වංචාව, දූෂණය, නාස්තිය නතර නොකර රටක් ගොඩනැගීම ගැන හිතන්නවත් බෑ

115

මේ රට ඛේදවාචකයෙන් ගලවා ගැනීම අත්හළ නොහැකි වගකීමක්

  • ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

වංචාව, දූෂණය, නාස්තිය නතර නොකර රටක් ගොඩනැගීම පිළිබඳව හිතන්නවත් බැහැ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය

ජාතික ජන බලවේගයේ විගණන හා ගණකාධිකාරී වෘත්තිකයින් විසින් කොළඹ පදනම් ආයතනයේදී සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී ඒ මහතා මේ බව කීය මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවැසීය.

පාඩු ලබන රාජ්‍ය ආයතන විකිණීම පිළිබඳ නැවත සාකච්ඡාවක් පැමිණ තිබෙනවා. කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා ටෙලිකොම් ආයතනය ගැන. රජය සතුව ටෙලිකොම් ආයතනයේ 49%ක කොටස් තිබෙනවා. 2022 බදු ගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 12,000යි. සමාගමේ මුළු වත්කම් ප්‍රමාණය බිලියන 200යි. අපට බිලියන 98ක රාජ්‍ය වත්කමක් තිබෙනවා. ලංකා හොස්පිට්ල් රාජ්‍ය වත්කමක් සහ ලාභ ලබන ආයතනයක් බවට පත් කළ හැකිව තිබෙනවා. ඉදිරියේදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකිණීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා.

අපේ රටේ ආර්ථිකය පවතින්නේ නීත්‍යානුකූල ආර්ථිකයත් කළු ආර්ථිකයක් යන දෙක එකටමයි. එය මොනතරම් සමාජ ගතවී ඇත්ද යන්න ‘මහින්ද රාජපක්ෂ මහත්තයා සංවර්ධනය කරලනේ හොරකම් කළේ’ යන ප්‍රකාශයෙන් පේනවා. දූෂණයෙන් තොරවූ රාජ්‍යයක් ගැන සිතන්න පවා අපහසුයි.

පසුගියදා පුවත්පතකට නාමල් රාජපක්ෂ ‘අල්ලස, දූෂණය නතර කළොත් අපේ රට වැටෙනවා’ යනුවෙන් ප්‍රකාශයක් කර තිබුණා. වංචා, දූෂණ, අවම වූ රාජ්‍යයක් පිළිබඳ සිහින මවන්නට බැරි තරමට සමාජ මතයක් ගොඩනැගී තිබෙනවා. එය අපේ රටේ අනිවාර්ය සාධකයක් බවට පත්වී තිබෙනවා. එය ඉවත් කරනවා යැයි කීම මනෝරාජික අදහසක් බවට පත්වෙලා. අද ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට අපේ ආර්ථික ප්‍රතිපත්ති වගේම, වංචාව, දූෂණය, අල්ලසත් ප්‍රධාන පංගුවක් වෙලා තිබෙනවා.

ආර්ථිකය ගොඩනැගීම යථාර්ථයක් බවට පත්කිරීමේදී එය කළ හැකි වන්නේ වංචාව, දූෂණය, අල්ලස අහෝසි කරන රාජ්‍යයක් නිර්මාණය කිරීමෙන් පමණයි. එතනදී ගණකාධිකාරීවරුන්ට විගණකාධිපතිවරුන්ට විශාල කාර්යභාරයක් තිබෙනවා. ආර්ථික තීන්දු තීරණ ගන්නා, උපායමාර්ගික ලෙස වැදගත් ආයතනවල පූර්ණ විගණනයක් අවශ්‍යයි. ඒ වගේම ඒ ක්‍රියාවලිය විමර්ශනය කරන විගණනයක් අවශ්‍යයි. විගණන දෙපාර්තමේන්තුවේ තීන්දුව, අභියෝගයට ලක් නොවෙන, නිරවද්‍ය, බරසාර තීන්දුවක් විය යුතුයි. වරදක් කරන ලද නිලධාරියෙකුට තීන්දුව මත ඉල්ලා අස්වීමට සිදුවන තීන්දුවක් විය යුතුයි. එහෙම කරන්න තාක්ෂණික පැත්ත ඇතුළත් විය යුතුයි. තාක්ෂණික කමිටුව යම් නිශ්චිත සැපයුම්කරුවෙකු ඉලක්ක කොටගෙන අවශ්‍ය පිරිවිතර සකසනවා. ඒවා විගණනයට ලක් වෙන්නේ කොහොමද? ඒ සඳහා තාක්ෂණ හැකියාව ඇති කණ්ඩායම් මේ තුළ සිටිය යුතුයි. උදාහරණයක් ලෙස, ඖෂධ ගෙන්වීමේදී ඒවා අපේක්ෂා කරන ගුණාත්මක, හා අත්‍යවශ්‍ය ඖෂධද යන්න මනින්නේ කෙසේද? මේ විගණනය තවත් ශක්තිමත් කරන්න නම් විවිධ ක්ෂේත්‍ර පිළිබඳ අත්දැකීම් සහිත කණ්ඩායම් ඒ තුළ සිටිය යුතුයි. නීතිඥ කණ්ඩායම්ද සිටිය යුතුයි කියා මම සිතනවා.

රට මේ ඛේදවාචකයෙන් මුදා ගැනීමේ අත්හළ නොහැකි වගකීමක් අප සතුව තිබෙනවා. වංචාව දූෂණය යථාර්ථයක් ලෙස සලකන රටක, උපතේ සිට මරණය දක්වා මිනිසාගේ සෑම ක්‍රියාවලියත් එක්කම අල්ලස දූෂණය නාස්තිය බද්ධ වී ඇති රටක මෙය අභියෝගයක්. නමුත් මේ වංචාව, දූෂණය, නාස්තිය නතර නොකර රටක් ගොඩනැගීම පිළිබඳව හිතන්නවත් බැහැ.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment