ලෝක තෙල්  මිල බැස්සත්  අපේ මිල  හිරවෙයි

244

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිලට සාපේක්‍ෂව තෙල් මිල පහළ දැමිය යුතු ප්‍රමාණ සකසා ඛනිජ තෙල් අමාත්‍යාංශය වෙත යොමු කළත් එය ඉහළින් අනුමත නොකිරීම නිසා මෙරට ඉන්ධන මිල පහළ දැමීමට නොහැකි වී ඇතැයි තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ ට පැවැසීය.

සති දෙකකට වරක් ‘ඉන්ධන මිල සූත්‍රය’ ට අනුව ඉකුත් මාස කිහිපයේ දී මෙම වාර්තා යැවූ බව ද හෙතෙම කීය.

ඉන්ධන ආනයනය කිරීමේ ක්‍රමවේදය සහ අදාළ ප්‍රීමියම් ගාස්තු, ප්‍රමාද ගාස්තු රක්‍ෂණ ගාස්තු ආදිය එකතුවූ පසු සිදුවන අතිවිශාල පාඩුව නිසා ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහළ යෑමේ වාසිය මෙරට ජනතාවට ලබාදීමට නොහැකිවී ඇතැය ිද හෙතෙම කීය.

2022 ජුනි මස ඉන්ධන මිල ගණන් ඉහළ දමමින් හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රයට අනුව දැනට වෙළෙඳ පොළේ අලෙවි කරන පෙට්‍රල්, ඩීසල් ඇතුළු ඉන්ධන ලීටරයක මිල රුපියල් 100කින් පමණ පහළ දැමීමට හැකියාව තිබෙන මුත් පෙරකී පාඩු නිසා රජය ඒ පිළිබද තීරණයක් නොගන්නවා විය හැකි යැයිද එම උසස් නිලධාරියා විශ්වාස පළ කළේය.

මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් තිබෙන ප්‍රමාණය මත බස් ගාස්තු, විදුලිබිල අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ඇතුළු සෑම දෙයකම මිල ගණන් ඉහළ ගොස් තිබෙන නිසා ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පහළයෑමේ වාසිය මෙරට ජනතාවට ලබාදීමට රජය තීරණයක් ගතයුතු බව ද හෙතෙම පැවැසීය.

ඉන්ධන මිල සූත්‍රය හඳුන්වාදුන් පසු ඉකුත් මැයි මස බොරතෙල් බැරලයක මිල ඩොලර් 130 සිට 135 ට වැඩිවූ විට මෙරට පෙට්‍රල් ලීටරයක් රුපියල් 80 කින් ද ඩීසල් ලීටරයක් රුපියල් 110 කින්ද ඉහළ දැමීය.

ජුලි මස 01 වැනිදා මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනයක් නොවූ අතර ජුලි 16 වැනිදා බොරතෙල් බැරලය 115 සිට රුපියල් 110 ට අඩුවීම සැලකිල්ලට ගෙන මෙරට ඉන්ධන ලීටරයක් රුපියල් 20 කින් පහළ දැමීය.

සැප්තැම්බර් 01 වැනිදා හෝ 15 වැනිදා මිල සංශෝධනයක් නොකළ අතර වර්තමානයේ ලෝක වෙළෙඳ පොළ මිල ගණන්වලට අනුව ඉහත කී පරිදි ඉන්ධන ලීටරයක මිල රුපියල් 100 කින් පමණ පහළ දැමිය යුතුව ඇතැයිද හෙතෙම කීය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment