වංචා කළ මුදල් ආපසු ගෙවන්න හදන ලෝක හොරු

1127

ගුරුවරුන්ගේ සහ සෞඛ්‍ය කාර්යමණ්ඩල සමාජිකයින්ගේ මුදල් කෝටි ගණනක් වංචාකරලා

මධ්‍යම පළාතේ දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ රුපියල් කෝටි පහක මූල්‍ය වංචාවක් සිදු වූ බවට තොරතුරු අනාවරණය වූයේ ඉකුත් දෙසැම්බර් දහවැනිදාය. මේ වන විට එසේ සිදුව මාසයක කාලයක් ගතව තිබේ. හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ ගිණුම් අංශයට අනුයුක්තව සේවය කළ සංවර්ධන නිලධාරියකු 2012 වසරේ සිට ගුරු වැටුප් ගෙවීමේදී රුපියල් ලක්ෂ අසූනවයක මූල්‍ය වංචාවක් සිදුකර තිබෙන බව හෙළිවී දින දහයක් මේ වන විට ගතවී තිබේ.

මෙම වංචාවන් සිදුකොට තිබූ බවට ප‍්‍රසිද්ධ වූයේ තිදෙනෙකු ගැන පමණය. සෞඛ්‍ය සේවයේ නියුතුව සිටි ගිණුම් අංශයේම සේවය කළ කාන්තාවන් දෙදෙනකු සහ අධ්‍යාපනයේ සේවය කළ සංවර්ධන නිලධාරියෙකි. මොවුහු දරුවන් සිටින මව්වරුය පියවරුය. තමන්ගේ දරුවන්ගේ කුසට අහරක් දෙන්නට මිලියන ගණන් වංචා කරන්නේ නැති බව අපට විශ්වාසය. මොවුහු එම වංචාවන්ට ඍජුවම සම්බන්ධ වී ඇති බවට මධ්‍යම පළාත් ප‍්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ සිට සෙසු ඉහළ පුටු සියල්ලටම මේ වන විට බඩු සමග හොරු හමුව තිබේ.

අධ්‍යාපන සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල වැටුප් සහ අතිකාල මිලියන ගණනින් දීර්ඝ කාලයක් පුරා මෙසේ වංචා කරමින් පෞද්ගලික ගිණුම්වලට දමා ගනිමින් රාජ්‍ය මුදල් අවභාවිත කළ බව පිළිගනිමින් මෙම කළමනාකරණ සේවයේ සේවකයන් තිදෙනා පළාත් සභාවේ ඉහළ නිලධාරින් හමුවී වංචා කළ මුදල් ආපසු ගෙවා චෝදනාවලින් නිදහස් වී යෑමට සාකච්ඡා කිරීමත් සමගය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවලට ලක්ව දැනට වැඩ තහනමට ද ලක්කර ඇති මෙම තිදෙනා දැඩි උත්සාහයක නිරත වන්නේ වැඬේ ගොඩින් බේරා ගන්නටය. ඒ සඳහා මේ උදවියට ඉහළ පෙළේ ආරක්ෂක අංශ හිටපු ප‍්‍රධානියෙක්, සෞඛ්‍ය අංශයේ රටම දන්නා හිටපු ප‍්‍රධානියෙක් සේම මේ වන විට රාජ්‍ය අමාත්‍ය ධුර දරන දේශපාලකයකු සහාය දෙන බවට තොරතුරු ද අනාවරණය වෙමින් තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ.

ගමගේ මහතා මේ ගැන කියා සිටියේ නිසි ස්ථාන මාරුවීම් සිදු නොකිරීම මත මෙවන් කටයුතු සිදුවන බවය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් වසර පහකට වරක් නිසි ස්ථාන මාරුවීම් ලබා දෙන ලෙස ඉල්ලීම් සිදු කළ ද බොහෝ උදවිය දේශපාලන ලියුම් කඩදාසි ගෙනවිත් අදාළ ස්ථාන මාරුවීම් අවලංගු කර ගන්නා බවත්, මේ වන විට ඇතැම් රාජ්‍ය ආයතනවල සේවකයින් වසර දොළහකට වැඩි කාලයක් සේවය කරමින් එම ආයතන තමන්ගේ පෞද්ගලික දේපලක් සේ පවත්වාගෙන යන බවක් දක්නට ලැබෙන බවද කියා සිටියේය. මේ තත්ත්වය වෙනස් කිරිම පිණිස තමන් දැඩි උත්සාහයක් ගත් නමුත් ඒ සඳහා කුමන හෝ බාධා එල්ලවන බවද ආණ්ඩුකාරවරයා කියා සිටියේය.

ඒ කතාවෙහි සත්‍යතාවය මේ වන විට සනාථ වී තිබේ. මෑතම සිදු වූ මෙම කෝටි ගණන් වංචා සිදු කළ තිදෙනාගේ වැඩ තහනම් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ද කර තිබුණත් තවමත් මේ තිදෙනා සාමාන්‍ය පරිදි කටයුතු කරමින් සිටිති. ඔවුහු වරින් වර ප‍්‍රධානීන් හමුවී මෙය සමථයකට පත්කර ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටී. ඒ අතර හඟුරන්කෙත පුද්ගලයා වරක් රුපියල් ලක්ෂ විස්සක් ද දෙවන වර රුපියල් ලක්ෂ පනහක් ද මේ වන විට ආපසු ගෙවා තිබේ. තවද මෙම සංවර්ධන නිලධාරියා හඟුරන්කෙත අධ්‍යාපන කාර්යලයේ සිට ස්ථාන මාරු ලබා වලපනේ ප‍්‍රාදේශීය සභාව වෙත සේවය සඳහා ගොස් තිබිණි. නමුත් ඔහු පෙර සේවය කළ හඟුරන්කෙත කලාප කාර්යාලය සඳහා දින දෙකක් ගොස් වැඩ ආවරණය කර ඇත. ඒ රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් හඟුරන්කෙත පුරප්පාඩුව පුරවා නොතිබූ නිසාය. එසේ වන අතර වලපනේ ප‍්‍රාදේශීය සභාවේදී ද පුරුදු පරිදි රජයේ මුදල් වංචා කිරීම් සිදු කළ බවට තොරතුරු අනාවරණය වීමෙන්, ඉකුත් තිස් එක් වැනිදා පළාත් කොමසාරිස් මේනක හේරත් මහතාගේ මැදිහත් වීමෙන්, ඔහුගේ සේවය අත්හිටුවා ප‍්‍රාදේශීය සභාවේ ලේකම්වරයා හරහා වලපනේ පොලිසියට පැමිණිල්ලක් කරවා තිබිණි. නමුත් මේ වනතුරුත් ඔහු ව අත්අඩංගුවට ගෙන නැත.

හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ ගිණුම් අංශයට අනුයුක්තව සංවර්ධන නිලධාරිවරයකු ලෙස සේවය කර තිබෙන අදාළ පුද්ගලයා 2012 වසරේ සිට ගුරු වැටුප් ගෙවීමේදී මෙම මූල්‍ය වංචාව සිදුකර තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිවී තිබේ. හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ සිදුව තිබෙන රුපියල් මිලියන ගණනක මූල්‍ය අක‍්‍රමිකතාව සිදුකළ බව කියන නිලධාරියා වරද පිළිගෙන රජයට සිදුවූ අලාභය ලෙස දැනට අනාවරණය වී ඇති රුපියල් ලක්ෂ 89 ක මුදල ගෙවීමට එකඟතාව ද දිගින් දිගටම පළකර තිබේ.

මේ අනුව දැනට ගණන් බලා තිබෙන අලාභය එම පුද්ගලයාගෙන් අයකර ගැනීමට අවසර අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මගින් පළාත් ප‍්‍රධාන ලේකම්වරයා වෙත ඉකුත් 29දා ලිපියක් යොමු කර ඇත. අදාළ මුදල් වංචාවේ ප‍්‍රමාණය අවසන් වශයෙන් තක්සේරු කර වාර්තාවක් නිකුත් කරන තෙක් දැනට අනාවරණය වී තිබෙන මුදල අයකර ගැනීමට කටයුතු කරන බවද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා එම ලිපියේ සඳහන් කර තිබේ.

දැනට සේවයේ නියුක්ත සහ විශ‍්‍රාමික ගුරුවරුන්ගේ වැටුප් ගෙවීමේදී ඔහුගේ බිරිඳ ඇතුළු තවත් පුද්ගලයන්ගේ නම් උපයෝගී කරගෙන සකස් කළ බැංකු ගිණුම්වලට මුදල් බැර කරමින් මෙම වංචාව ඔහු විසින් සිදුකර තිබෙන බව විගණන පරීක්ෂණයේදී අනාවරණය වී ඇත. මෙම නිලධාරියාට 2016 වසරේදී වලපනේ ප‍්‍රාදේශීය සභාවට ස්ථාන මාරුවක් ලබාදී ඇති නමුත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සතියකට දින දෙකක් හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ වැටුප් සකස් කිරීම සඳහා ඔහුට අනුයුක්තයක් ලබාදී තිබේ.

මේ වන විට වලපනේ ප‍්‍රාදේශීය සභාවේ ද රුපියල් ලක්ෂ 37 ක මූල්‍ය වංචාවක් සිදුව තිබෙන අතර එයට ද මෙම පුද්ගලයා සම්බන්ධ ඇතැයි විමර්ශන නිලධාරීන් සැක කරයි. රාජ්‍ය නිලධාරියකු විසින් යම් වංචාවක් සිදුකර තිබෙන බව මූලික පරීක්ෂණ මගින් අනාවරණය වූ අවස්ථාවක සිදුව තිබෙන අලාභය ඔහුගෙන් අයකර ගැනීමට කටයුතු කරන බවත් පරීක්ෂණය යන අතරතුර එම පුද්ගලයා අදාළ අලාභය ගෙවීමට එකඟ වුවහොත් එය අයකර ගත හැකි බව මුදල් රෙගුලාසි යටතේ දක්වා තිබෙන බවත් මධ්‍යම පළාත් ප‍්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා කීය.

වරද පිළිගෙන මේ ආකාරයට අලාභය ගෙවීමට එකඟ වුවත් අදාළ පුද්ගලයාට එරෙහිව සිදු කෙරෙන විමර්ශන ඒ අයුරින්ම සිදුවන බව කියා සිටි පළාත් කොමසාරිස් මේනක හේරත් මහතා අදාළ පුද්ගලයා වලපනේ ප‍්‍රාදේශීය සභාවට අනුයුක්තව 2016 සිට සේවය කර තිබෙන බවද කීය. එහි වැටුප් ගෙවීම්වලදී මොහු රුපියල් 150000.00 ක මුදලක් වංචාකර තිබෙන බව මේ වන විට පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත. එම ප‍්‍රාදේශීය සභාවේ ගිණුම් අංශයේ පරිගණකවලට සීල් තබා ඉදිරි විමර්ශන සිදු කරන බවත් අදාළ මුදල් වංචාව ඉදිරියේදී තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත් මේනක හේරත් මහතා කීය. හඟුරන්කෙක කලාප අධ්‍යාපන කාර්යාලයේ මූල්‍ය වංචාව මේ වන විට රුපියල් කෝටියක් දක්වා ඉහළ ගොස් ඇති බවද දැනගන්නට ඇත.

අදාළ සේවකයාගේ බිරිඳගේ නමට ද ගිණුමක් සකස් කර වසර ගණනාවක් තිස්සේ එයට රුපියල් ලක්ෂ 17 කට අධික මුදලක් බැරකර තිබෙන බව හෙළිව ඇත. හඟුරන්කෙත කළාප අධ්‍යාපන කාර්යාලයේ සිදුව තිබෙන මූල්‍ය වංචාවක් සම්බන්ධව පරීක්ෂණයක් සිදු කෙරමින් පවතින බව මේ පිළිබඳව කළ විමසීමකදී මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතා කීය. ඒ කතාවට පෙර සිදුවූ පරිගණකයෙන් වැටුප් සැකසීමේ දී ඉතා සූක්ෂම රුපියල් කෝටි පහකට අධික මුදලක් වංචා කළ මහනුවර දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය ගිණුම් අංශයේ සේවිකාවන් දෙදෙනෙක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇතැයිද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් ද වෙනම පරික්ෂණයක් පවත්වන බවද පළාත් සෞඛ්‍ය ලේකම් ටී. ජයවික‍්‍රම මහතා දිගින් දිගටම කියා සිටියද, පරීක්ෂණ සිදුවීමේ මන්දගාමී බවක් මේ වන විටත් දක්නා ලැබේ. ඉකුත් සතියේ මෙම වංචනික ක‍්‍රියාව සම්බන්ධයෙන් යටිනුවර ප‍්‍රාදේශීය සභාවේ නිලධාරිනියකගෙන්ද ප‍්‍රශ්න කර තිබේ. ඇයගේ ගිණුමට මුදල් බැර කර ඇති බවට තොරතුරු අනාවරණය වීම ඔස්සේ මෙම පරික්ෂණ සිදු කළ බවද වාර්තා වී තිබේ.

මෙම සැකකාර සෞඛ්‍ය සේවා ගිණුම් අංශ සේවිකාවන් දෙදෙනා ඊට පෙර සේවය කර ඇත්තේ මහනුවර මහා නගර සභාවේය. කිසිවෙකුටත් නොදැනෙන ලෙස වසර පහක් තිස්සේ මෙම වංචාව කරගෙන ගොස් ඇතැයි හෙළි වී ඇත්තේ ප‍්‍රධානගණකාධිකාරිවරියගේ ඉල්ලීමක් මත දියත් කළ අභ්‍යන්තර විගණනයක දී ය.

මේ වනවිට මධ්‍යම පළාත් ප‍්‍රධාන ලේකම්වරයා විසින් මේ පරීක්ෂණය අවසන්වන තුරු විශේෂ විමර්ශන කමිටුවක් ද පත් කර තිබේ. මේ වංචාවට චෝදනා ලද එක් තැනැත්තියක් තිදරු මවකි. අනෙක් කාන්තාව එක්දරු මවකි. මින් එක් කාන්තාවක් මින් පෙර මහනුවර මහා නගර සභාවේ ගිණුම් අංශයේ සේවය කරද්දී වංචා චෝදනාවලට ලක් වූ අයෙක් බව කියැවේ. වසර පහක පමණ කාලයක සිට මෙම මූල්‍ය වංචාව සිදුකර තිබෙන බව දැනට සිදුකර තිබෙන පරීක්ෂණ මගින් හෙළිව තිබේ.

අදාළ සිද්ධි දෙකෙහි වෙනසකට ඇත්තේ වංචාකරුවන් ස්ත‍්‍රි පුරුෂයින් ලෙස වෙනස් වීම පමණකි. දෙපිරිසම එකසේ රාජ්‍ය මුදල් වංචා කොට ඇති අතර, ඉන් බේරි යෑම සඳහා ද එකසේ වෙහෙස ගනිමින් සිටින බව දැනගන්නට ඇත. මේ සියල්ල පසුපස මොවුනට සහාය සැපයූ පිරිසක් ඇති බවට යන රාවය තවමත් රැව්දෙමින් තිබේ. මූල්‍ය වංචාවලින් මිදී සිටීමට නම් නැවතත් මූල්‍ය වංචාවක්ම සිදුකිරීමට පෙලඹීම සමාන්‍ය සිදුවිමකි. මේ වන විට සිදුවෙමින් පවතින්නේද එවැන්නක් බව දැනගන්නට ඇත. රටේ නම ගිය චරිත අතර මෙම සැකකාර වංචනිකයන් ද ඇති බැවින් නමට තැනක් දී බේරි යන්නට දැන් දැන් උත්සාහ ගන්නා සෙයක් පෙනෙන්නට තිබේ.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment