ලෝක වාර්තා තැබූ පැරාලිම්පික් ශූරයා අද දිවයිනට…. පිළිගැනීමට ඇමති නාමල් ගුවන් තොටුපළට

325

ටෝකියෝ පැරාලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් පිහිටුවමින් ශ‍්‍රී ලංකාවට පළමු පැරාලිම්පික් රන් පදක්කම ලබා දුන් දිනෙෂ් ප‍්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් සමිත දුලාන් කොඩිතුවක්කු ඇතුළු ශ‍්‍රී ලංකා පැරාලිම්පික් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අද (07 වෙනිදා* පස්වරුවේ කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පා තැබීමට නියමිතය.

ශ‍්‍රී ලංකා නාමය ලෝකය ඉදිරියේ බබළවන්නට සමත්වූ දිනේෂ් ප‍්‍රියන්ත ඇතුළු එම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිළිගැනීම තරුණ කටයුතු හා ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු වෙන අතර ක‍්‍රීඩා අමාත්‍යංශ ලේකම් අනුරාධ විජේකෝන් සහ ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරුන් ද ක‍්‍රීඩා අමාත්‍යංශ නියෝජනය කරමින් එම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

එමෙන්ම ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව නියෝජනය කරමින් ඉහළ නිලධාරීන් කීපදෙනෙක්ද, පැරාලිම්පික් තේරීම් කමිටු සාමාජිකයන් කීප දෙනෙක්ද රතු පලස මතින් මව්බිමට පැමිණෙන මේ ක‍්‍රීඩා ශූරයින් පිළිගැනීම සඳහා පැවැත්වෙන උත්සවයට සහභාගී වීමට නියමිතය.

ලෝක වාර්තා තැබූ පැරාලිම්පික් ශූරයා අද දිවයිනට.... පිළිගැනීමට ඇමති නාමල් ගුවන් තොටුපළට

දිනේෂ් ප‍්‍රියන්ත ඇතුළු ක‍්‍රීඩකයින් පිළිගැනීම සඳහා පැවැත්වෙන එම උත්සවයේ මාධ්‍ය ආවරණ කටයුතු ක‍්‍රීඩා අමාත්‍යංශ විසින් සිදුකරනු ලබන අතර පිළිගැනීමේ උත්සවයෙන් පසුව අදාල ක‍්‍රීඩකයන්, පුහුණුකරුවන් හා නිලධාරීන් නිරෝධායනය පිණිස මීගමු හෝටලයකට යොමු කිරීමට කටයුතු යොදා ඇත.

දිනේෂ් ප‍්‍රියන්ත ඇතුළු ක‍්‍රීඩකයන් හය දෙනෙක්, පුහුණුකරුවන් තිදෙනෙක් සහ නිලධාරීන් හතර දෙනෙක් අද දිවයිනට පැමිණෙන පැරාලිම්පික් ජකණ්ඩායම නියෝජනය කරනු ලබන අතර අනෙක් ක‍්‍රීඩකයින් සහ පුහුණුකරුවන් පෙරේදා (05වෙනිදා* ශ‍්‍රී ලංකාවට පැමිණියහ.

දිනෙෂ් ප‍්‍රියන්ත ප‍්‍රමුඛ ක‍්‍රීඩකයින් සඳහා උපහාර පිදීමේ රාජ්‍ය උත්සවය ඔවුන්ගේ නිරෝධායන කටයුතු අවසන් වීමෙන් පසුව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ක‍්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී හෙල්ල විසිකිරිම ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ දිනේෂ් ප‍්‍රියන්තට රුපියල් කෝටි පහක තෑගි මුදලක් ද, ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් කොඩිතුවක්කු ක‍්‍රීඩකයාට රුපියල් කෝටි දෙකක තෑගි මුදලක් ද, ඔවුන් දෙදෙනාගේම පුහුණුකරු වූ ප‍්‍රදීප් නිශාන්ත මහතාට රුපියල් එක් කෝටි හැත්තෑපන් ලක්ෂයක මුදලක් ද ක‍්‍රීඩා අමාත්‍යංශය මඟින් ලබා දීමට සැලසුම් කර ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment