ලෝක මිල එහෙමයි අපේ බඩු මිල මෙහෙමයි

709

පසුගිය ඔක්තෝබර් 01 වැනිදා ප‍්‍රධාන සිදු වීම් දෙකක් සිදු විය. එනම් නිරෝධායන ඇඳිරි නීතිය අවසන්ව රට විවෘත වීම සහ මහ බැංකුව විසින් සයමාසික පෙර දැක්ම ප‍්‍රකාශයට පත් කිරීමයි. ඔක්තෝබර් 01 වැනිදා රට විවෘත වූයේ යම් යම් සීමාවන්ට යටත්වය. කොරෝනා අවදානම තවදුරටත් ක‍්‍රමයෙන් අඩු වීමත් සමග එම සීමාවන් ද ක‍්‍රමයෙන් ඉවත් කිරීමට රජය කටයුතු කරනු ඇත. මේ වන විට දිනකට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 20 ට අඩු මට්ටමක් දක්වා සහ වාර්තාවන ආසාදිතයින් ප‍්‍රමාණය 600 ට වඩා අඩු මට්ටමක් දක්වා සැලකිය යුතු ලෙස අඩු වී ඇත. කොරෝනා පළමු රැල්ල අප ඉතා සාර්ථකව පාලනය කරගත්ත ද ඉන් පසු දිගින් දිගටම රජය විසින් වෛද්‍ය අංශ කී පරිදි නිසි වෙලාවේ නිසි තීන්දු තීරණ නොගත් බවක් පෙනිණි. ඒ නිසා කොරෝනා වසංගතය සැලකිය යුතු ලෙස පැතිර ගිය බව ද අපට මතකය. එම තත්ත්වය වැඩි දින ගණනක් රට වසා තැබීමට සහ ඒ නිසාම වැඩි ආර්ථික හානියක් රටට සිදු වීමට ද හේතුවක් විය. මෙසේ වසංගතය පාලනය කිරීමේ පැත්තෙන් මෙන්ම ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ද නොයෙකුත් අඩුපාඩු අපට පෙනෙන්නට තිබේ. ලෝක වෙළෙඳපොළේ ද බඩු මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති නමුත් ජනයාට පසුගිය දිනවල සිට විශාල බඩු මිල ප‍්‍රශ්නයකට මුහුණ දීමට සිදුව ඇත. පොහොර ප‍්‍රශ්නය වඩාත් උග‍්‍ර වීමට අපේ අඩුපාඩු ද හේතු වී තිබේ. කෙසේ හෝ කොරෝනා වසංගතය සැලකිය යුතු ලෙස සමනය වී රට විවෘත වීමෙන් පසු රටේ ආර්ථික කටයුතු ක‍්‍රමයෙන් පණ ගැන්වෙමින් තිබේ.

මේ වසරේ (2021) දී කොරෝනා වසංගත තත්ත්වය සමනය වෙමින් ලෝකයේ විවිධ රටවල ආර්ථිකයන් මෙන්ම ලෝක ආර්ථිකය ද යථා තත්ත්වයට පත් වීමට නියමිතය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඔක්තෝබර් මස නවතම පුරෝකථනය අනුව ලෝක ආර්ථිකය මේ වසරේ (2021) දී සියයට 5.9 කින් සහ ලබන වසරේ (2022) දී සියයට 4.9 කින් ද වර්ධනය වීමට නියමිතය. එසේම සංවර්ධිත ආර්ථිකයන් මේ වසරේ (2021) දී සියයට 5.2 කින් හා ලබන වසරේ (2022 ) දී සියයට 4.5 කින් සහ නැගී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් මේ වසරේ (2021) දී සියයට 6.4 කින් හා ලබන වසරේ (2022) දී සියයට 5.1 කින් ද වර්ධනය වනු ඇතැයි ද පුරෝකථනය කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ ආර්ථිකය සඳහා සියයට 4කට වඩා අඩු ආර්ථික වර්ධනයක් පුරෝකථනය කර තිබුණත්, ශ‍්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරන්නේ අපේ ආර්ථිකය මේ වසරේ (2021) දී සියයට 5 කින් පමණ වර්ධනය වනු ඇති බවයි. ඒ බව පසුගියදා නිකුත් වූ මහ බැංකුවේ ඔක්තෝබර් මස මූල්‍ය ප‍්‍රතිපත්ති විවරණයේ මෙසේ සඳහන් වේ.

‘ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රකාශයට පත් කරන ලද දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු අනුව, 2021 වසරේ පළමු කාර්තුව තුළ දී වාර්තා වූ සියයට 4.3 ක වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයෙන් අනතුරුව ශ‍්‍රී ලංකා ආර්ථිකය 2021 වසරේ දෙවන කාර්තුව තුළ දී සියයට 12.3 ක වාර්ෂික ලක්ෂ්‍යමය මූර්ත වර්ධනයක් වාර්තා කරමින් වේගයෙන් යථා තත්ත්වයට පත් වීමක් පෙන්නුම් කළේය. කොවිඞ් – 19 ආශ‍්‍රිත සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ආර්ථික කටයුතු ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත් වීමත් සමග කොවිඞ් – 19 එන්නත් කිරීමේ වැඩසටහන සාර්ථකව ක‍්‍රියාත්මක කිරීම සහ ආර්ථික වර්ධනය සඳහා සහාය වන ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග හේතුවෙන් ඉදිරි කාලය තුළ දී ආර්ථික ක‍්‍රියාකාරිත්වය තිරසාරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. පවත්නා දර්ශක සහ පුරෝකථනවලට අනුව 2021 වසර තුළ දී මූර්ත ආර්ථිකය සියයට 5 කින් පමණ වර්ධනය වනු ඇති අතර රජය සහ ශ‍්‍රී ලංකා මහ බැංකුව ක‍්‍රියාත්මක කරමින් පවතින නුදුරුකාලීන ස්ථායිකරණ ක‍්‍රියාමාර්ග හේතුවෙන් මැදිකාලීනව ඉහළ සහ තිරසාර වර්ධන මාවතකට ආර්ථිකය ක‍්‍රමයෙන් ගමන් කරනු ඇත.’

ලෝක මිල එහෙමයි අපේ බඩු මිල මෙහෙමයි

මේ පළමු කාර්තු දෙකේ වර්ධනයන් අනුව දැනටමත් මේ වසරේ පළමු අර්ධය තුළ සියයට 8 ක ඉහළ ආර්ථික වර්ධනයක් අප වාර්තා කර ඇත. තුන් වන කාර්තුවේ ආර්ථික කටයුතුවලට කොරෝනා මර්දන ක‍්‍රියාමාර්ග නිසා බාධා ඇතිව තිබුණත් සිව්වන කාර්තුවේ දී සිදුවන ඉහළ ආර්ථික ක‍්‍රියාකාරිත්වය නිසා මහ බැංකුව කියන සියයට 5 ක ආර්ථික වර්ධනය අපට ලබා ගැනීමට හැකිවනු ඇත. කෙසේ වෙතත් ගිය වසරේ සියයට 3.6 කින් ආර්ථිකය පසුබෑමට ලක් වූ පදනම් බලපෑම ද මේ ඉහළ ආර්ථික වර්ධනයට බලපානු ඇත. මේ සමගම කිව යුත්තේ තවමත් කොරෝනා වසංගතය අවසන්ව නොමැති බවයි. මේ නිසා තවදුරටත් අප සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව ආරක්ෂිතව අපේ ආර්ථික සහ රැකියා කටයුතු කරමින් අපේ පුරවැසි වගකීම ද ඉටු කළ යුතුය. එවිට අපේ රට සහ අපේ ජනජීවිතය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්කරගත හැකි අතරම ආර්ථික කටයුතු ද වේගයෙන් පණ ගන්වා ගැනීමට ඉඩකඩ ලැබෙනු ඇත.

මේ දිනවල වඩාත්ම කතා බහට ලක්වන ප‍්‍රධානම කරුණු දෙක වන්නේ බඩු මිල ඉහළ යාම සහ රජයේ කාබනික පොහොර ප‍්‍රතිපත්තියයි. බඩු මිල ඉහළ යාමට ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන් ඉහළ යාම සහ නැව් ගාස්තු ඉහළ යාම ද සැලකිය යුතු ලෙස බලපා තිබේ. නැව් ගාස්තු ඉහළ යාම නිසා අපේ ආනයන වියදම් තවදුරටත් ඉහළ ගොස් තිබේ. එසේම තවදුරටත් ඉහළ යාම ද සිදු වීමට ඉඩ තිබේ. පසුගිය මහ බැංකු මාධ්‍ය හමුවේ දී ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා ද මේ

ගැන ඉදිරිපත් කිරීමක් කළේය. එයට අනුව මේ වසරේ මුල සිට ගිය සතිය දක්වා කාලයේ දේ බොරතෙල් මිල ගණන් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 51.34 සිට ඇමෙරිකානු ඩොලර් 83.27 දක්වා සියයට 62.2 කින් ද, එල් පී ගෑස් මිල ගණන් මෙටි‍්‍රක් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 457 සිට ඇමෙරිකානු ඩොලර් 797 දක්වා සියයට 74.4 කින් ද, ගල් අඟුරු මිල ගණන් මෙටි‍්‍රක් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 80.5 සිට ඇමෙරිකානු ඩොලර් 243.35 දක්වා සියයට 202.3 කින් සහ කිරිපිටි මිල ගණන් මෙටි‍්‍රක් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 3210 සිට ඇමෙරිකානු ඩොලර් 3749 දක්වා සියයට 16.8 කින් ද ඉහළ ගොස් තිබේ. එසේම ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ආහාර මිල දර්ශකය අනුව ධාන්‍ය, සීනි සහ කිරි ඇතුළු ආහාර ද්‍රව්‍ය බොහොමයක මිල ගණන් ද වැඩි වී ඇත. එසේ නම් ඒවා අප ආනයනය කරන විට අපට වැඩි මිලක් ගෙවීමට අනිවාර්යෙන්ම සිදු වේ.

මේ භාණ්ඩ බොහෝ දුරට අපට ගෙන ඒමට සිදු වන්නේ නෞකා මාර්ගයෙනි. මේ වන විට ගෝලීය භාණ්ඩ ප‍්‍රවාහන නෞකා ගාස්තු ද සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් අනයනය කරන භාණ්ඩවල ලෝක මිල ගණන් ඉහළ යෑමට අමතරව මේ ප‍්‍රවාහන පිරිවැය ඉහළ යාම ද ඊට එකතු වනු ඇත. එම භාණ්ඩ මෙරටට ගෙන්වා කිසියම් ලාභයක් ද තබාගෙන විකිණීමට නම් අනිවාර්යෙන්ම භාණ්ඩ මිල වැඩි කිරීමට සිදුවේ. මේ පසුබිම තුළ ලෝකයේ සියලූම රටවල්වලට පාහේ ආනයනික භාණ්ඩ මිල ගණන් ඉහළ යාමේ තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇත. භාණ්ඩ ආනයනය වෙනුවෙන් මෙසේ වෙනදාට වැඩි අතිරේක ප‍්‍රවාහන පිරිවැයක් ද දැරීමට සිදුවීම මෙයට බලපා ඇත. මේ යථාර්ථය අපට අකැමැත්තෙන් වුවත් පිළිගැනීමට සිදු වේ. පසුගිය කාලයේ දී මෙරට ආනයනික කිරිපිටි මිල ඉහළ යාමට මේ නැව් ගාස්තු වැඩි වීම ද සෘජුව බලපෑ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා මාධ්‍යයට කියා තිබුණි. නැව් ගාස්තු තුන්ගුණයකින් වැඩිවෙලා තියෙන බවත් කිරිපිටි මිල ඉහළ දැමීමට මේ සාධකයත් බලපා ඇති බවත් ඔහු පවසා තිබුණි. මෙම විෂය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයකු වන කොළඹ නාවික ඇකඩමියේ ප‍්‍රධාන විධායක නිලධාරී රොහාන් මාස්කෝරාල මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍යයට පවසා තිබුණේ මෙය ගෝලීය සැපයුම්දාමයේ ඇති වී තිබෙන ඉහළ ඉල්ලූම් තත්ත්වය හේතුවෙන් පැන නැගී ඇති තත්ත්වයක් බවයි. මෙය අපට පමණක් නොව බි‍්‍රතාන්‍ය, ඇමරිකාව, ඔස්ටේ‍්‍රලියාව වැනි ලෝකයේ සෑම රටකටම බලපා ඇති බවත් කොවිඞ් -19 වසංගතයත් සමඟ සැපයුම් ජාලයේ බිඳවැටීම් තිබෙන බවත් ඔහු සඳහන් කර තිබුණි. බටහිර රටවල ආර්ථිකයන්

වේගයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබීමත් සමග එම රටවල පාරිභෝගිකයන්ගේ භාණ්ඩවලට තිබෙන ඉල්ලූම වැඩි වී තිබේ. පසුගිය වසංගත සමයේ ඔවුන් අත තිබු මුදල් එතරම් වියදම් වූයේ නැත. එහෙත් ඔවුන්ගේ එම මුදල් මේ නව සාමාන්‍ය තත්ත්වය උදා වීමත් සමග ඒ අය වියදම් කිරීමට පටන් ගෙන ඇත. ඒ නිසා එම රටවල ජනයා භාණ්ඩවලට කරන ඉල්ලූම වැඩිවීම හමුවේ භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවලට ඇති ඉල්ලූම වැඩිවී ඇති අතර එම තත්ත්වය ඒවායේ ධාරිතාවට ද බලපා ඇති බව වාර්තා වේ. මේ තත්ත්වය තවත් කාලයක් පැවතීමට ඉඩ ඇති බව මේ විෂය ගැන විශේෂඥයින් පවසන කරුණකි. මේ නිසා නෞකා ගාස්තු වැඩි වීම ඉක්මනින් අඩුවනු ඇතැයි ද සිතිය නොහැකිය. එසේම කාලයක් ගියත් කොවිඞ්වලට පෙර තිබුණු මට්ටමට නැව් ගාස්තු නැවත අඩුවීමක් ද අපේක්ෂා කළ නොහැකිය.

අප ආනයනික භාණ්ඩ පරිභෝජනය කරනවා නම් මේ මිල ඉහළ යාමේ තත්ත්වයට මුහුණ දීමට සිදුවීම වැළක්විය නොහැකිය. වැඩි මිලට ගෙනත් අඩු මිලට දීමට නම් ආනයනකරුවන්ට හෝ රජයට පාඩු විඳීමට සිදුවේ. පුද්ගලික ආනයනකරුවන්ට පාඩු විඳීමට නොහැකි නිසා ඔවුන් කරන්නේ එම මිල වැඩි වූ භාණ්ඩ ආනයනය කිරීමෙන් වැළකී සිටීමයි. පසුගිය දිනවල කිරිපිටි හිඟයක් ඇති වූයේ මේ නිසාය. අප බරපතල ලෙස ඩොලර් ප‍්‍රශ්නයක ද මුහුණ දී සිටින නිසා අපනයනවලට බලපාන ආනයන සහ ඛනිජ තෙල් හා ගෑස් වැනි අත්‍යවශ්‍ය ආනයන හැර අනෙකුත් ආනයන හැකිතාක් සීමා කිරීම තවදුරටත් අවශ්‍ය වනු ඇත. ඛනිජ තෙල්වලට අපට වෙන විකල්පයක් නැති බව ඇත්තය. එහෙත් අපට ඛනිජ තෙල් භාවිතය ද කිසියම් උපරිම මට්ටමකට සීමා කරගත හැකිය. ඒ සඳහා හැකිතාක් පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන්ට අපට යොමු විය හැකිය. ඒ සඳහා අප කඩිනමින් යොමු විය යුතුමය. අපට බහුලව තිබෙන සූර්ය බලයෙන් අප හැකිතාක් ප‍්‍රයෝජන ගත යුතු වේ. අනෙක් භාණ්ඩ සම්බන්ධයෙන් අප හැකිතාක් ආනයන ආදේශනවලට යොමු වෙමින් මේ අමාරු අවස්ථාවේ අපගේ පරිභෝජන රටාවේ ද යම් යම් වෙනස්කම් ඇති කර ගැනීම අවශ්‍ය දෙයකි. වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ සැපයුම් සහ ඉල්ලූම් නොගැලපීම් සහ පෙර වසරේ (2020) පැවති අඩු මිල මට්ටම්වලට සාපේක්ෂව වෙළඳ භාණ්ඩ මිල ගණන් ඉහළ යාම පිළිබිඹු කරමින් බොහෝ රටවල පාරිභෝගික මිල උද්ධමනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ඔක්තෝබර් මස මහ බැංකුවේ මූලය ප‍්‍රතිපත්ති විවරණයේ ද සඳහන් වේ. එසේම කාබනික පොහොර ප‍්‍රතිපත්තියකට වහාම රජය යොමු වීම නිසා පිටරටින් ගෙන්වන භාණ්ඩවල පමණක් නොව අපේ දේශීය කෘෂිකාර්මික භාණ්ඩවල සැපයුමට මේ වසරේ බරපතල බලපෑමක් සිදු වීමට ඉඩ තිබේ. මේ හේතුවෙන් මෙරට නිපදවන ආහාර ද්‍රව්‍යවල පවා නිෂ්පාදනයේ අඩු වීමක් සිදු වී ඒවායේ මිල ඉහළ යාමට ද ඉඩ තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment