ලෝක ශූරයෝ ආසියානු ශූරයන් පරදවති: ස්ටොයිනිස්ගෙන් වාර්තාවක්  

309

පළමු තරඟයේදී නවසීලන්තය හමුවේ පරාජය වුවද තවමත් ලෝක ශූරයන් යනු තමන් යැයි ලොවට කියා පෑ ඔස්‌ට්‍රේලියානු ක්‍රීඩකයෝ පර්ත් හි ඊයේ (25දා) පැවැති ශ්‍රී ලංකාව සහ ඔස්‌ට්‍රේලියාව අතර තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්හ.

ඔස්‌ට්‍රේලියානු පිතිකරුවෙකු පන්දු වාර 20-20 තරගයකදී ලබාගත් වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරමින් ඔස්‌ට්‍රේලියානු ජය තහවුරු කිරීමට සිය දායකත්වය දැක්වූ මාකස් ස්ටොයිනිස් එම අර්ධ ශතකය පන්දු දාහතකින් රැස් කිරීමට සමත් වූයේය. පන්දු 18කදී සිය ඉනිමට හයේ පහර හයක් සහ හතරේ පහර හතරක් එල්ල කිරීමට ඔහු සමත් වූ අතර එම අර්ධ ශතකය ලෝක කුසලාන ක්‍රිකට් තරගයක දෙවැනි වේගවත්ම අර්ධ ශතකය ද වේ.

නායක ඇරෝන් ෆින්ච් නොදැවී ලකුණු 31ක් ලබා ගනිමින් ඉනිම අවසානය වන තෙක් කඩුල්ලේ රැඳී සිටියේය. තරගයේ වීරයා සම්මානයද මාකස් ස්ටොයිනිස් ට හිමි විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 157ක් ලබා ගත් අතර ඔසටේ්‍රලියාව පන්දු වාර 16. 3කදී එම ඉලක්කය පසු කර ගියේය. මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය එතරම් සාර්ථක එකක් නොවීය. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස පෙරමුණ ගෙන සිටි ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු 5කට පිටියෙන් ඉවත් කරමින් ප්‍රතිවාදීන් වෙත පීඩනය එන්න එන්නම වැඩි කිරීමට ඔස්‌ට්‍රේලියානු ආරම්භක පන්දු යවන්නෝ සමත් වූහ. එම පීඩනය කොතරම් ප්‍රබල වූයේ ද යත් පළමු පන්දුවාර 5 අවසානයේ ශ්‍රී ලංකා පිතිකරුවන් රැස්කර ගෙන තිබුණේ එක් කඩුල්ලක් දැවී ලකුණු 25 ක් පමණි.

ඔස්‌ට්‍රේලියානු පන්දු යවන්නන්ගෙන් එල්ල වූ එම පීඩනය මධ්‍යයේ කඩුලු නොවැටී සිය අන්තයන් ආරක්ෂා කර ගෙන ක්‍රම ක්‍රමයෙන් ලකුණු කරා යෑමට පැතුම් නිශ්ශංක සහ ධනංජය ද සිල්වා කටයුතු කළහ. පළමු පන්දුවාර 10 අවසන් වන තෙක් තම අන්තයන් ආරක්ෂා කරගෙන සිටි ඔවුහු එම කඩඉම නිමාවන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 63ක් දක්වා ඉහළට ගෙන ආහ.

12 වැනි පන්දු වාරයේදී ධනංජය ද සිල්වා ලකුණු 26 කට දවා ගැනීමට දඟ පන්දු යවන ක්‍රීඩක ඇස්ටන් අගාර් සමත් වූයේය. ඉන් අනතුරුව මිචෙල් මාෂ් විසින් ක්‍රියාත්මක කරන ලද පන්දු වාරයේදී ලබා දුන් උඩ පන්දුවකින් බේරුණද නොතිබුණු ලකුණක් කරා දිව යෑමට උත්සාහ කිරීම මත ඊළඟ පන්දු වාරයේදී දුවද්දී දැවී යාමට පැතුම් නිශ්ශංකට සිදු විය. පන්දු 45කට මුහුණ දුන් පැතුම් නිශ්ශංක ලකුණු 40ක් රැස්කර ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේය.

මෙම තරගාවලියට පෙර අසාර්ථකව සිටි චරිත් අසලංක පසුගිය තරග දෙකේදී සාර්ථක වූ අතර මෙම තරගයේදී ද සාර්ථක වෙමින් ශ්‍රී ලංකාවට ලකුණු 150 කඩඉම ඉක්මවා යෑමේ නියමුවා බවට පත් වූයේය.

පන්දු 25ක් තුළදී නොදැවී වේගවත් ලකුණු 38ක් ලබාගත් අසලංක ඒ සඳහා හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් එල්ල කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවමිනි. සෙසු මැද පෙළ සහ අවසන් පෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යද්දී චරිත් අසලංක සහ චාමික කරුණාරත්න දෙදෙනා අවසන් පන්දු 15 තුළදී ලකුණු 37ක් කණ්ඩායමට එක් කර දීමට සමත් වූහ.

චාමික කරුණාරත්න පන්දු 7කදී නොදැවී ලකුණු 14ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාර 10 තුළදී ලකුණු 94ක් ලබා ගත්තේය.

ලකුණ 158ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඔස්‌ට්‍රේලියා ආරම්භක පිතිකරුවන් අතරින් ඩේවිඩ් වෝනර්ගේ කඩුල්ල තරඟයේ තමා යැවූ පළමු පන්දුවේ දීම දවා ගැනීමට දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණට හැකි විය. පවර් ප්ලේ අවස්ථාව නිමාවන විට කණ්ඩායම් දෙකම එක් කඩුල්ලක් දැවී ලකුණු 33 ක් ලබා සිටි අතර වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු පන්දු පහක් පමණක් ක්‍රියාත්මක කර ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වීම ශ්‍රී ලංකාවට පාඩුවක් විය.

මිචෙල් මාෂ්ගේ කඩුල්ල ලකුණු 17කට දවා
ගැනීමට ධනංජය ද සිල්වා සමත් වූ අතර ශ්‍රී ලංකාවේ ප්‍රධානම දඟ පන්දු බලාපොරොත්තු වූ වනිඳු හසරංගගේ පන්දු වාර තුනට ලකුණු 53ක්
ලබාගැනීමට ඔස්‌ට්‍රේලියානු පිතිකරුවෝ සමත් වූහ.

එහිදී වනිඳුට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් වූ ග්ලේන් මැක්ස්වල් සිය පළමු පන්දු 6 තුළදී ලකුණු 22ක් රැස් කර ගැනීමට සමත්ව සිටියේය.

පළමු පන්දුවාර 10 අවසාන වනවිට ඒ සමගම ලකුණු 85 කරා ලකුණු පුවරුව ඉහළ දැමීමට ඔස්‌ට්‍රේලියාව සමත් විය.

එහෙත් ඊළඟ පන්දුවාර 3 නිමාවන විට ඔස්‌ට්‍රේලියා ලකුණු පුවරුව කඩුලු 3ක් දැවී ලකුණු 97ක් ලෙස දිස් විය.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ග්ලේන් මැක්ස්වල්ගේ කඩුල්ල චාමික කරුණාරත්න විසින් වේගය අඩාල කර යවන ලද පන්දුවකින් දවා ගැනීමට සමත් වූ අතර එහිදී අතිවිශිෂ්ට උඩ පන්දුවක් රැක
ගැනීමට ඩීෆ් මිඩ්විකට් හි හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි අශේන් බණ්ඩාර සමත් වූයේය.

ලකුණු සාරාංශය
ශ්‍රී ලංකාව

157/8 (20) – පැතුම් නිශ්ශංක 40, චරිත් අසලංක නොදැවී 38, ධනංජය ද සිල්වා 26, චාමික කරුණාරත්න නොදැවී 14

පන්දු යැවීම – ජොස් හෙස්ල්වුඩ් 26/1, පැට් කමින්ස් 36/1, මිචෙල් ස්ටාර්ක් 23/1, ඇස්ටන් අගාර් 25/1, ග්ලේන් මැක්ස්වල් 5/1

ඔස්‌ට්‍රේලියාව 158/3 (16.3) – ඇරෝන් ෆින්ච් නොදැවී 31, ග්ලේන් මැක්ස්වල් 23, මාකස් ස්ටොයිනිස් නොදැවී 59

පන්දු යැවීම – ධනංජය ද සිල්වා 18/1, චාමික කරුණාරත්න 21/1, මහීෂ් තීක්ෂණ 23/1

කසුන් රණවීර ඔස්‌ට්‍රේලියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment