වංගුව කෙළින් කරන්න ගිය අධිවේගී මෝටර් රථය තවත් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් කාර්මික විද්‍යාල සිසුවා මරුට

684

කිරිවත්තුඩුව යකහලූව පාසල ඉදිරිපිටදී ඊයේ (24 වැනිදා) අලූයම මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් තුවාල ලැබූ තිදෙනකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහි සිටි දහඅට හැවිරිදි තරුණයකු මරුමුවට පත්ව ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මීවනපලාන, දඹර, වට්ටාගල, අංක 101/3 හි පදිංචි කෝට්ටේගොඩ විතානගේ භවන්ත ප‍්‍රමෝද් නමැති කාර්මික විද්‍යාලයේ සිසුවකු බව පොලිසිය කියයි.

මියගිය තරුණයා මිතුරෙකුගේ සාදයක් සඳහා සහභාගි වී තවත් මිතුරන් තිදෙනකු සමඟ මෝටර් රථයකින් කිරිවත්තුඩුව දෙස සිට මොරගහහේන දෙසට යමින් සිටියදී, මොරගහහේන දෙස සිට කිරිවත්තුඩුව දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

අනතුර වන අවස්ථාවේදී මෙම මෝටර් රථය අධික වේගයෙන් ගමන් කර ඇති අතර එම ස්ථානයේ පිහිටි වංගුවේ නිසි ලෙස මෝටර් රථය ධාවනය කිරීමට නොහැකි වීමෙන් විරුද්ධ මංතීරුවේ ධාවනය වූ මෝටර් රථයේ ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

අනතුර වන අවස්ථාවේ දී මෝටර් රථයේ තරුණයන් තිදෙනකු ගමන් කර ඇති අතර ඔවුන් බීමත්ව සිට ඇති බවට පොලිසිය සැක කරයි.

අනතුරෙන් තුවාල ලැබූ තරුණයන් තිදෙනා ප‍්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහි සිටි එක් තරුණයෙකු මෙසේ මියගොස් තිබේ.

මියගිය තරුණයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් සිදුකිරීමට නියමිතය.

අනතුරට සම්බන්ධ අනෙක් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය පරීක්ෂණ පවත්වති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, ඇන්ටන් ප‍්‍රනාන්දු සහ රජිත ප‍්‍රනාන්දු – හඳපාන්ගොඩ, කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment