ලෝක දේශපාලනය සහ අපේ කර්ම ශක්තිය

1596

යුකේ‍්‍රනයේ මේ දිනවල පවත්නා භයානක යුද්ධය මේ දිනවල රූපවාහිනිය සහ අන්තර්ජාලය ඔස්සේ බලාගත හැකිය. රුසියන් ජනාධිපති ව්ලදිමීර් පුතින් යුකේ‍්‍රනයට ගහන ගැහිල්ල සමාන වන්නේ බුල්ඩෝසර් යොදා කන්දක් පහත් කිරීමටය. එහිදී එම කන්දේ තිබෙන සියලූ මහ ගසුත්, පොඩි ගසුත්, තණ කොළත්, කඳ පණු ගැඩවිල් ආදී සත්තුත් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වෙති. රුසියාව මේ ගහන්නේ යුකේ‍්‍රනයට නොව ඇමරිකාවට බව අපට සිතේ. ගල්ෆ් යුද්ධයේදී සදාම් හුසේන් ඊශ‍්‍රායලයට පහර දුන්නේ මෙවැනිම පරමාර්ථයක් උදෙසාය. ඊශ‍්‍රායලය යනු ඇමරිකන් හිතවාදී රටකි. එරටට ගහන විට ඇමරිකාවට රිදෙයි. ගල්ෆ් යුද්ධයේදී ඇමරිකාව ඉරාකයේ ප‍්‍රධාන පළාත් වලට බෝම්බ දමන හැම වාරයකදීම ඉරාක ජනාධිපති සදාම් හුසේන් ඊශ‍්‍රායලයේ වැදගත් ගොඩනැගිල්ලකට ස්කඞ් මිසයිලයකින් පහර දුන්නේය. රුසියාවේ අර්ථ නිරූපණයට අනුව යුකේ‍්‍රනයද ඇමරිකන් හිතවාදී රටකි. ඒ නිසා ස්වකීය යුද බලය හා ආක‍්‍රමණික ප‍්‍රවේශය ඇමරිකාවට ප‍්‍රදර්ශනය කිරීම සඳහා රුසියාව විසින් යුකේ‍්‍රනයට පහර දෙනවා විය හැක. එසේම යුකේ‍්‍රනය යනු බටහිරටද හිතවාදී රටකි. ඔවුන් යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගත්තේත් නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට ඇප්ලිකේෂන් එකක් දැමුවේත් එකී බටහිර පේ‍්‍රමී චින්තනය නිසාය. එය ඔවුන්ගේ දේශපාලන අයිතියයි. එහෙත් නේටෝ අයැදුම්පත‍්‍රය සම්මත වීමට පෙර යුකේ‍්‍රනයට පහරදිය යුතු බව පුතින් තීරණය කළේය. එයට හේතුව මේ අයැදුම් පත‍්‍රය සම්මත වූ පසු නේටෝ යුද ආධාර යුකේ‍්‍රනයට ලැබීමට ඉඩ තිබීමය. එසේ වූයේ නම් වැඬේ අල ගොඩක් බවට පත්වන අතර සීමා සහිත තුන්වන ලෝක යුද්ධයක් හට ගැනීමට ඉඩ තිබිණ. දීර්ඝකාලීන යුද්ධයක් පවත්වාගෙන යෑමට රුසියාවට මුදල් නැත. දැනටත් මේ යුද්ධය සඳහා දවසකට පවුම් බිලියන පහළොවක් පමණ රුසියාවට වැයවේ. මේ යුද්ධය දවස් 10 ක් තිබුණොත් රුසියාවට වැයවන මුදල පවුම් බිලියන 150 කි. එබැවින් ඇමරිකාව සහ නේටෝ සංවිධානය යුද්ධයට ඈඳා ගන්නේ නැතිව උපක‍්‍රමශීලිව කටයුතු කිරීමට පුතින් පියවර ගෙන තිබේ. එම යුද්ධයේ ප‍්‍රතිඵලයක් වශයෙන් යුද අනාථයන් ලක්ෂ ගණනින් යුකේ‍්‍රනයෙන් පලා යෑමට තැත් කරන ආකාරය රූපවාහිනියෙන් දුටුවෙමු. ටයි කෝට් වලින් සැරසුණු සුදු උස මහත සශීක මිනිස්සු එබඳුම වර්ණවත් සහ වැදගත් ඇඳුම්වලින් ගත හැඩ කරගත් ගැහැනුන් හා ළමයින් සමග අලූත්ම බෑග් රැුගෙන දේශසීමා අසල පොරකන හැටි රූපවාහිනිය මගින් දර්ශනය විය. මේ දර්ශනය සහ 2009 ශ‍්‍රී ලංකාවේ පැවති අවසන් ඊළාම් සටනේදී වෙල්ලමුල්ලි වෛක්කාල් වෙත රැුස්වුණු දහස් ගණනක යුද අනාථයන්ගේ දර්ශනය මොහොතකට ගැලපීමට ඔබට පුළුවන්ද? කඩමාලූවලින් ඇඟ වසා නාවර පෙරාගෙන සිටි ඒ දුප්පත් මිනිස්සු සිලි සිලි බෑග්වල රෙදි කෑලි දෙක තුනක් දමාගෙන යුද හමුදාවේ පිහිට පතා වෙව්ලමින් බලා සිටියහ. මේ වූකලී ඇති නැති පරතරය පිළිබඳ යුද නිදර්ශනයයි. යුකේ‍්‍රනයේ දරුණු යුද්ධයක් පැවතුනත් එහි සිටින යුද අනාථයෝ ඉතා සශ‍්‍රීක මිනිස්සු වෙති. අපේ යුද අනාථයෝ අංක එකේ සිඟන්නෝය.

 යුකේ‍්‍රන් රුසියන් යුද්ධය නිසා ලංකාවට කෙලවෙන්නේ කෙසේදැයි බලමු. මේ යුද්ධය හේතුවෙන් පැති ගණනාවකින් අප නන්නත්තාර වීමට නියමිතය. මුලින්ම අපට කෙලවෙන්නේ තෙල් වලිනි. මේ යුද්ධය නිසා තෙල් බැරලයක් ඩොලර් 137 දක්වා මිල ඉහළ යෑමට ඉඩ ඇති බවට පුරෝකථනය වී තිබේ. මෙසේ මිල ඉහළ යන්නේ කොරෝනා කාලයේදී ඩොලර් 49 ට තිබූ අමු තෙල් බැරලයයි. ලෝකයේ කිසිම තැනක යුද්ධයක් නොතිබිලාත් අපේ රටේ තෙල් හිඟයක් පැවතුනි. එයට හේතුව තෙල් මිලට ගැනීමට විදේශ විනිමය නොතිබීමය. අපේ රටේ ලයිට් කැපිල්ල ක‍්‍රමයෙන් වැඩි වන්නේත් බස් දිවිල්ල 50% න් පමණ අඩු වීමට යන්නේත් තෙල් ප‍්‍රශ්නය නිසාය. එසේ තිබියදී අමු තෙල් බැරලයක් ඩොලර් 137 ට ගියවිට අපට සිදුවන්නේ රැට පහන් පත්තු නොකර ශිෂ්ටාචාරයේ මුල් යුගයට යන්නටය. ශ‍්‍රී ලංකාව නිපදවන තේවල සිව්වන තැන සිටින විදේශික ගැනුම්කරුවා යුකේ‍්‍රනයයි. එය 17% ක ප‍්‍රමාණයකි. සෙසු ගැනුම්කරුවන් ඉරාකය, ඉරානය සහ රුසියාව යුකේ‍්‍රනයට ඉහළින් සිටිති. ඊළඟට යුරෝපා සංගමය විසින් රුසියාවට එරෙහිව පනවා ඇති බැංකු ගනුදෙනු තහනම නිසාද අපට කරදර සිදුවීමට නියමිතය. ඒ අනුව යුකේ‍්‍රනයෙන් හා රුසියාවෙන් ලැබෙන්නට තිබෙන මුදලක්වත් අපට ලැබෙන්නේ නැත. ශ‍්‍රී ලංකාව කොරෝනාවෙන් පසු සංචාරක ව්‍යාපාරය පටන් ගත්තා පමණි. මේ වනවිටත් යුකේ‍්‍රන සංචාරකයන් 4000 ක් පමණ ශ‍්‍රී ලංකාවේ සිටිති. රුසියන් සංචාරකයන් ද එබඳුම ප‍්‍රමාණයක් මේ රටේ සිටින බව අපගේ විශ්වාසයයි. දැනට තිබෙන ලොකුම ප‍්‍රශ්නය වන්නේ මේ දෙගොල්ලොන්ටම සිය රට බලා යෑමට බැරි වීමය. ඒ සමගම යුද්ධය නිමා වී හොඳ කාලයක් ලබන තුරු මේ දෙරටින්ම මෙරටට සංචාරකයන් එන්නේ ද නැත. මේ අනුව අපට පහත සඳහන් තීරණයට එළඹීමට සිදුවේ. ලෝක දේශපාලනය තීරණය කර ඇත්තේ අපගේ කර්ම ශක්තිය විසිනි. අපට කෙළවෙන ආකාරයට සියලූම දේ සකස් වෙමින් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment