ලෝචනා ජූලි 09 ලංකාව දාලා ගිය හේතුව මෙන්න…

300

මම ගියා කියලා කට්ටිය දන්නෙ නෑ
ෆේස් බුක් කමෙන්ට් මාත් දැක්කා


පුංචි තිරයේ ප්‍රේක්‍ෂක ඔබ හමුවන සුන්දර රංගන ශිල්පිනියක් වන ඇය කාලයක් පුංචි තිරයේ ආධිපත්‍ය පතුරුවමින් හිටියා වුණත් විවාහයෙන් අනතුරුව ඇය හදිසියේම නෙදර්ලන්තය බලා පිටත් වෙනවා.

ආයෙමත් ඇයව අපිට ලංකාවේදී මුණ ගැහුණේ කොවිඩ් වෛරසය ලෝකයම ආක්‍රමණය කරමින් හිටපු භයානකම අවධියක. පසුගිය දවස්වල ඇයව අපිට නිතර නිතර අරගල භූමියෙන් දක්නට ලැබුණා. ඔන්න දැන් ඇය කාටවත් නොකියාම විදෙස්ගත වෙලා. මේ දවස්වල නම් ඉන්නේ ඉතාලියෙලු. සද්ද බද්දයක් නැතිවම රට පැන්න ඇය වෙන කවුරුවත් නෙමෙයි නමින් ලෝචනා ඉමාෂි. ලෝචනා ඇයි එහෙම කළේ. ඒක දන්නෙ ලෝචනාමනේ. ඔන්න ඉතාලියේ ඉඳලා ලෝචනා මීවිතට කතා කළා.

ලෝචනා ජූලි 09 ලංකාව දාලා ගිය හේතුව මෙන්න...

මොකද මේ හදිසියේ ලංකාව දාලා ගියේ?
හදිසියේම නෙමෙයි. කොහොමටත් පුතාගේ පාසල් නිවාඩුව අවසන් වුණහම යන්න තමයි හිතාගෙන හිටියේ. පුතා ලංකාවට ඇවිත් ගියේ. දැන් පුතා ලොකුයි. එයාට උගන්වන්න ඕනෑ. ඒක හින්දා අම්මා ළඟ ඉන්න එපායැ. පුතාව කරාටි පන්ති යවන්නත් තියෙනවා. අනික ලංකාවේ හොඳ වාතාවරණයකුත් නැහැනේ. කොහොමත් දරුවා තමයි අංක එක. ඒක හින්දයි ආවේ.

කවදාද ලංකාවෙන් ගියේ?
දැන් මාසයකට වැඩියි. ජූලි 09 වැනිදා තමයි ලංකාවෙන් ආවේ.

ලංකාවේ තියෙන ප්‍රශ්න හින්දද සද්ද නැතිවම ගියේ?
අනේ එහෙම නැහැ. ප්‍රශ්න හින්ද රට දාලා ගියේ නැහැ. ලංකාවේ ප්‍රශ්න දැකලා අපි ඒ වෙනුවෙන් කතා කළා. ප්‍රශ්නවලට හැඬනැගුවා. එච්චරයි. එහෙම කරන්න අපිට අයිතියක් තියෙනවා. මොකද අපි ලංකාවේ. කොහොමටත් ලංකාවේ තියෙන ප්‍රශ්න නම් විසඳේවි කියලා හිතන්න අමාරුයි. මම දැන්නම් දරුවා එක්ක තමයි ඉන්න කැමති. ඒක හින්ද පුතා ළඟට ආවා.

පෝලිම් දැකලා කලකිරුණද?
ඇත්තටම ලංකාව ගැන කලකිරිලයි හිටියේ. තවමත් මගේ ඥාතීන් ලංකාවේ ජීවත් වෙන්නෙ. ඔවුන් ගැන විතරක් නෙමෙයි ලංකාවේ මිනිස්සු ගැනත් මට දුකයි. තව අපේ රටේ දරුවන්ගේ අනාගතය ගැනත් දුකයි. මේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙයි කියලත් හිතන්න අමාරුයි. අපි තරම් දුක්විඳින ජාතියක් ලෝකයේ වෙන කොහේවත් නැතිව ඇති.

කට්ටිය කියනවා ලෝචනා අරගල කරලා මාරුවුණා කියලා?
මාත් දැක්කා සමහරු ෆේස්බුක්වල එවැනි කමෙන්ට් දාලා තිබුණා. මට වෙච්ච අසාධාරණය ගැන විතරයි කතා කළේ. මම කොහේවත් දේශපාලනය කතා කළේ නැහැ. අනික කිසිම දේශපාලන පක්‍ෂයකට කඩේ ගිහිල්ලා නැහැ. එහෙම කඩේ යන්නෙත් නැහැ. මොන අම්මා තාත්තා වුණත් තමන්ගේ දරුවා වෙනුවෙන් උපරිම සතුට දෙනවා. ඒ හින්දයි මම පුතා ළඟට ආවේ.

ආපහු කවද ද ලංකාවට එන්නෙ?
එහෙම එන දවසක් නැහැ. තවම ලංකාවට එන දිනයක් ගැන හිතලා නැහැ. ලංකාවෙන් ආව විතරයිනේ. නෙදර්ලන්තයට ඇවිල්ලා අක්කව බලන්න තමයි ඉතාලියට ආවේ.

රඟපෑමට ආරාධනා නැතිද?
නැහැ. මට එහෙම ලොකුවට ආරාධනා තිබුණේ නැහැ. අනික මම ඒ කාලේ වැඩ භාරගත්තෙත් නැහැ. සහරාන්ගේ  බෝම්බයෙන් පස්සෙ කොහොමටත් ටෙලි නාට්‍ය කළේ අඩුවෙන්. මම එන්න හදපු සතියේ ටෙලි නාට්‍යයකට කතා කළා. මට බොරුවට වැඩ භාරගන්න බැහැනේ. මොකද මම ආපහු ලංකාවට එන කාලය ෂුවර් නැහැනෙ. කොහොමටත් මම මහ ලොකුවට වැඩකරලා නැතිවුණාට මට ආරාධනා තිබුණා. මම ඒ කාලේ ඉඳලා අද වෙනකම් ක්‍ෂේත්‍රයේ හිටියා. සාමාන්‍ය ගමනක් තමයි ගියේ.

සැමියා කිව්වද ලංකාවේ ඉන්න එපා කියලා?
අම්මෝ එයා හැමවෙලාවේම කියනවා එයා කැමති මාත් එයත් එක්කම ඉන්නවා නම් කියලා. එයා ලෝකය සමඟ ජීවත්වන චරිතයක්. ලංකාවේ ප්‍රශ්න වැඩි හින්ද දරුවා වුණත් මෙහෙ තියන්න බැහැ කියලයි ඒ දවස්වල ඉඳන් කිව්වෙ. සමහරු හිතයි අපි මෙහෙම කියනකොට හරි ආත්මාර්ථකාමියි කියලා. කවුරුත් කැමැතියිනේ තමන්ගේ දරුවන්ව හොඳින් තියන්න. අනික අපි ලංකාවේ දරුවන් වෙනුවෙන් මැරිටි වැඩසටහනක් ආරම්භ කළා. මේ තියෙන ප්‍රශ්න හින්ද අන්තිමේ ඒකත් නතර වුණා.

භාරගත්තු නිවේදන කටයුතු එහෙමත් නැතිද?
ඒවා සියල්ල මම ඉවර කළා. මම කොහොමත් සැලසුම් කරලා තිබුණේ එන්න. ඒ හින්ද මෙහෙ වැඩ කිසිවක් භාරගත්තේ නැහැ.

රඟපෑම එපා වෙලාවත්ද
ක්‍ෂේත්‍රය ගැන කලකිරීමක් නැතිවාම නෙමෙයි. කලකිරීමක් තියෙනවා. අද වෙනකොට මේ ක්‍ෂේත්‍රයේ අයට ගෙවන ගණන් මිණුම් පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක මට විතරක් අදාළ ප්‍රශ්නයක් නෙමයි. හැමෝටම තියෙන ප්‍රශ්නයක්. අනික මේ වර්තමානයේ තියෙන ප්‍රශ්න හින්ද ගොඩක් දෙනෙක් වැඩ කරන්නෙ නැහැ.

කාටවත් නොකියා ආපු හින්ද කට්ටිය තරහ වෙලාද?
මම කාටවත් කිව්වෙ නැහැ. අනික මෙහේ ආවා කියලා කවුරුවත් දන්නෙත් නැහැ. රටේ ලොකු කලබලයක් තියෙන වෙලාවක තමයි මමත් ලංකාවෙන් ආවේ. ජූලි 09 වැනිදා තමයි ආවේ. අනේ කාටවත් කියන්න නම් බැරිවුණා. එහෙම කට්ටිය තරහ වෙලා නම් නැහැ. මොකද ඔවුන්ටත් ලංකාවේ ඉන්න කොට හරියට ප්‍රශ්න තියෙනවානේ. මම නැතිව කට්ටිය පාළුයි කියල නම් කියනවා. මොකද මම හිටියා නම් පිස්සු වැඩ හරියට කරනවනේ. ඒක හින්ද වෙන්න ඇති.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment