැකියි.

ජූලි මාසයට සාපේක්‍ෂව ලෝක වෙළෙඳපළේ ඉන්ධන බැරලයක මිල ඩොලර් 40 කින් පහළ ගිහින්. අද වනවිට ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 78 දක්වාත්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 86 දක්වාත් පහත වැටී තිබෙනවා. සති දෙකකට වරක් මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය සිදුකරන බව රජය පැවසුවත් එසේ කර නැහැ. සියලු ඉන්ධන මිල ගණන් ලීටරය රුපියල් සියයකින් අඩු කළොත් බස් ගාස්තුව පමණක් රුපියල් 20 කින් අඩුකළ හැකියි. ඊට සාපේක්‍ෂව අන් සියලුදේත් අඩු කළ හැකිව තිබෙනවා යැයිද ආනන්ද පාලිත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment