ලෝක වෙළෙඳ පොළේ මිල අඩු වෙලාවේ මෙරට තෙල් මිල වැඩිවීම කනගාටුවක් – දයාසිරි ජයසේකර

161

ලෝක වෙළඳපොළේ මිල අඩු අවස්ථාවක මෙරට තෙල් මිල වැඩි කිරීමට සිදුවීම ගැන කනගාටු වන බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා ‘දිවයින’ට කීය.

කෙසේ වෙතත් මෙම ප‍්‍රශ්නයට රටක් ලෙස මුහුණ දී විසඳුම් සෙවීමට සිදුවන බවද හෙතෙම පැවසීය.

‘‘තෙල් සංස්ථාව පසුගිය කාලයේ දිගින් දිගටම පාඩු ලැබුවා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පසුගිය කාලයේ බැරලයක් ඩොලර් 70, 80 දක්වා වැඩිවුණා. ඒත් ඒ කාලයේ ආණ්ඩුව මිල ඉහළ දමන්නේ නැතුව අල්ලගෙන හිටියා. හැබැයි දැන් තෙල් බැරලයක මිල අඩුවීමක් තමයි දක්නට ලැබෙන්නේ. දැන් ඉතින් තෙල් මිල වැඩි කළාම ජනතාවගෙන් බැණුම් අහන්නයි වෙලා තිබෙන්නේ. හරිනම් පසුගිය කාලයේ වැඩිවූ අවස්ථාවේම මිල වැඩි කරන්නයි තිබුණේ.

දැන් කියන්නේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුයි අපේ වැඩියි කියලයි. මංගල සමරවීර මහතාගේ තෙල් මිල සූත‍්‍රය තිබුණා නම් ඇත්තටම මෙහෙම ප‍්‍රශ්නයක් එන්නේ නෑ. මේ මිල වැඩිවීමත් එක්ක බඩු මිල තවත් ඉහළ යනවා. අපේ රටේ තිබෙන ප‍්‍රශ්නත් එක්ක මේ වැඩි කිරීම දරා ගන්න ජනතාවට අමාරුයි. මිල වැඩි කරලාත් බෑ. නොකරත් බැරි තත්ත්වයකයි ආණ්ඩුවත් ඉන්නේ.

විවේචන විතරක්ම කරනවා නොවෙයි. රටත් විශාල මූල්‍ය ප‍්‍රශ්නයකයි ඉන්නේ. මේක විෂම චක‍්‍රයක්. කොහොම වුණත් ජීවන වියදම වැඩිවීම ගැන නම් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට කනගාටුවක් තිබෙන්නේ, මේක අර්බුද රැුසක ප‍්‍රතිඵලයක්. රටක් විදිහට මීට මුහුණ දෙන්න වෙනවා. මේක එක තැනකින් විතරක් කතා කරලා බේර ගන්න පුළුවන් ප‍්‍රශ්නයක් නොවෙයි’’ යැයි ද රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment