ලෝසතට සෙත සදන  ධර්මානුකූල මාර්ගය

280

සුඛෝ බුද්ධානං උප්පාදෝ
සුඛා සද්ධම්ම දේශනා
සුඛා සංඝස්ස සාමග්ගේ
සමග්ගානං තපො සුඛො…..


සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේගේ උත්පත්තිය සැපයට හේතු වෙයි. සත් ධර්ම දේශනාව ද සැපය පිණිස හේතු වේ. භික්ෂූන් වහන්සේලාගේ සමගිය ද සැපය පිණිස හේතු වේ. සමගි වූවන් ගේ නිහඬ බව ද සැපය පිණිස හේතු වේ. බුදුන් වහන්සේගේ මෙම දේශනාවෙන් වර්තමාන කාලයේ සමාජ විෂමතාවයට සහ ව්‍යාකූලතාවයට කොයිතරම් නම් සමානකමක් දක්වන්නේද යන්න කාටත් පැහැදිලිය. සම්මා සම්බුදු රජාණන් වහන්සේ සම්‍යක් සම්බුද්ධත්වයට පත්වීම උත්පත්තිය පරිනිර්වාණය යන ත්‍රිවිධ කාරණා

සිහිගන්වමින් ඒ මත රැඳෙමින් යහ මාර්ගයක යායුතු බව සිහිගන්වන දිනය සත් පුර පසළොස්වක පොහෝ දිනය වේ. එකල්හි උන්වහන්සේ මාගේ සම්බුද්ධ ශාසනය පවතින්නේ කොතැනකද යන්න සොයා බලන කල එය පවතින්නේ ශ්‍රී ලංකාද්වීපයේ බවට උන්වහන්සේට දක්නට ලැබී තිබිණි.

ලෝසතට සෙත සදන  ධර්මානුකූල මාර්ගය

ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ
මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී, පොලොන්නරුව ඓතිහාසික සෝමාවතී විහාරස්ථානයේ විහාරාධිපති,
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමලත් සම්භාව්‍ය භාෂා අංශාධිපති


ඒ අනුව යමින් උන්වහන්සේ පළමුව  මහියංගනයටත් දෙවෙනුව නාගදීපයටත් දෙවෙනුව කැලණියටත් වඩිමින් අනතුරුව ශ්‍රීපාදයටත් අටමස්ථානයට සොළොස්මස්ථානයට කතරගම ආදියටද වැඩමවා ලමින් උන්වහන්සේගේ පාද ස්පර්ශයෙන් ශ්‍රී ලංකා දීපය බුදුන් වහන්සේගේ ස්පර්ශය ලත් දිවයින බවට පත් කොට වදාළහ.

බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපය අනාගතයේ සම්බුද්ධ ශාසනය පවතින්නේ ශ්‍රී ලංකාද්වීපයේ බව තරයේ විශ්වාස කළේය. එදා බුදුන් වහන්සේගේ අදහස් ආකල්ප විශ්වාස දෙස බලන කල අපට පැහැදිලිව පෙනෙන කාරණයක් වන්නේ මේ බිම යහපත් පැවැත්මෙන් යුක්තව ඉදිරියට පවතින බිමක් යන්නයි.

බුදුරජාණන් වහන්සේ එදා මෑණියන්ගෙන් වරම් ලැබූයේ පුතේ නුබ බුදුවේවා කියන ආශිර්වාදයෙන් අනතුරුව සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරමින් දීපංකර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලබා ගනිමිනි. පසුව උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වූහ. ඉන් අනතුරුව උන් වහන්සේ ලෝකයා දෙස මෙත් සිතින් නෙත් යොමු කළ සේක.

ලෝකයේ අනිත්‍යතාවය මැනවින් අවබෝධ කරගන්නා සකල සත්වයා දෙස බැලූ බුදුරජාණන් වහන්සේට සංසාරගත සත්ත්වයා මේ සසරින් එතෙර කරවීම පිණිස සුදුසු මාර්ගය පෙන්වා දිය යුතුයැයි කල්පනා වන්නට ඇත. ඊට සුදුසු මාර්ගය පෙන්වා දුන් උන්වහන්සේ

හේතුං පටිච්ච සමෝදං හේතු භංගා නිරුජ්ජති

වශයෙන් දේශනා කළ සේක.

මුළු ලෝකයටම මුළු විශ්වයටම සකල ලෝ වැසි සියලු සත්ත්වයාම යම්කිසි ආකාරයකට හටගෙන තිබෙන්නේ නම් එය හේතුවක් අනුවයි. ඒ එවන් හේතුව මැනවින් අවබෝධ කරගන්නේ බුද්ධිමත් පුද්ගලයෙක් පමණි. බුද්ධිමත් බවෙහි අවසානය සම්මා සම්බුද්ධත්වය පමණි.

එබැවින් බුදුරජාණන් වහන්සේට සම්‍යක් සම්බුද්ධ යන නාමය හිමිව තිබිණි. අතීතය වර්තමානය අනාගතය යන තුන්කාලේ පිළිබඳවම පුළුල් අවබෝධයක් ඇතිව එය හට ගනී. හේතුවක් අනුව බව අවබෝධවන එකම පුද්ගලයා සම්‍යක් සම්බුදුන් වහන්සේ බව පැහැදිලි සාක්ෂි සහිතව සනාථ වී තිබේ. උන්වහන්සේ හේතු භංගා නිරුජ්ජති යමක් ඇති වේ නම් එය නැති කිරීමටද යමක් සිද්ධ විය යුතුයි. එය නැති වන්නේ කුමන හේතුවක් නිසාද යන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. කන්හංකෝ නිබ්බානං… යමක් නැති වීමටද හේතුවක් බලපායි.

තෘෂ්ණාව නැති වීම නිවනය. තෘෂ්ණාව යනු බලාපොරොත්තු පිළිබඳ වුවමනාවක් තිබීමය, බලාපොරොත්තු ඇති නම් ඒ සියල්ල අයිති වන්නේ ආශාවට ය. එවන් ආශාවන් ඇති වන විට ආශාව නැති වන හෝ නැති කරන ක්‍රම ඇති බව උන්වහන්සේ වදාළහ. එමෙන්ම ආශාව වැඩි වන ක්‍රම අවස්ථාද ඇති බව උන්වහන්සේ වදාළ හ.

තමන් බලාපොරොත්තු වන දේ නොලැබෙන විට ද්වේෂය යන තරහ උපදී. ක්ලේශ නමැති තරහ පවතින විට පුද්ගලයකු සම්පූර්ණයෙන්ම අන්ධ තත්ත්වයට පත්වේ. එවන් අවස්ථාවක ආගම දහම කෙරෙහි හෝ දෙමව්පිය සහෝදරයන් කෙරෙහි හෝ ලෝකේ කෙරෙහි හෝ කිසිදු අවබෝධයක් ඇති වන්නේ නැත.

තමන් බලාපොරොත්තු වන කුමක් හෝ ඒ අන්දමින් හෝ වෙනත් අන්දමකින් ඉෂ්ට කර ගැනීමට ඔහු හෝ ඇය උත්සහ කරයි. එසේ උත්සාහ කරන්නේ බුදුන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට මෝඩකම නිසා ය. මෝඩකම යනු ලෝක සත්ත්වයා පිළිබඳව හෝ එහි තිබෙන වටිනාකම් පිළිබඳව හෝ අගය පිළිබඳව හෝ නොසොයා, නොබලා, නොසිතන නිසාය. ලෝකයේ වේශය මෝහයේ යන මේ භයානක අකුසල් හේතුවෙන් අද මේ මුළු මහත් සමාජයේම විනාශයට පත්ව තිබේ. ඒ කාරණා දෙස බලන විට පැහැදිලිව පෙනෙන්නට ඇත්තේ බුදුන් වහන්සේ ලෝකයේ පහළ වූයේ සකල සත්ත්වයාගේ යහපත උදෙසා පිණිස බවය. සම්බුද්ධත්වයට පත් වූ මෙම උත්තමයා මුල්කරගත් දිනය වෙසක් පුර පසළොස්වක දිනයයි. වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සකල ලෝ වාසී සියලු දෙනා සැපය පිණිස සතුට පිණිස හේතුවන කාරණාවන්හි නිරතවන දිනය වෙයි. බුදුන් වහන්සේගේ ධර්මානුකූල මගපෙන්වීම් ඔස්සේ කටයුතු කිරීමට පෙළඹෙන මිනිසා සත්‍ය අවබෝධ කර ගැනීමටද පෙළඹෙයි. ආමිස, ප්‍රතිපත්ති පූජාවන්හි යථාර්ථය එය ය. ජනයා බුද්ධ දේශනය අනුව දංපිං කුසලයෙහි යෙදීමෙන් නිවැරදි මාර්ගය අවබෝධ කරගැනීමට හැකි වන බව බුදුන් වහන්සේ අවබෝධ කරගන්නට ඇත.

උන්වහන්සේ දේශනා කළ ධර්මය සුවාසූදහසක් ධර්මස්ඛන්ධය ය. ලෝකයේ ස්වභාවය පිළිබඳ වූ සැබෑ ධර්මය එයය. ලෝකයේ ස්වභාවය පිළිබඳ නියමාකාරයෙන් අවබෝධ කර ගැනීම සුවාසූ ධර්මය වේ.

සෑම ආකාරයකින්ම වැරදුණු හෝ පැරදුනු සියල්ල අවබෝධ කරගනිමින් සත්‍ය අවබෝධ කර ගැනීම සද්ධර්මය අවබෝධකර ගත්තා වැන්න. ලෝකයේ පිළිබඳ නියම තත්ත්වය දේශනා කොට වදාළේ මේ සත් ධර්මය මනුෂ්‍ය සංහතියට අවබෝධ කොටගත හැකි නිසා බව බුදුන් වහන්සේ තේරුම් ගත් නිසාය.

මෙය අවබෝධ කර ගැනීමේ අවසාන ප්‍රතිඵලය චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමය. දුක හට ගැනීම නිවන සහ නිවන් මග යන චතුරාර්ය සත්‍ය ඔස්සේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍යය හා මාර්ග සත්‍ය ලොව පුරා පැතිර ජනයාට නියම මාර්ගය අවබෝධ කර ගැනීම පිණිස ධර්ම කථිකාවතක් ඇති කිරීම බුදුන් වහන්සේගේ දේශනයේ ඇතුළත්ව තිබේ. බුදුන් වහන්සේ දේශනා කළ එම ධර්මය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සහ ඒ අනුව කටයුතු කිරීම අනුව ඒ ඒ පුද්ගලයා යහපත කරා ගමන් ගන්නේය. මිනිසාගේ සතුට පවතින්නේ එතැනයි දුක්ඛ සත්‍යය දුක හට ගැනීම බලාපොරොත්තු සුන්වීම මත අප නැවතත් දුකට පත්වන බව සිහි කළ යුතුය. ආශාව නැති කර ගැනීම මත දුක හට ගන්නේ නැති බව පුද්ගලයන් අවබෝධ කරගත යුතුය.

දුක හටගන්නා හේතු පිළිබඳව අප අවධානය යොමු කළ යුතුය. බුදුන් වහන්සේ ඒ පිළිබඳව මැනවින් පෙන්වා දී ඇත. සත්ත්වයාගේ හැසිරීම අනුව දුක හටගන්නා ආකාරයත් දුක අවම කරගැනීම පිණිස සිදුකරන කටයුතු සියල්ලෙහි අවසානය අවබෝධය බවත් උන්වහන්සේ පෙන්වා දුන් සේක. එසේ නම් දුක නැති කර ගත යුතුය දුක නැති කරගැනීම නිවනය. නිවන ඇතිකර ගැනීම අෂ්ටාංගික මාර්ගය යැයි උන්වහන්සේ වදාළේ මිනිසාට අවබෝධ වන පරිදි ය.

ධර්මය අනුව කටයුතු කරන්නේ නම් ඒ පුද්ගලයා ධර්මය විසින්ම ආරක්ෂා කරන බව මුළු

ලෝකයාගේම සැපය පිණිස ධර්මය හේතු වන බව බුදුන් වහන්සේ වදාළහ. භික්ෂූන් වහන්සේලාගේ සමගිය යනු මහ ජනතාවගේ සමගිය භික්ෂූන් වහන්සේලා සහ මහජනතාව අතර ඇත්තේ ගසට පොත්තක් වැනි සම්බන්ධතාවයකි. උන්වහන්සේලා සහ මහජනතාව අතර වාද භේද ඇති වන්නේ නැත. එහෙත් වත්මන් ලෝකේ දෙස බලන කල එවන් තත්ත්වයන් ඇතිවීමට හේතු වන කාරණා මැනවින් පෙන්නුම් කරන්නේය. වාද භේද නොකිරීම සමගියට හේතු වන බවත් සම සිත් හි පැවැත්ම යහපත් පැවැත්මට හේතුවන බවත් උන්වහන්සේ පෙන්වා දී ඇත.

විද්‍යාවේ දියුණුව මත මේ ලෝකය විනාශය වෙමින් විනාශය කරා යමින් පවතින බව පෙනෙන්නට තිබේ. එක රාත්‍රියක් ගත වන විට කෝටි ගණන් වටිනා මහජන දේපළ රාජ්‍ය දේපළ විනාශ වෙමින් රට අගාධයට පත් වන තැනට කටයුතු වන ආකාරය මැනවින් පෙනෙන්නට ඇත. සියල්ලටම හේතුව ද්වේෂය තරහව ය ක්‍රෝධය ය. තමන් බලාපොරොත්තු වන දෑ ඉෂ්ට සිද්ධ නොවන්නේ නම් කුමන හෝ අයුරකින් එය ලබා ගැනීමට උත්සාහ කිරීමත් එහි අවසාන ප්‍රතිඵලය විනාශය බව දැන් පැහැදිලිය.

බුදුන් වහන්සේ පරිනිර්වාණය කොට වසර 218 ක් ගතවූ තැන ධර්මාශෝක රජතුමා බිහිවන්නේය. කාලිංග යුද්ධයේදී ලක්ෂ සංඛ්‍යාත ජනයා ඝාතනය විය. යුද්ධය අතරවාරයේ ජලය පානය කිරීම පිණිස ගංගාවක් අසලට යන අශෝක රජුට දැකගත හැකි වූයේ ගංගා ජලය සම්පූර්ණයෙන්ම ලේ බවට පත්ව තිබීම ය. මේ දුටු ඔහු අවි ආයුධ සියල්ල පසෙකලා යුද්ධය නිම කරන සිතින් මාලිගයට යන්නේ ය. අසීමිත කලකිරීමෙන් ලෝකේ දෙස බැලූ අශෝක රජුට නිග්‍රෝධ සාමණේර හිමි වඩින අයුරු පෙනෙන්නේය. උන්වහන්සේව වඩම්මවාගෙන විත් අප්පමාදෝ අමතපදං ධර්ම කාණ්ඩයට අනුව ධර්ම දේශනයට සවන් දෙන්නේ ය. මොග්ගලීපුත්ත ස්වාමීන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරන්නේය. රජු ඒ සියල්ල මැනවින් අවබෝධ කොට ගනිමින් සියල්ලටම සුදුසු මාර්ගය ධර්මය අනුකූලව කටයුතු කිරීම බව පසක් කර ගන්නේ ය. එසේ නම් ධර්මය මුළු ලෝකෙටම බෙදා දිය යුතු යැයි තීරණය කරන්නේ ය. ඒ අනුව රටවල් පුරා බුද්ධාගම ප්‍රචලිත කිරීම සඳහා රජු කටයුතු කරන්නේය.

එපමණක්ද නොව තමන්ගේ දියණියත් පුතුන් පැවිදි කරමින් බුද්ධාගම වැළඳ ගන්නේය. මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වඩම්මවා අරිට්ඨ කුමරු ඇතුළු රාජකීයයන් 56 දෙනකු පැවිදි කොට මේ ශ්‍රී ලංකාද්වීපයේ බුදුදහම ප්‍රචලිත කරන්නට අශෝක රජු කටයුතු කරන්නේය.

එදා ඒ ඇති වූ සම්බුද්ධ ශාසනික විපර්යාසය මත ශ්‍රී ලංකාවේ ජනතාව අතර ආදරය මෛත්‍රිය කරුණාව ව්‍යාප්ත විය. ගුණධර්ම වගා කරමින් මනුෂ්‍ය ජීවිතේ වටිනාකම අවබෝධ කරගනිමින් ධර්මය පිළිබඳවත් ලෝකයේ පිළිබඳ නියම අවබෝධයක් ඇතිකර ගැනීමෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවාසීන්ට මඟ පෙන්නූ අශෝක රජුගේ ක්‍රියාපිළිවෙත අදටද වලංගු ය.

එදා පටන් මේ දක්වා ථේරවාදී බෞද්ධ රටක් බවට පත්වෙමින් මුළු ලෝකෙටම ආදර්ශමත් ලෝකය හමුවේ සම්භාවනාවට පත් වූ ශ්‍රී ලංකාද්වීපය අද මුළු ලෝකය හමුවේ අපකීර්තියට පත්ව සිටී. බෞද්ධ රටක් වන අප එවන් තත්ත්වයක් අත්පත් කරගත්තේ කෙසේද යන තැන තර්කානුකූලව විචක්ෂණශීලීව විමසා බැලීම වටී.

තමන් බලාපොරොත්තු වූ ආශාවන් එපරිද්දෙන් ඉෂ්ට කර ගැනීමට නොහැකි වීම මීට ප්‍රබලම හේතු වූ බව අවබෝධ කරගත යුතුය. ආත්මාර්ථකාමීව කටයුතු කිරීම සහ තමන්ගේ බලාපොරොත්තු අපේක්ෂාව කුමන අයුරකින් හෝ ලබා ගන්නා චේතනාව මත මෙවන් ව්‍යසනකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව සියල්ලෝම පැහැදිලිව අවබෝධ කරගත යුතුයි. මෙවන් විපතක් ඇති වූ මොහොතක බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සිහි කළ යුතුයි.

ඊට සුදුසුම අවස්ථාව මෙය ය. උපත බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිගන්වන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදී සකල ශ්‍රී ලංකාවාසීන්ට අධිෂ්ඨානයක් ඇති කර ගත හැකිය. මේ සා සිදුව ඇති ව්‍යසනයෙන් රට මුදා ගනිමින් සෞභාග්‍යමත් රටක් ලෙස වැඩි දියුණු කර ගැනීමට අධිෂ්ඨානය ඉවහල් වනු ඇත. මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය සමස්ත රට වැසියන්ට පණිවිඩයක් දී තිබෙයි. සාමකාමීව කටයුතු කරන්න හික්මීමෙන් කටයුතු කරන්න. මේ ඇතිවී තිබෙන පටු ආකල්ප බැහැරව ලෝකය දෙස බලා මේ රට එක්සත්ව කටයුතු කළහොත් සියල්ල ජයගත හැකි යැයි උන්වහන්සේලා වදාළහ.

එම ප්‍රාර්ථනය ඒ අයුරින්ම ඉෂ්ට කර ගැනීමට සහ අධිෂ්ඨානශීලීව කටයුතු කරගත හැකි දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයයි. එවන් දිනෙක බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය සිහි ගන්වමින් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට දුකින් මුදා ගැනීම පිණිස එකාවන්ව අධිෂ්ඨානශීලීව කටයුතු කිරීමට සිතට ගනිමු. ඒ ඔස්සේ යහපත් රටක්, යහපත් ජනතාවක්, යහපත් සමාජයක් උදා වේවා.


සකස් කළේ – සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment