ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියට කී‍්‍රඩකයන් තේරීමේ අවසන් පරීක්ෂණය හෙට

525

ලබන අගෝස්තු මස කෙන්යාවේ දී ක‍්‍රියාත්මක කෙරෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි කරවන ශ‍්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ අවසන් පරීක්ෂණ තරගය හෙට (27) කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පෙරවරු 09.00 ට ආරම්භ කෙරෙන මෙම  තෝරාගැනීමේ පරීක්ෂණය පස්වරු 04:30 දක්වා පැවැත්වීමට සංවිධායකයන් වන ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලනය පියවර ගෙන තිබේ.

පිරිමි ඉසව් 12 ක සහ කාන්තා ඉසව් 09 ක දක්ෂයන් මෙදින පරීක්ෂණය ආශ‍්‍රිතව තෝරා ගැනීමට නියමිත බව ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලන ලේකම් පේ‍්‍රමා පින්නවල මහතා අනාවරණය කර සිටී.

ජවන ඉසව් 06 කින් සහ පිටිය ඉසව් 06 කින් පිරිමි පරීක්ෂණය සමන්විත වන අතර ජවන ඉසව් 05 කින් සහ පිටිය ඉසව් 04 කින් දක්ෂයන් තෝරාගැනීම කාන්තා පරීක්ෂණය ආශ‍්‍රිතව සිදු කෙරේ. ඒ සඳහා කැඳවා ඇති ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සංඛ්‍යාව 172 කි.

ලෝක ශුරතා කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලිය වයස අවුරුදු 20 න් පහළ වයස් සීමාව යටතේ ක‍්‍රියාත්මක කෙරේ.

මීටර් 100 (පිරිමි සහ කාන්තා), මීටර් 200 (පිරිමි සහ කාන්තා), මීටර් 400 (පිරිමි සහ කාන්තා), මීටර් 800 (පිරිමි සහ කාන්තා), මීටර් 100 කඩුළු මතින් දිවීම (කාන්තා), මීටර් 110 කඩුලූ මතින් දිවීම (පිරිමි), මීටර් 400 කඩුලූ මතින් දිවීම (පිරිමි සහ කාන්තා), උස පැනීම (පිරිමි සහ කාන්තා), දුර පැනීම (පිරිමි සහ කාන්තා), තුන්පිම්ම (පිරිමි සහ කාන්තා), හෙල්ල විසි කිරීම (පිරිමි සහ කාන්තා) සහ යගුලිය දැමීම (කාන්තා) යන ඉසව් ආශ‍්‍රිතව මෙම අවසන් තේරීම් පරීක්ෂණය පැවැත්වේ.

මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලයේ ඉසුරු කෞශල්‍ය (පිරිමි මීටර් 400), ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ශානිකා ලක්ෂාණී (කාන්තා මීටර් 800), වලල ඒ, රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ තරුෂි කරුණාරත්න (කාන්තා මීටර් 800) සහ කොළඹ ලූම්බිණි විද්‍යාලයේ මේධානි ජයමාන්න (කාන්තා මීටර් 200) යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සිව් දෙනා මෙවර ලෝක කනිෂ්ඨ ශූරතා තරගාවලියට දැනටමත් සුදුසුකම් ලබා සිටීම කැපී පෙනේ.

ඉසව් 44 කින් සැදුම්ලත් වන මෙවර ලෝක කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලිය එළඹෙන අගෝස්තු මස 17 දින සිට 22 දින දක්වා කෙන්යාවේ නයිරෝබි අගනුවර පිහිටි නයායෝ ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත් වීමට අන්තර්ජාතික මලල ක‍්‍රීඩා සම්මේලනය පියවර ගෙන තිබේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment