ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියට කී‍්‍රඩකයන් තෝරති

361

ලබන අගෝස්තු මස කෙන්යාවේ නයිරෝබි අගනුවර දී ක‍්‍රියාත්මක කෙරෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලිය සඳහා  සහභාගි කරවන ශ‍්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ අවසන් පරීක්ෂණ තරගය ජුලි 27 දින (අඟහරුවාදා) කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනයේදී පැවැත්වේ.

මෙම පරීක්ෂණ තරගය සඳහා ඉසව් කිහිපයක් පමණක් තෝරා ගැනීමට සිදු වූ බව ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය නිවේදනය කර සිටින්නේ පවතින කොවිඞ් වසංගත තත්ත්වය මත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ තරග නිලධාරීන් ආරක්ෂා කර ගැනීම අරමුණු කරගෙනය.

ලෝක ශුරතා කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලිය වයස අවුරුදු 20 න් පහළ වයස් සීමාව යටතේ ක‍්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා 2002 ජනවාරි මස 01 හෝ ඊට පසු උපත ලද දක්ෂතා සපිරි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පමණක් සහභාගි විය හැකි බව අන්තර්ජාතික මලල ක‍්‍රීඩා සම්මේලනය නිවේදනය කර සිටී.

ඒ අනුව යමින් සංවිධානය කර ඇති මෙරට අවසන් තේරීම් පරීක්ෂණය සඳහා ද අදාළ වයස් සීමාවේ පසුවෙන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පමණක්

සහභාගි කරවා ගැනීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලනය බලාපොරොත්තු වේ.

මීටර් 100 (පිරිමි සහ කාන්තා), මීටර් 200 (පිරිමි සහ කාන්තා), මීටර් 400 (පිරිමි සහ කාන්තා), මීටර් 800 (පිරිමි සහ කාන්තා), මීටර් 100 කඩුළු මතින් දිවීම (කාන්තා), මීටර් 110 කඩුලූ මතින් දිවීම (පිරිමි), මීටර් 400 කඩුලූ මතින් දිවීම (පිරිමි සහ කාන්තා), උස පැනීම (පිරිමි සහ කාන්තා), දුර පැනීම (පිරිමි සහ කාන්තා), තුන්පිම්ම (පිරිමි සහ කාන්තා), හෙල්ල විසි කිරීම (පිරිමි සහ කාන්තා) සහ යගුලිය දැමීම (කාන්තා) යන ඉසව් ආශ‍්‍රිතව මෙම අවසන් තේරීම් පරීක්ෂණය පැවැත්වේ.

2019.08.01 සිට 2021.06.30 කාල සීමාව තුළ ප‍්‍රදර්ශනය කළ දක්ෂතා පදනම් කරගනිමින් මෙරට ක‍්‍රීඩික ක‍්‍රීඩිකාවන් සිව් දෙනෙකු මෙවර ලෝක ශුරතා කනිෂ්ඨ තරගාවලිය නියෝජනය කිරීම සඳහා දැනටමත් සුදුසුකම් ලබා ගෙන සිටීම කැපී පෙනේ.

මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලයේ ඉසුරු කෞශල්‍ය (පිරිමි මීටර් 400), ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ ශානිකා ලක්ෂාණී (කාන්තා මීටර් 800), වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ තරුෂි කරුණාරත්න (කාන්තා මීටර් 800) සහ කොළඹ ලූම්බිණි විද්‍යාලයේ මේධානි ජයමාන්න (කාන්තා මීටර් 200) එම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ වෙති.

මෙවර ලෝක කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලිය එළඹෙන අගෝස්තු මස 17 දින සිට 22 දින දක්වා කෙන්යාවේ නයිරෝබි අගනුවර පිහිටි නයායෝ ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට අන්තර්ජාතික මලල ක‍්‍රීඩා සම්මේලනය පියවර ගෙන තිබේ. එයට ඇතුළත් තරග ඉසව් සංඛ්‍යාව 44 කි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment